අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිහිනුම් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ජල ක්‍රීඩා සංගමයට දිරිදෙයි.
Posted on May 28th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

පිහිනුම් ක්‍රීඩාවෙන් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකර ගැනීමේ අරමුණ ඇතිව ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔප්නැංවීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සමඟ ගිවිසුම්ගතවෙමින් ඔවුන්ට මූල්‍ය ප්‍රදානයක් ලබා දුන්නේය.

කොළඹ එන්.සී.සී (NCC) ක්‍රීඩා සමාජ පිහිනුම් තටාක පරිශ්‍රයේ දී අදාළ ගිවිසුම්ගතවීම හා මෙම මූල්‍ය ප්‍රදානය සිදුවිය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ  ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ  සභාපති නේතෘ නානායක්කාර මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.

මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට පිහිනුම් ක්‍රීඩාව ද ඇතුළත්ය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම ක්‍රීඩාවන්හි එක් අවුරුදු උසස් දක්ෂතා ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මෙම ගිවිසුම්ගතවීම හා මූල්‍ය ප්‍රදානය ලබාදෙයි.

පිහිනුම් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 5,780,000/-ක මුදලක්  ශ්‍රී ලංකා ජල  ක්‍රීඩා සංගමයට මෙම ගිවිසුමට සමගාමීව ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරි මහත්ම මහත්මීන් මෙන්ම ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress