බෞද්ධ ජනරජ ප්‍රවාදය – 32 වැනි කොටස- ‍ආදර්ශයේ පාඩම
Posted on August 23rd, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

අවවාදයට වඩා ආදර්ශය උතුම්” බව අප සැවොම පිළිගන්නා කරුණකි. මෙම ප්‍රවාදයෙන් යෝජිත ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ද ඒ ඇසුරින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගැනීමට ද ආදර්ශයේ පාඩම උපකාරි වනු නිසැක ය. පෙර ලිපියෙන් සාකච්ඡාවට ලක් කළ ගිනි පුපුරු න්‍යාය” සමඟ ද මෙම කාර්යය බැඳී පවතී.

යෝජිත ආර්ථික කටයුතු ක්‍රියාත්මක කිරීමට තෝරාගනු ලබන නිශ්චිත ගම්මානය (හෝ ගම්මාන කිහිපය) අනෙකුත් ගම්මානවල අයට අවශ්‍ය තථ්‍ය ආදර්ශ සපයනු ඇත්තේ ය. තෝරාගත් ගම්මාන සහ ඒවායෙහි ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික කටයුතු සැබෑ වශයෙන් පවතින නිශ්චිත ඒවා ය. එම කාර්යයන්ට සම්බන්ධ වූ නිශ්චිත පිරිස් සිටිති. එම පිරිස නිශ්චිතව ඔවුනගේ නම්වලින් හඳුනාගත හැකි ය. තමන් කළ කී දෑ, එම කටයුතුවල නිරතවීමේ දී ලද අත්දැකීම්, මුහුණ දුන් ගැටලු, තමන් විසින් කළ වැරැදි ආදි කරුණු විශාල ප්‍රමාණයක් ඔවුන් විසින් ප්‍රකාශ කරනු ඇත්තේ ය.

වියුක්ත න්‍යාය ඇසුරෙන් ලෝකය දෙස බැලීමේ විශේෂිත හැකියාවක් යුදෙව්වන් හට වෙයි. න්‍යායික කරුණු මත පදනම් වූ නූතන බටහිර දැනුම නිර්මාණයේ දී සහ එම දැනුමෙන් වැඩගැනීමේ දී ඔවුන් ඉදිරියෙන් ම සිටින්නේ එබැවිනි. එය ඔවුනට හිමි සංස්කෘතික මනසෙහි විශේෂත්වයකි. එනමුදු අප සිටින්නේ එයට හාත්පසින්ම වෙනස් තැනක ය.

අපගේ මනස සැකැසී ඇත්තේ සංයුක්ත වශයෙන් හඳුනාගත හැකි දෑ තේරුම්ගත හැකි ආකාරයකිනි. වියුක්ත කරුණු ග්‍රහණය කරගැනීමේ හැකියාවක් අප හට නොමැත. අප යමක් වටහාගනු ලබන්නේ ප්‍රත්‍යක්‍ෂයෙනි. භාග්‍යවතුන්වහන්සේ විසින් ජානුස්සෝණී බ්‍රාහ්මණයා හට චූළහත්ථිපදෝපම සූත්‍රය” දේශනාකිරීමෙන් පැහැදිළි කර වදාළේ අනුමාන, උපකල්පන ආදියට සීමා නොවී ප්‍රත්‍යක්‍ෂයෙන් ම ධර්මය දැකිය යුතු බව ය. අනුබුදු මිහිඳු හිමියන් මෙ රටට වැඩමකිරීමෙන් අනතුරුව මුලින් ම දේශනා කළ වදාළේ ද මෙම සූත්‍රය ය. එම ධර්මය අසා පෝෂණය වුණු සංස්කෘතියක හැදුණු වැඩුණු අපි ප්‍රත්‍යක්‍ෂයෙන් ම ලෝකය දැකීමේ මනසක් ඇති කරගෙන සිටිමු.

එහෙයින් මෙ රට මිනිසුන් හට මගපෙන්විය යුත්තේ සංයුක්ත වූ ආදර්ශවලිනි. මෙයින් කියැවෙනුයේ න්‍යාය අනවශ්‍ය බවක් නොවේ. යම් යම් න්‍යායික කරුණු වටහාගත හැකි අය ද අප අතර සිටිති. අප රටට අදාළ න්‍යාය ඇසුරෙන් ආදර්ශ බිහිකර බහුතරයට මගපෙන්වීම එවැන්නන්ගේ වගකීම වෙයි. ආදර්ශ බිහිවනු ඇත්තේ න්‍යාය ඇසුරෙන් ම නොවේ. යම් යම් අය විසින් තමන්ගේ ප්‍රත්‍යක්‍ෂ අත්දැකීම් ඇසුරින් ගොඩනැගූ ආදර්ශ ද පැවැතිය හැක්කේ ය. එම ආදර්ශ නිර්මාණයට මුල් වූ අත්දැකීම් සහ දැනුම හඳුනාගෙන ඒ ඇසුරින් න්‍යාය සම්පාදනය කිරීමේ වරදක් නැත. එනමුදු, එළැඹෙන මාර්ගය කුමක් වුව ද වැදගත් වනුයේ බහුතර ජනතාව සඳහා අවශ්‍ය ආදර්ශ ගොඩනැගීම ය.

ආදර්ශ බිහිකිරීම උදෙසා ගම්මානයක් තෝරාගත් පසු පළමුවෙන් ම ඒ තුළ සිටින නිශ්චිත හැකියා‍වන්ගෙන් පිරිපුන් පුද්ගලයන් (බිම් මට්ටමේ ගිනි පුපුරු) හඳුනාගනු ලැබිය යුත්තේ ය. අදාළ ආර්ථික කාර්යය ආරම්භ කර ඒවා ක්‍රියාත්මක කරන තෙක් ඔවුනගේ සැබෑ හැකියාවන් දැකගත නො හැකි ය. කෙසේ වුව ද, එවැනි හැකියාවන් නොමැති අය මේ සඳහා යෙදවීමෙන් අනවශ්‍ය ගැටලු ඉස්මතුවීමට විශාල ඉඩක් ඇතිවෙයි. එහෙයින් අදාළ ආර්ථික කටයුතු සඳහා පුද්ගලයන් හඳුනාගැනීම යම්කිසි ඉවක් සහ ප්‍රත්‍යක්‍ෂ කරුණු ඇසුරින් ඇති කරගත් අවබෝධයක් අනුව සිදුකළ යුත්තේ ය.

මූලික ආදර්ශ බිහිකරීම අසාර්ථක වුවහොත් එහි බලපෑමට මේ සඳහා මුල්වන අය ද ගොදුරුවෙයි. අසාර්ථකත්වය විසින් මෙහෙයුම් නායකත්වය ද අධෛර්යයට පත් කරනු ඇත්තේ ය. විශේෂ සහ නිශ්චිත අවධානයක් යොමු කර පළමු වටය සඳහා අවශ්‍ය පිරිස තෝරාගැනීමෙන් මෙම ගැටලුව ඇති නොවෙයි. තෝරාගත් ප්‍රදේශයේ (ගම්මානයේ) සැමට සම අවස්ථා ලබාදීම” වැනි මූලධර්ම අනුගමනය කිරීමෙන් මෙය සිදුකළ නො හැකි ය. එහෙයින්, මුලින් ම කළ යුත්තේ එවැනි ක්‍රම පසෙක ලා මෙහෙයවන්නන්ගේ පුද්ගලික අත්දැකීම් සහ නිරීක්‍ෂණ මත පදනම් වී හැකියාව ඇති පිරිස් හඳුනාගැනීම ය.

මෙවැනි තෝරාගැනීම් කරන විට එයට අදාළ විවිධ වූ සමාජයීය ගැටලු ඇතිවීම වැළැක්විය නො හැකි ය. තමන්ගේ පුද්ගලික සබඳතා අනුව මෙහෙයවන්නන් විසින් අදාළ තෝරාගැනීම් කළ බවට වන චෝදනාව ඒ අතර මුලින් ම වෙයි. කෙසේ වුව ද, එවැනි සමාජ ගැටලු ඇතිවීමට වන ඉඩකඩ මුළුමනින් ම අවුරා මෙවැනි කටයුතු ක්‍රියාත්මක කළ නො හැකි ය. මෙම කාර්යයේ පළමු අරමුණ වනුයේ අවශ්‍ය ආදර්ශ බිහිකිරීම විනා පවතින සහ ඇතිවන සෑම සමාජ ගැටලුවකට ම විසඳුම් සැපැයීම නොවේ. සමස්ත කාර්යය ඉදිරියට කරගෙන යෑම සඳහා අවශ්‍ය ජවය සැපයෙන්නේ පළමු වටයෙහි සාර්ථකත්වය විසිනි. බාහිර බාධාකිරීම් නොතකා මූලික අරමුණ වෙනුවෙන් කැපැ වී කටයුතු කිරීම සැබෑ සමාජ නායකයාගේ වගකීම වෙයි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress