ජාත්‍යන්තර තරුණ දින සුබ පැතුම් පණිවුඩය
Posted on August 11th, 2021

නාමල් රාජපක්ෂ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

තාරුණ්‍යයේ වටිනාකම ලොව සියලුදෙනාගේ අවධානයට පාත්‍ර කරමින් සෑම වසරකම අගෝස්තු 12 වැනිදා සමරනු ලබන ජාත්‍යන්තර තරුණ දිනය  – 2021” නිමිත්තෙන් සුබාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි.

”මානව හා ගෝලීය සෞඛ්‍ය උදෙසා ආහාර පද්ධති පරිවර්තනයට තරුණ ප්‍රජාවේ නවොත්පාදනයන්” යන්න මෙවර එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තරුණ දින තේමාව වී තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලොවම පීඩාවට පත්ව සිටින මෙවැනි වටපිටාවක අනාගත ලෝකයේ සෞඛ්‍ය සම්පන්න හා නිරෝගී මිනිසකු නිර්මාණය උදෙසා තරුණ දායකත්වය මෙවැනි තේමාවක් යටතේ පෙළගැසීම ප්‍රශංසනීය වේ.

අතිගරු ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජයේ ආශිර්වාදය මත තරුණ හා ක්‍රීඩා විෂය ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් තාරුණ්‍යයේ අධ්‍යාපනය, ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනය වැඩි දියුණු කිරීමට හැකිවීම අප ලැබූ භාග්‍යයකි.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිය නිර්මාණශීලි දක්ෂතාවන් එළිදක්වමින් පෙරට ආ ශ්‍රී ලාංකේය තාරුණ්‍ය කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම උදෙසා අඛණ්ඩව මේ දක්වා දක්වන දායකත්වය ජාත්‍යන්තර තරුණ දිනයේ දී ඇගයීමට ලක්විය යුතු බව මාගේ විශ්වාසයයි.

2030 වසරේ දී ගෝලීය තිරසර ඉලක්ක සපුරා ගැනීමේ දී තාරුණ්‍යය එහි ප්‍රබල සාධකයකි. අපේක්ෂිත ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල බලපෑම නව ප්‍රවේශයකින් සාකච්ඡා කළ යුතුව ඇත. නිර්මාංශ ආහාර වේලක ඇති වටිනාකම මෙන්ම දේශගුණික විපර්යාස පීඩාවන් අවම කර ගැනීමට එමගින් ලැබෙන දායකත්වය ආදිය ගැන තරුණ ප්‍රජාව දැනුවත් වීම ඉතා වැදගත්ය.

සෞභාග්‍යයේ දැක්ම අනුව යමින් රජය කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳව සමාජ කතිකාවක් නිර්මාණය කරමින් එය ක්‍රියාවට නැංවීමට පියවර ගනු ලැබුවේ ද අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා බව සිහිපත් කළ යුතුය.

නව නිපුණතාවලින් හා කුසලතාවලින් රටක ජවය හා ජීවය වන තාරුණ්‍යය සන්නද්ධ කළහොත්, හෙට දිනයේ ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය සාක්ෂාත් වනවා මෙන්ම ඒ තුළින් අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව මාගේ විශ්වාසයයි. 

මෙවන් දුෂ්කර සමයක තරුණ ප්‍රජාවේ අනාගත අපේක්ෂාවන් තේරුම් ගෙන ඔවුන් අධ්‍යාපනයෙන් සවිමත් කරමින් විරැකියාව තුරන් කොට තාරුණ්‍යය උදෙසා නව ලොවට ගැළපෙන රැකියා අවස්ථා හා ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීම මාගේ අපේක්ෂාවයි.

ඒ සඳහා රට පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ නව අදහස්වලට සවන් දෙමින් ඔවුන්ගේ දැක්ම, රටේ දැක්ම සමඟ යාවත්කාලීන කිරීමට හැකිවීම ජීවිතයේ මා ලැබූ භාග්‍යයකි.‍

ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර තරුණ දිනය සමරන ලොව පුරා සියලුම තරුණ තරුණියන්ට අභියෝග හමුවේ නොසැලෙමින් එහි අභිමතාර්ථ ජගැනීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! යැයි සුබ ප්‍රාර්ථනා එක් කරමි.

අපි එක්ව ජයගමු”

නාමල් රාජපක්ෂ

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress