රටේ අභියෝගාත්මක අවස්ථාවන්ට මහජන බැංකුව දුන් දායකත්වය සුවිශාලයි – ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on May 28th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට සුවිසල් දායකත්වයක් ලබා දුන් ජනහද හඳුනන මහජන බැංකුවට රටේ ජනතාව ආදරය කරන බව මුදල් අමාත්‍ය සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින අරලියග මන්දිරයේ දී පැවසීය.

මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අරලියගහ මන්දිරයේ සිට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

වසර 44ක් තිස්සේ චිත්තම්පලම් එම් ගාඩ්නර් මාවතේ පිහිටි කාර්යාල ප්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කළ මහජන බැංකුව, සියයට සියයක් හරිත සංකල්පය යටතේ භූගත මහල් 03 කින් සහ මහල් 23 කින් සමන්විත නව ප්‍රධාන කාර්යාලය අති නවීන පහසුකම්වලින් සමන්විතව කොළඹ ඉබ්බන්වල හංදියට නුදුරින් ඉදිකිරීම් අද දින මෙසේ ආරම්භ විය.

මුල්ගල් තබන අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැරඹූ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවීන තාක්ෂණයෙන් එහි සමරු ඵලකය නිරාවරණය කළේය.

අග්‍රාමාත්‍යතුමා මෙම අවස්ථාවට එක්වෙමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

මහජන බැංකුවේ නව ප්‍රධාන කාර්යාලයීය ගොඩනැඟිල්ලේ ඉදිකිරීම ඇරඹෙන මේ මොහොතේ ඔබ සැම ඇමතීමට ලැබීම සතුටක්.

නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින්, ඔබ අතරට එන්නේ නැතිව දුරින් ඉඳගෙන ඔබ අමතන්නේ ඇයි කියා දැන් ඔබ දන්නවා. ඒ ලෝකයම මුහුණ දෙන මේ වසංගතය නිසා. ලෝකයම වසංගතයට මුහුණ දීලා සිටියත් අපි රටේ අනාගතය ගැන තබල තියෙන බලාපොරොත්තු අතහැරලා නැහැ.

මේ වසංගතයට මුහුණ දෙන අතරේ අපි රට ගොඩනගන කාර්යයත් කරගෙන යනවා. ඒ විදියට අනාගතය ගැන සිතන නිසයි මේ වගේ දැවැන්ත ඉදිකිරීම් කාර්යයන් මේ මොහොතේ අරඹන්නේ.

ලෝකයේ දරුණුම යුද්ධයකට පැටලිලා ඉඳිද්දිත් එවක අපි රටේ වරායන්, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග තනාගෙන ගියා. ඒ නිසා මේ වාගේ අභියෝග මැද නොනවත්වා වැඩකරන්න අපිට හොඳට පුරුදුයි.

ඒ නිසා අද අති නවීන පහසුකම් සහිතව ඉදිකෙරෙන මෙම ගොඩනැගිල්ල භූගත මහල් 03 කින් සහ මහල් 23 කින් සමන්විත බව මට දැනගන්නට ලැබුණා. මෙය 100% ක්ම හරිත ගොඩනැගිලි සංකල්පයට ඉදිකිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.

බැංකුවලට සම්බන්ධ නොවී සිටි පොදු ජනතාව වෙනුවෙන් දේශීය බැංකුවක් ගොඩනැඟීමේ අවශ්‍යතාව එකල මතුවුණා.

1960 ජූලි මාසයේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ රජයේ වාණිජ, වෙළෙඳ, ආහාර හා නාවික කටයුතු අමාත්‍ය ගරු ටී.බී. ඉලංගරත්න මැතිතුමා තමයි මහජන බැංකු පනත ඉදිරිපත් කළේ.

එම පනත 1961 මැයි 30 වැනි දින නීතිගත වී 1961 ජූලි 01 දින සිට මහජන බැංකුව ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. එසේ මහජන බැංකුව පිහිටුවීමත් සමග එතෙක් ඉංග්‍රීසි කතා කරන අතළොස්සකට සීමාවී තිබූ බැංකු ක්‍රමය සිංහල දෙමළ කතා කරන බහුතර ජනතාවට විවර වුණා. ඒ නිසාම රට පුරා ශාඛා පිහිටුවීම වේගවත් වුණා.

එතැන් සිට අද දක්වා මහජන බැංකුව ජනතාව මූල්‍යමය වශයෙන් සවිබල ගන්වමින් මෙන්ම රටේ ආර්ථිකයට දායකත්වය සපයමින් දශක හයක් ඉතා දුර ගමනක් පැමිණ සිටිනවා.

අද වන විට මහජන බැංකුව දිවයින පුරා විහිදුණු ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741 තිබෙනවා. ඒක තමයි දිවයිනේ පුළුල්ම ශාඛා ජාලය වෙන්නේ. එමෙන්ම මහජන බැංකුව මිලියන 14 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවා සපයන නිසා දිවයිනේ විශාලතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්ව තිබෙනවා.

වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබා දීමටම සීමා වෙලා නෑ. මෙරට සමාජ ආර්ථික ප්‍රගතිය උදෙසා කර තිබෙන මෙහෙවරද සුළුපටු නැහැ. රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුව පසුගිය හැට වසර පුරාවටම අපනයන, අධ්‍යාපන, සෞඛ්‍ය, අධිවේගී, මාර්ග, සංචාරක, යටිතල පහසුකම් ආදි ක්ෂේත්‍රයන් සඳහා මූල්‍ය පහසුකම් ලබාදීලා රටේ ආර්ථික සංවර්ධනයට දැක්වූ දායකත්වය ද සුළුපටු නොවේ.

ආර්ථික සංවර්ධනයේදි පමණක් නොව සුනාමි ව්‍යසනය, ගංවතුර හා නියං උවදුර වැනි ස්වභාවික ආපදා හට ගැණුනු අවස්ථාවන්වලදී වාගේම තිස් වසරක යුද්ධයෙන් අවතැන් වූ ජනතාවට උදව් කළෙත් මේ බැංකුව. විශේෂයෙන් පසුගිය වසර ගතහොත් කොවිඩ්-19 අර්බුදයත් සමග ශ්‍රී ලාංකික සමාජය පෙර අත්නොවිඳි අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවේදි ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගන්නට මහජන බැංකුව විශාල දායකත්වයක් ලබාදුන්නා.

මහජන බැංකුව මේ වනවිට රුපියල් ට්‍රිලියන 2.2 ක ශේෂ පත්‍රයක් හිමි දැවැන්ත ආයතනයක්. මෙහි මුළු තැන්පත් ප්‍රමාණය ට්‍රිලියන 1.8ක්. එමෙන්ම කොවිඩ් වසංගත තත්ත්වයෙන් මතුවූ ව්‍යාකුල ආර්ථික වටපිටාව තුළත් 2020 වසර තුළ රුපියල් බිලියන 14.2 ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කිරීම සුවිශේෂී දෙයක්. රාජ්‍ය බැංකුවක් ලබන ලාභයෙන් වැඩි ප්‍රමාණයක් නැවත යොමු වන්නේ දේශයේ සංවර්ධන කටයුතු වලටයි.

එසේ රටේ දියුණුව සඳහා කටයුතු කරමින් සිටියත් ඔවුන්ට අමතක වූ එක් දෙයක් තිබුණා. ඒ නවීන පහසුකම් සහිත ප්‍රධාන කාර්යාලයක් ඉදිකිරීමේ කාර්යය. ඒකත් වඩුවාගේ ගෙදර පුටුව නෑ වාගේ දෙයක්.

මහජන බැංකුව තවමත් භාවිත කරන්නේ මීට වසර 44 කට කලින් විවෘත කළ කොළඹ 02, චිත්තම්පලම් එම්. ගාඩ්නර් මාවතේ ඉදිකර ඇති ප්‍රධාන කාර්යාලය. එම ගොඩනැගිල්ල එදානම් කොළඹ නගරයේ පිහිටි නවීනතම ගොඩනැගිල්ලක් බවට ද අමතක කළ යුතු නැහැ.

එය විවෘත කර තිබෙන්නේ 1977 ජනවාරි 22 එවකට ගරු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින්. මහජන බැංකුව ආරම්භ කිරීමට නායකත්වය දුන් සහ එම ප්‍රධාන කාර්යාලය විවෘත කළ බණ්ඩාරනායක මැතිනිය සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.

මහජන බැංකුව දැන් ඩිජිටල් මගට පිවිස මෙරට බැංකුකරණයේ පෙරළියක් සිදු කර තිබෙනවා. ඉඳින් මෙම ශ්‍රේෂ්ඨ මූල්‍ය ආයතනය අති නවීන ගොඩනැගිල්ලකට පිවිසීමට ගත් තීරණය ගැන මං සතුටු වෙනවා. මට මතකයි ඒ කාලේ මහජන බැංකුව ප්‍රචාරය කරන්න හැදුව ඇඩ් එක. ජනහද හඳුනන මහජන බැංකුව කියලයි කිව්වේ. මතක තියාගන්න ජනතාව ඒ වචනයට තවමත් ආදරෙයි. ඒ නිසා මෙහි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මා ප්‍රාර්ථනා කරනවා යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල් , ශෙහාන් සේමසිංහ ,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ,මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි රංජිත් කොඩිතුවක්කු මහත්වරු ඇතුළු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress