අග්‍රාමාත්‍යතුමා වෙසක් පුන් පොහෝ දින “අමාදම් සිසිලස-210” වැන්නට එක්වෙයි
Posted on May 26th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 210 වැන්න වෙසක් පුන් පොහොය යෙදෙන අද (26) දිනයේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

පළමුව අග්‍රාමාත්‍යතුමා, ආර්යාව ඇතුළු පිරිස අරලියගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කොට ආගමික වතාවත්වල නිරත වූහ.

අනතුරුව ධර්ම දේශනාව සඳහා වැඩම කළ අමරපුර සිරි සුමන විහාර පාර්ශ්වයේ මහනායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහනායක  ස්වාමීන්වහන්සේට  අග්‍රාමාත්‍ය ආර්යා ශීරන්ති රාජපක්ෂ මහත්මිය දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදා දීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 210 වැන්න පින්බර වෙසක් පොහොය දිනයේ වැදගත්කම  සහ මෙම ජිවන දිවියේ අනිත්‍යතාව පෙන්වා දෙමින් ධර්ම කරුණු සාකච්ඡා කෙරිණි.‍

අදට වසර 2565 කට පෙර පිරිනිවන් පෑ සුගත තතාගථ බුදුරජාණන් වහන්සේ ඔබේ සිත තුල බුදු කුටියක් කරගන්නැයි සිරි සුමංගල නාහිමියෝ සමස්ත ලෝක වාසී බෞද්ධ ජනතාවගෙන් මෙහි දී ඉල්ලා සිටියහ.

අමරපුර සිරි සුමන විහාර පාර්ශ්වයේ මහනායක පන්නිපිටිය ශ්‍රී දෙව්රම් වෙහෙර නිර්මාතෘ ආචාර්ය කොළොන්නාවේ සිරි සුමංගල මහනායක  හිමියෝ මෙසේ ද කීහ.

පින්වත් අගමැතිතුමනි,  තිස් වසරක යුධ ගිනි ඇවිලී ගිය සමයක ඔබතුමාට මතකයි, ඔබතුමා  ඒවා ශීත කාමර වල ඉඳලා දැක්කේ නෑ, විඩියෝ වලින් දැක්කේ නෑ, එහෙම මිනිස් ජිවිත නැති වුනාය කියලා දැනෙන කොට ඔබතුමා එතනට ඇවිදගෙන ගියා. පිටකොටුවේ බෝම්බෙ මිනිසුන් කෑළි කෑළි වලට කැඩිලා බන්දේසි වලට ගොඩ ගහන කොට ඔබතුමා එතැනට ගියා.

කැබිතිගොල්ලෑවේ මිනිසුන් සියගානක් කපල කොටලා මරලා මිනිසුන් මළ කඳන් බදාගෙන අඩන කොට ඔබතුමා එතනට ගියා. ඔබතුමාට එදා මොනවද දැනුණේ. ඔය හදවත තුළ දැනුණා ඇටමිදුළු නහර අස්සේ කැවි කැවී දැනුණා, කොහොමද මේ යුද්දෙ නතර කරන්නේ කියලා. ඒ කැකුම වේදනාව හදවතට දැනෙන කොට ඔබතුමාගේ  ඇට ඇට මිදුළු නහර ඔබතුමාට කතා කළා.

මේ දුක මට දරන්නත් බැරිතරම්, දෙයියනේ දරුවෝ වදන්න කුසින් දරුවෝ මෙලොවට බිහි කරන්න හිටපු අම්මලාව කපල කොටලා මරල තියනව දකින කොට, කටේ කිරි සුවදවත් ගියපු නැති පොඩි හාමුදුරුවරු කැලි කෑලි  වලට කපල එකම දර සෑයක දැවෙන කොට, ඔබතුමාගේ හදවතට දැණුනා. ඒ සංවේගය වේදනාව අදත් ඔබතුමාට මතකයි.

ඒ වේදනාව සංවේගය ඔබතුමා පාඩමක් බවට පත් කර ගත්තා. මට මේකට විසඳුමක් ඕන කිව්වා. මම මැරෙන්න ඉස්සෙල්ලා මේක අවසන් කරනවා කරනවාමයි කියලා ඔබතුමාගේ හදවත නින්දේදිත් කෑ ගහන්න  ඇති. යුද්ධය මවාගෙන ජීවත්වෙච්ච සමාජයක ඔබතුමා යුද්ධය අවසන් කරන්න රණවිරුවන්ට පණ දුන්නා,  හයිය දුන්නා” යැයි සිරිසුමංගල නාහිමියෝ පැවසූහ.

දැයෙ පිනෙන් උපදින නායකයෝ ලෝකයේ අඩුයි. සංසාරේ පින් අරන් එන මිනිස්සු ලෝකයේ අඩුයි. මොනවදෝ හැංගිච්ච මහා පිනක්  ඔබ තුමා ළග  ඇති.” යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

දොළොස් වසරකට පෙර යුද්ධය අවසන් කිරීමට හැකිවූවා සේ මෙම වසංගතයට පිළියමක් දෙන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටි නාහිමියෝ මෙරටින් මෙම වසංගතය අවසන් කරන්නට මුළු රටක් එකමුතුව ඒ ගැන සිතමින් එකමුතුව නැගී සිටිය යුතු බව සිය ධර්ම දේශනාව ඔස්සේ පෙන්වා දුන්හ.

වෛරය, ක්‍රෝධය, ඊර්ෂියාව තුරන් කරගෙන ජීවත්විය යුතු බව පෙන්වා දුන් මහ නාහිමියෝ වසංගත තත්ත්වය තමන්ගෙ දරුවගෙ මරණයට මල්මිටක් තැබීමටවත් අවසර නොමැති තැනකට පත්කිරීමෙන් පෙන්වා දෙන්නේ මේ ලෝකය මායාවක් මිරිඟුවක් බව යැයි දේශනා කළහ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව පැවති අමාදම් සිසිලස” 210 ධර්ම දේශනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ පවුලේ සාමාජිකයෝ කිහිපදෙනෙක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress