ඉතිහාසය සමඟ සෙල්ලම් නොකරමු – එය සැමවිටම සත්‍යවාදී, නිවැරදි වීය යුතුයි
Posted on August 14th, 2021

චානක බණ්ඩාරගේ

මහාවංශය බොරු බව ප්‍රභාකරන් සෑම විටම කීය. මහාවංශය සම්බන්ධව  ඔහු තුල තිබුනේ තදබල තරහකි. LTTE න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් මහාවංශය බොරු බවට දැඩිව මත පල කළේය. ඔවුන් නික්ම ගිය පසු අද  TNA වැනි සහ වෙනත් ඊලාම්වාදී ද්‍රවිඩ සංවිධාන මේ අදහස තවදුරටත් ප්‍රවර්ධනය කරත්. විජයට පෙර මේ රටේ රාවණ නමැති බලගතු රජකෙනක් සිටි බවත් රාවණ දෙමළ බවත් ඔවුහු පවසත්. මේ රටේ සිංහලට වඩා වූ දෙමළ උරුමයක් ඇති බව සනාථ කරනු වස් එළාර, චෝල, පාන්ඩ්ය රාජධානි ගැනද  ඔවූහු කථා කරත් (මේ ‘රජවරු’ දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි ආක්‍රමනිකයෝයි. වීර සිංහලයෝ ඔවුන්ව පරාජය කර, ඔවුන් ආ රටටම නැවත පලවා හැරීමට සමත් වුහ).

දැනට වසර 20 පමණ සිට රාවණයෙක් ශ්‍රී ලංකාවේ සිටි බවට සිංහලයෝද පිළිගැනීමට පෙලභීම කනගාටුවට කරුණකි. කිසියම් රුපවාහිනි නාලිකාවක් හෝ දෙකක් මේ මතය ප්‍රවර්ධනයේහි  ලා ඇප කැපව වැඩ කල බව දන්නෝ දනිති. ඒ ගැන දැනුදු විවිධ වාර්තා, වාණිජ සහ ප්‍රබන්ධනාත්මක කථා, චිත්‍රපට ඔවුහු නොකඩවා ප්‍රචාරය කරත්. අද රාවණ ‘ව්‍යාපාරයක්’ බවට ද පත්ව ඇත.

ඉතා පැහැදිලි වූ අපේ ප්‍රෞඩ ඉතිහාසය අප විසින්ම අද  ප්‍රශ්ණයට ලක්කරගෙන සිටිමු. සිංහලයා ඇරඹුණේ විජයගෙන් නොව රාවණ හෝ ඊටත් කලින් සිටි බලංගොඩ මානවක පරපුරෙන්ය වැනි ප්‍රශ්න අද නව පරම්පරාවන්හි මනසට ඉතා  සුක්ෂම ලෙස ඇතුල් කර ඇත (නමුත් මහාවංශය සහ පුරාණ ශිලා ලිපි සනිටුහන් කරන්නේ සිංහලයාගේ ආරම්භය විජයාගමනය බවයි).

මේ ප්‍රශ්නය නිසා වර්තමාන ළමා, යෞවන පරපුර වික්ෂිප්තවී සිටිති. ඇතැම් වැඩිමහලුන්ද අතරමං වී ඇති බව පෙනේ. තමන් කවුරුන්දැයි තමන් නොදන්නා තත්වයකට සිංහලයා අද පත්වෙමින් පවතී.

වසර 2,000ට වඩා පැරණි මහාවංශය (ඊට කලින්වූ දීපවංශය සහ පසුව පල කල චුලවංශය ද, වෙනත් පාලි පොත්පත්ද) අප කවුරන්ද කියා අපට මැනවින්, පැහදිලිව පෙන්වා දෙයි.  වසර ගණනාවක් අප සහ මුළු ලොවම පිළිගත් ඉතා පැහැදිලි, ව්‍යක්ත, සරල ඉතිහාසයකි එය.

ශ්‍රී ලංකාවට තරම් පැහැදිලි, නිරවුල්, ලේඛනගත ඉතිහාසයක් වෙනත් කිසිදු රටකට නොමැති බව ලොව පුරා පිළිගැනීමක් තිබුණි. අවුරුදු 2,000ක් දුර දිවයන ලේඛනගත ඉතිහාසයක් තිබීම ගැන අප ආඩම්බර විය යුතුය.

ඉතා මෑතක සිට අවාසනාවකට මෙතරම් අධික කාලයක් අප විශ්වාස කල එම නොකැළැල්, පිරිසිඳු මාහවංශය දක්වන ඉතිහාසය  අත්හැර බෙදුම්වාදීන් සැදු මඩ ගොහොරුවක අප ගිලි නැසෙන්නට යන බව පෙනේ.

රාවණයෙක් ශ්‍රී ලංකාවේ සිටි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් නැත. නුතන පුරාවිද්‍යාඥයන් යයි කියා ගන්නා ඇතැම් අය වරින් වර ඉදිරිපත් කරන බොහෝ සාක්ෂි වැරදි බව හෙළිවී හමාරය. රාවණ රුවක් ඇල්ල දිය ඇල්ල මතින් දිස්වන බවට බොරුවක් මේ මෑතකදී ප්‍රචාරය කිරීමට උත්සහා කලත් එය සාර්ථක නොවිය.

නමුත්, මුළු රටම රාවණයෙක් භෞතිකව මේ රටේ සිටි බවට පිළිගන්නා තැනට අද පත්ව ඇත. එය බොහෝ දුරට  හුදු රුපවාහිනි නාලිකා කිහිපයක ප්‍රයත්නයන්හි සාර්ථක ප්‍රතිපලය. ‘විව්ස්’ ලබා ගැනීමට ඕනෑම දෙයක් පාහේ පල කිරීමට සැදී පැහැදී සිටින සමාජ මාද්‍යවේදී රැල්ලක්, විශේෂයෙන්ම යු ටියුබ් වාදීන්, මෙරට සිටී. ඔවුන් සමහරෙක්ද ඉතිහාසය විකෘති කිරීමේ මෙම කර්තව්‍යට දැනුවත්ව හෝ නොදැනුවත්ව උරදී සිටී.

රාවණයෙක් සිටි බවත්, ඔහු සිංහල (හෝ හෙළ) නොව ද්‍රවිඩ බව බෙදුම්වාදීන් පෙන්වා දෙති. ප්‍රභාකරන් කීවේද මේ හා සමාන දෙයකි.  මිහිඳු හිමි ශ්‍රී ලංකාවට බුදු දහම ගෙන ඒමට පෙර  ශ්‍රී ලංකාවේ බුදු දහම තිබු බව ඔවුහු කියති. ශ්‍රී ලංකාවේ දෙමල බෞද්ධයන් සිටි බවත් උතුරේ සහ උතුර මැද බෞද්ධ සිද්ධස්ථාන ඔවුන්ගේ නිර්මාණ විය හැකි  බවත් ඔවුහු කියති. ඇතැම් බෙදුම්වාදීන් දේවානම් පියතිස්ස ‘දේවානම් පියතිස්සම්’ යනුවෙන් උච්චාරණය කරති; එතුමා දකුණු ඉන්දියානුවෙකු යයි කියති.

රාවණ පිලිබඳ දෙමළ මතය ඉතා සාර්ථක ලෙස දැන් ජාත්‍යාන්තරයේ  පතුරුවා ඇත. පත්වූ රජයන් මේ වැරදි ප්‍රකාශ නිවැරදි කිරීමට කටයුතු කලේ නැත.   මෝඩයන් මෙන් මේ කියන සැම දෙයම පිළිගැනීමට  සිංහල අප සැදී පැහැදී සිටිනා සේය.

රාවණ යනු ඉන්දියාවේ ප්‍රබන්ධනාත්මක ග්‍රන්ථයක් වන මහාභාරතයේ එන චරිතයක් පමණි (fictional character). එම ග්‍රන්ථයේ කර්තෘ ව්‍යාසාය. එම පොතේ එන පරිදි රාවණට ඔලු 10කි. ඉන්දියාවේ හින්ඳුන් අතරද  රාමායනය පිළිගන්නේ සමහරෙක් පමණි. එය ඒ තරමටම වූ ප්‍රබන්ධයකි.

රාමායනයට (මහාභාරතය) අනුව අති පිරිසිඳු කුළ කතක් වූ සිතාගේ සැමියා රාමයි.  රාවණගෙන් බේරුණු සීතාට තම පාරිශුද්ධ භාවය ඔප්පු කරන්නැයි රාම කරන අභියෝගයේදී ඇය ගින්දරට පැන රාම වෙනුවෙන් සිය ජීවිතය පුදයි. ඉන්දියාවේ සමහර හින්දුන් රාමව දේවත්වයෙන් අදහත්. සිතාද එම  දහම අනුව දෙවගනකි. ඒ නිසා ඇතැම් හින්දු ඉන්දියානුවන් රාවණ චරිතයද විශ්වාස කරත්. නමුත් මේ මෑතක් වෙන තෙක්ම ශ්‍රී ලංකාවේ අප රාවණ චරිතය සත්‍ය චරිතයක් ලෙස විශ්වාස කලේ නැත. අප (සිංහලුන්) රාවණ චරිතය විශ්වාස කරන්නේ නම් සිතා සහ රාම චරිතයන්ද විශ්වාස කල යුතු නොවේද? එවැන්නක් මේ තාක් කල් සිදුවී නැත.

ශ්‍රී ලංකාවේ රාවණ රුප වල ඔලු 10ක් ප්‍රදර්ශනය නොකරයි. ඒ මන්ද?  රාවණ සත්‍ය චරිතයක් ලෙස හුවා දැක්වීමටය.

වසර දහස් ගණනක් මේ රටේ සියළු වැසියන් විශ්වාස කල ඉතිහාසය වනුයේ රාවණ යන රජෙක් මේ රටේ ජීවමානව නොසිටී බවයි. පසුගිය සියවසේ බිහිවූ කිසිදු ඉතිහාස පොතක්  (ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳව ස්වාධීන මතයක් දැරූ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී යුගයේ බිහිවූ පොත්වල පවා) රාවණ කියා රජෙක් සැබවින්ම  ශ්‍රී ලංකාවේ සිටි බැව් නොකියයි. නමුත් දැන් අප රටවාසිහු රාවණ විශ්වාස කිරීමට පටන් ගෙන ඇත. මෙය අප සිංහල  ජාතියේ මළගම සනිටුහන් කරගැනීමකි.

ප්‍රභාකරන්ට අවශ්‍ය වුයේ නිරවුල් ශ්‍රී ලංකා ඉතිහාසය (එය සිංහලයාගේ ඉතිහාසයයි) අවුල් කිරීමය. රාවණ තමන්ගේ එකෙක් යයි ශ්‍රී ලාංකික ඇතැම් ද්‍රවිඩයන් දැන් පවසන්නේ ඒ බැවිනි.

රාවණ රජු සත්‍යයක් නම්, සිංහලයාට වඩා වැඩි අයිතියක් ද්‍රවිඩයනට ශ්‍රී ලංකාව පිළිබඳව ඇතැයි යන ඉල්ලුමක් ද්‍රවිඩයනට කල හැක. ද්‍රවිඩයන් සිංහලුන්ට කලින් මේ රටේ වාසය කළේය යන මතය මුල්බැස ගතහොත් ද්‍රවිඩයනට යම් දවසක  ජාත්‍යාන්තර නිතිය අනුව (Customary International Law) උතුරු නැගෙනහිර පමණක් නොව මුළු ශ්‍රී ලංකාවේම අයිතිය උදෙසා ඉල්ලීමක් කල හැකි වනු ඇත. මේ පදනම මත – එනම්, හුදු ජාත්‍යාන්තරමය   පිළිගැනිම මත, ලොව නව රටවල් බොහෝ ගණනක් බිහිවී තිබේ (කොසවෝ, දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝර්, දකුණු ඕසිටියා සහ අබ්කාසියා වැනි).

රාවණ චරිතය ඇතැම් රුපවාහිනි නාලිකා සහ සමාජ ජාලා පුම්බන්නේ ඒ අරමුණින්ද  විය හැක. ඉදිරියේදී  බෙදුම්වාදීන් ජාත්‍යාන්තරය හමුවේ උතුරු නැගෙනහිරට වෙනම රාජ්‍යයක් අනිවාර්යයෙන්ම ඉල්ලනු ඇත. දැනුදු TNA මන්ත්‍රීන් ශ්‍රී ලංකාව තුල එකක් කියා ජෙනිවා ගොස් තව එකක් කියති. පළාත් සභා මැතිවරණය පැවැත්වන තෙක් විග්නේශ්වරන් කල් මරමින් සිටී. අභිමානවත්, ප්‍රෞඩ සිංහල බෞද්ධ ශිෂ්ටාරයට, සිංහල උරුමයට පහර ගැසිමට සහ කිසිදා නොතිබුණු ස්ථිරසාර දෙමළ අධිරාජ්‍යයක් මෙරට තිබුනා කියා පෙන්වීමට විග්නේශ්වරන් වැන්නන් රාවණ සංකල්පය යොදා ගනිත්.

විග්නේශ්වරන් සහ සමහර TNA මන්ත්‍රීන් සහ ඔවුනට හිතෛය්ෂී ඉතිහාසඥයන් තර්ක කරන්නේ රාවණ දෙමළ නම් එවක (මිට වසර 5,000ට පෙර) මෙරට සිටි ජනතාවද දෙමළ බවයි. කුවේණි දෙමළ හෝ අඩු තරමින් දෙමළ මුසු බව ඔවුන් කියන්නේ එහෙයිනි (තමනට කිසිදු දෙමළ සම්භවයක් නැති බව  ආදිවාසීහු තරයේ කියා සිටිති. ඔවුන් කියන්නේ ඔවුන් හෙළයන් බවත්, විජයාගමනයෙන් සිංහලයන් සමඟ මුසුවූ බවත්ය).

සිංහලයින් බිහිවීමට පෙර (විජයාගමනයට පෙර) මුළු රටම දෙමළ වූ බව අන්තවාදී ද්‍රවිඩයෝ කියති. රාවණ ඔවුනට තිබෙන ප්‍රධානතම තුරුම්පුවකි.

මෙම ඊනියා රාවණ රාජධානිය සම්ප්‍රප්ලාපයක් යයි කියා එක හෙලාම ප්‍රතික්ෂේප කරනු වෙනුවට රාවණයෙක් ශ්‍රී ලංකාවේ ඇත්තටම සිටියේය, ඔහු ද්‍රවිඩ නොව සිංහලයෙක්ය  (හෙළ)  යන මතය ඉදිර්පත්කරමින් අප මත  ගැටුමකට උවමනාවෙන්ම  මැදිවීමු.  මෙය අනුවණ ක්‍රියාවකි. බෙදුම්වාදීන් කැපු වලේ වැටෙන්නට යාමකි.

අප රාවණ පිලිගන්නේනම් අපට මහාවංශය පිළිගත නොහැක. 

අප රාවණ පිලිගන්නේනම් එය විජයාගමනය, මහින්දාගමණය සමඟ ඍජු ගැටීමක් ඇති කරන බව අප පිළිගත යුතුයි.

රාවණ පිළිබඳව වූ මත ගැටුමේදී ද්‍රවිඩ මතය අභිබවා සිංහල මතය දිනීම ඉතා උගහටය. මෙයට මුලිකම හේතුව කලින් සඳහන් කලාක් මෙන් රාවණ චරිතය නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාවේ රචිත හින්දු මහාභාරතයයි, එහි රාවණ හින්දු භක්තිකයෙක් බව පැහැදිලිවම දක්වයි. ශ්‍රී ලංකාවේ සිටින හින්දු භක්තිකයෝ ද්‍රවිඩයෝයි.

අපට තිබෙන බුද්ධිමත්ම විසඳුම නම් ප්‍රමාදවී හෝ මේ අවස්ථාවේ රාවණ යනු මිත්‍යාවක් බව ප්‍රාකාශ කර වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ අප රට පිළිගත් (අප දෙමවිපියන්/මුතුන් මිත්තන් පිළිගත්, ගුරුවරුන් ඉගැන්වූ), ඒ මහාවංශ ඉතිහාසය පමණක් සත්‍ය බව ලොවට දැන්වීමයි. රාවණ යනු හුදු ග්‍රන්ථයක එන චරිතයක් නිසා එය අපට (සිංහල බෞද්ධයනට) ඉතා පහසුවෙන් බැහැර කල හැක – ලොවට යථාර්ථය පැහැදිලි කර දිය හැක. මෙරට ද්‍රවිඩ හින්දු භක්තිකයන්ට අවශ්‍ය නම් රාවණ පිළිගැනීමට, ඇදහීමට සියළු අයිතිය තිබේ.

ලොව පිළිගත් විකිපීඩියා වෙබ් අඩවිය මෑතකදී සඳහනක් යොමු කර ඇත්තේ ලොව මෙතෙක් සිටි භක්තිවන්තම ශිව භක්තිකයා ශ්‍රී ලංකාවේ රාවණ රජු කියායි (එනම්, රාවණ ද්‍රවිඩයෙක් බවයි). රාවණ විෂ්ණු දෙවියන්ගේ දොරටුපාලකයා බවද විකිපීඩියා සඳහන් කරයි. BBC, World History Encyclopedia, Oxford Dictionery ද මේ මතම දැන් දරත්.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සිය  ශ්‍රී ලංකාව ප්‍රවර්ධන කරන වෙබ් අඩවියක (sri lanka.travel) දක්වනුයේ ‘හින්දු කථා විශ්වාස කරන්නේ නම් රාවණ ශ්‍රී  ලංකාවේ රජ කල රජෙක් බවයි’.

විදෙස් සංචාරකයන් සඳහා රාවණ ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැත – රාවණ යනු මහාභාරතයේ එන ප්‍රභන්ධනාත්මක චරිතයක් ලෙස.

ශ්‍රී ලංකාව තුල රාවණ හා බැඳුනු ආගමික ස්ථාන සියල්ල ද්‍රවිඩ සිද්ධස්ථානය – කෝවිල්ය: තිරු කොනේස්වරම් (ත්‍රිකුණාමලය), ගයත්‍රී පීඩම් (නුවර එලිය), මුනිශ්වරම් (හලාවත). ඔවුහු රාවණ වෙනුවෙන් වාර්ෂිකව  විවිධ ආගමික පුද සත්කාර පවත්වත්. රාවණගේ වාහනයේ කොටස් බණ්ඩාරවෙල හින්දු කෝවිලක ඇතැයි යන කතාවක් ප්‍රචාරය වේ. රාවණ ඇදහීම දකුණු ඉන්දියාවේ දෙමළ වැසියන් අතරද ඉතා ප්‍රචලිතය.

රාවණ දෙමළ රජෙක් නම්, ඔහු සිංහල රජෙක්ද විය නොහැක.

රාවණ ද්‍රවිඩයෙක් ලෙසට ද්‍රවිඩයනට ඉතා පහසුවෙන් ජාත්‍යාන්තරයේ ඔප්පු කල හැක. ඔවුන්ගේ තර්කය වඩා බලවත් බව පෙනේ.

රාවණ සිංහල යයි (හෝ හෙළ) කියා අප රට තුල සනාථ කරගත්තත් (සිංහලයන් අතර), ජාත්‍යාන්තරව එසේ කිරීමට අපට ඇති  ඉඩ ප්‍රස්තාව අඩුය.

සිංහලයන් කුමක් කීවත් ජාත්‍යාන්තරය එය නොපිලිගනු ඇත. ද්‍රවිඩ මතය දැනටමත් පිළිගෙන ඇත.

බෙදුම්වාදීන් මෙවන් මතවාදයක් තීව්‍ර කරන්නේ රට බෙදා ඊළමක් උතුරු නැගෙනහිර පිහිටුවීමේ ඔවුනගේ ඒකායන අධිෂ්ඨානය කෙසේ හෝ  ඉෂ්ට කර ගැනීම සඳහාය. ඇමරිකාවේ කොන්ග්‍රසය ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ වාසභූමි ප්‍රදේශ වශයෙන් පසුගියදා යෝජනා සම්මත කර තිබුණු බවට වාර්තා පල වුණි. මහා බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන්ද මේ හා සමාන වූ මතයක සිටින බව පෙනේ. කොරෝනාවලින් පසුව  බෙදුම්වාදීන් සිය සටන් තීව්‍ර කරනු නොඅනුමානය.

මෙලෙස ඉතිහාසය දැනුවත්ව විකෘති කිරීම නිසා (දේශීයව සහ විදේශීයව) සිදුවී තිබෙන්නේ  සිංහලයාගේ  ප්‍රාරම්භය පිළිබඳව නුතන පරපුරේ (ශිෂ්‍ය, යෞවන)  මනස ව්‍යාකුලත්වයට  පත් වීමයි. 

අපේ ඉතිහාසය අවුල් ජාලයක් බවට පත් කර රට වැසියන් තුල මෙන්ම ජාත්‍යාන්තරය තුලද ඒ  මතය ඒත්තු ගැන්වීම බෙදුම්වාදීන් සහ ඔවුනගේ හිතෛය්ශී ඉතිහාසඥයන් සමත් වී ඇත. සත්‍ය පෙන්වාදීමට උත්සාහ කරන සිංහල දේශප්‍රේමීන්ට ඔවුහු පහර ගසති.

ඉහතින් දැක්වූ පරිදි, සිංහල අපගේ මෝඩකම් නිසා පිටස්තර දියුණු ලෝකයද රාවණ සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ සිටි දෙමළ රජ කෙනෙක් ලෙස සැලකීමට දැන් පටන් ගෙන ඇත.

රාවණට ආවේනික වූ පරපුරක්ද දැන් නිර්මාණය කර ඇත (මව, පියා,සහෝදර සහෝදරියන් ආදී).  වසර 20 ක් බඳු වූ ඉතා කෙටි කාලයක් තුල හින්දු ග්‍රන්ථයක ප්‍රබන්ධනාත්මක චරිතයක් වූ රාවණ සත්‍ය ප්‍රාණිය චරිතයක් බවට පත් කිරීමට අපද බෙදුම් වාදීන්ට උදව් වී ඇත්තෙමු.  

රාවණ සංකල්පය  ඒමට පෙර, වසර 2,000ක් පමණ පෙර කාලයක සිට ඉතාම මෑතක් වනතුරු මෙරට පැවතී පිළිගනිම වුයේ විජයාගමනයට පෙර යක්ෂ, නාග, දේව ගෝත්‍රික වාසින් ලංකාවේ ජිවත්වු අතර මේ ‘හෙළ’ වාසින්, විජයගේ (සිංහබාහුගේ පුත්) ‘සිංහ’ පරපුර  සමඟ මුසු වීමෙන් ‘සිංහළ’ ජාතියේ ප්‍රාරම්භය  ඇති වු බවයි (සිංහ + හෙළ =  සිංහල) (සමහරෙක් කියනුයේ කුවේනියගේ දරු දෙදෙනාගෙන් ආදිවාසී (වැදී) පරපුර ඇරඹි බවයි).

වෙනත් සමහර ඉතිහාසය විකෘති කිරීම්:

දේශප්‍රේමී යයි කියාගන්නා ඇතැම් නුතන ඉතිහාසඥයන් පවසනුයේ (මේ සමහරක් අප පාසැල් ළමුන් ඉගෙන ගන්නා ඉතිහාස පොත් වල, වසර 6  – 12 පමණ දක්වා, උගන්වන කරුණුය!):

• වසර 49,000 කටත් පෙර ශ්‍රී ලංකාවේ කළුතරට ආසන්නව ඉතා සාරවත් වී වගාවන් පැවතුනි

• වසර 13,000 කටත් පෙර හෝර්ටන් තැන්නේ මිනිසුන් බාර්ලි සහ ඕට්ස් වගා කළහ

• වසර 4,400 කටත් පෙර ශ්‍රී ලංකාවේ මිනිසුන් වාත්තු යකඩ නිෂ්පාදනය කළෝය (ලෝකයේ යකඩ නිපදවූ ප්‍රථම මිනිසුන්!)

• ආදී ශ්‍රී ලංකාවේ සිංහයන් සැරිසරමින් සිටියහ

• කුවේණිගේ යක්ෂ ජනයාට දෙමළ මිශ්‍රණයක් තිබුණි

• ශ්‍රී ලංකාවේ දෙමළ බෞද්ධයන් සිටියහ

• බුදු දහම මෙරට මුල්බැසගත් අවධියේ අනුරාධපුර නගරය සහ ඒ අවට බ්‍රාහ්මණ ජන කණ්ඩායම් වාසය කල අතර  ඔවුහු දෙමළ හින්දු භක්තිකයෝ වුහ

• මිට වසර 125,000ට පෙර යාලට අප්‍රිකාවේ සිට හෝමෝ සපියෙන්වරු  ගොඩ බැස්හ, බලංගොඩ මානවකයා ඔවුන්ගෙන් පැවතෙන්නෙකි

• හෝමෝ සපියෙන්වරු  සමඟ වෙළඳාම සඳහා දෙමළ ජාතික වෙළෙන්දන් ශ්‍රී ලංකාවට නිතර ආ ගියහ (වර්ෂ 125,000 සිට?!.)

• ශ්‍රී ලංකාව භෞතිකව ඉන්දියාවෙන් වෙන් වූයේ ඉතා මෑතකදීය  – මීට වසර 7,000 කට පෙර

• ඉන්දියාවේ කේරල ජනතාව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වි එයින් ශ්‍රී ලංකාවේ ජනගහනය වර්ධනය විය (සිංහලයෝ කේරලයන්ගෙන් පැවතෙන්නෝය වැනි මතයක්)

• ඓතිහාසික සිගිරිය කාශ්‍යප රජුගේ නොව රාවණ රජුගේ නිර්මාණයකි   

ඔවුනගේ මේ මෑතක සොයාගැනීම් වලට පුරාවිද්‍යාත්මක කැනීම් මඟින් ලබා ගත් සාක්ෂි ඇතැයි ඔවුහු කියති. පුද්ගලික රුපවාහිනි/ගුවන් විදුලි නාලිකා සහ සමාජ ජාල මඟින් පමණක් කරන එවන් ප්‍රකාශ පමණක් මදිය. ඒවා ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ/සඟරාවල පල කර ජාත්‍යාන්තර අනුග්‍රහය ලබා ගත යුතුය (peer review). එවැන්නක් සිදුවී නොමැත.

අප දන්නා තරමින් ශ්‍රී ලංකාවේ පුරාවස්තු දෙපාර්තමේන්තුව ද මේ නව සොයාගැනීම් අනුමත කර නොමැත (පුරාවිද්‍යා කොමසාරිස්තුමා රාවණ සංකල්පය ප්‍රතික්ෂේප කර තිබුණි). 

අපේ ඉතිහාස ශිෂ්‍යයින් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවලට ගොස් මේ නව සොයාගැනීම් ගැන සැල කිරීමේදී ඔවුනට උභතෝකෝටික ප්‍රශ්ණ වලට මුහුණ දීමට සිදුවනු ඇත. අපි බොහෝ ක්‍ෂේත්‍රයන්හි පුරෝගාමීන් බව අපේ සිසුහු කියනු ඇත. නමුත්, ඒ නව සොයාගැනීම් සඳහා අවශ්‍ය ජාත්‍යන්තරමය පිළිගැනීම් අප ලබා ගෙන නැත්නම්, ඒවා අප රටට පමණක් සීමා වූ සොයා ගැනීම් වනු ඇත. විදේශයන්හිදී තමන් වැරදි බව ඔවුනට වැටහෙනු ඇත. ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිරපරාදේ ඉතා ව්‍යාකුල දෙයක් බවට පත්වෙනු ඇත.

ලෝක ප්‍රජාව විසින් නව සොයාගැනීම් පිලිගැනිම ඉතා අවශ්‍යය.  පුරාවිද්‍යාවේදී එය අනිවාර්යම වූ අංගයකි (නැවතත්, peer review).  

මහාචාර්ය සෙනරත් පරණවිතාන,  මහාචාර්ය සද්ධාමංගල කරුණාරත්න, ආචාර්ය පුංච් බණ්ඩා සන්නස්ගල, ආචාර්ය රෝලන්ඩ් සිල්වා වැන්නන් කටයුතු කලේ ඒ අයුරිනි.

ලොව පැරණිතම පෞරාණික ශිෂ්ඨාචාරය නම් මීට වසර 5,000 කට පමණ පෙර පැවති ඉන්දු නිම්නයයි.  ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ අනුව ලොව සහල් වී වගාව ආරම්භ වූයේ මීට වසර 8,000 කට පමණ පෙර චීනයේ යැංග්සි ගංගා ද්‍රෝණියේය.  ලොව පිළිගත් ඉතිහාස ග්‍රන්ථ අනුව බාර්ලි සහ තිරිඟු වගා මුලින්ම ආරම්භ වුයේ මීට වසර 10,000 කට පමණ පෙර වර්තමාන ඊශ්‍රායලයේය. වාත්තු යකඩ මුලින්ම නිෂ්පාදනය කරන ලද්දේ මීට වසර 3,500 කට පමණ පෙර චීනයේ ය.  ශ්‍රී ලංකාවේ සිංහයන් වාසය කල බවට ලෝක  ඉතිහාසඥයන් පිලිගන්නේ නැත.  

හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද, අනගාරික ධර්මපාල, වලිසිංහ හරිස්චන්ද්‍ර, පියදාස සිරිසේන, එස් මහින්ද, ගුණපාල මලලසේකර, මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර වැනි ශ්‍රේෂ්ඨ ජාතික විරුවන් (හිමි වරුන් අඩංගුය) අපේ ඉතිහාසය – මහාවංශ ඉතිහාසය සුරක්ෂා කිරීමට ඇප කැපව ක්‍රියා කළහ.

සිංහලයන් වශයෙන් අපට උරුමයක් වූ අනන්‍යතාවය ලබා දුන්නේ මෙම ප්‍රෞඩ ඉතිහාසයයි.

මෙම ලිපිය අවසන් කිරීමට අනගාරික ධර්මපාල තුමා විසින් 17/2/1923 දින සිංහල බෞද්ධයා පත්‍රයේ පල කල ලිපියක සඳහන් කරන ලද මෙම වදන් යොදා ගනිමි (‘ධර්මපාල ලිපි’, ආචාර්ය ආනන්ද ගුරුගේ, සංස්කෘතික කටයුතු සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශය, කොළඹ 7, 1991. 61/62 පිටු):

ආදී සිංහලයෝ දමදිව වංග දේශයේ ලාටරට සිංහපුරෙන් විජය  කුමාරයාත් සමඟ පළමුවෙන් ලංකාවේ තම්මැන්නා අඩවියට මිට වර්ෂ දෙදාස් හාරසිය හැටකට ප්‍රථම පැමිනියෝයි සිංහල මහාවංශය නම් ඉතිහාසික ග්‍රන්ථයේ සඳහන් කර තිබේ. ……….. ආදී සිංහලයන්ගේ හටගැන්ම දැනගැනීමට මහාවංශය, දීපවංශය, සමන්ත පාසාදිකාව, මහාවංශටිකාව, සිංහල මහා අර්ථකථාව යන නමින් තිබෙන පාලි ග්‍රන්ථ කියවිය යුතයි……… සම්පුර්ණ රුහුණු, මායා, පිහිටි යන ත්‍රීසින්හලය කිසි පරදේශික ජාතියක් විසින් ආඥාචක්‍රය පැවැත්වුයේ නැත. දුටුගැමුණු රජ කාලයේ රජරට පමණක් දෙමලුන්ට යටත්ව තිබුනේය. කාලිංග, මාඝ යුධ සෙනාධිපථීන් ලංකාවට පැමිණ කලක් සිංහලයන්ට හිරිහැර කල නමුත් ලංකාව හස්තප්‍රාප්ත කර ගත්තේ නැත”.

මෙම ලියුම්කරු ජාත්‍යාන්තර නීතිඥවරයෙකි (zx102@bigpond.com).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress