එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි.
Posted on September 5th, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර 

මැරෙනකල්ම ඉදලා දිව්‍ය ලෝකයේ යනවා මිස, අද ම මැරිලා දිව්‍ය ලෝකයේ යන්නට කාටවත් හිතෙන්නේ නැත.

‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යන මිනිසුන්ගේ‘ පක්ෂයට දැන් වසර 75 කි.

1946 වසරේ නිදහසේ අරුණළු දකිමින් සිටි රටට, සිංහල-දෙමළ-මුස්ලිම් සෑම ජන කොටසකගේම ‘එක්සත් – ජාතික‘ සිහිනය ‘යුනයිටඩ් නැෂනල් පාටි‘ හෙවත් ‘අයික්කීය තේෂීය කච්ච්‘ ඉටු කළේය.  මෑතක් වන තුරුම සිංහල-දෙමළ-මුස්ලිම් ජාතිකයින් එම පක්ෂයේ ප්‍රධාන තනතුරු දරණ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන් පක්ෂ ගීතය කියන්නේ එජාප ය යි.

අමද්‍යප මහා සභාව, ලංකා ජාතික සංගමය යන නිදහස් සටනේ පා පුවරු පසුකොට එජාපය බිහිවූවේ, 1947 මැතිවරණ අභියෝගය ජය ගැනීමට ය. එජාපය හා එජාප විරෝධය ලංකා මැතිවරණ සිතියමේ ‘තුලා කටුව‘ බවට පත් විය. එජාපය ලංකා දේශපාලනයේ මහා සම්ප්‍රදාය වූවේය. මහ ගෙදරින් පිටමන් වූ බණ්ඩාරනායකවරුන් හා හිතවතුන් 1952 මහා මැතිවරණයේ දී ලංකා දේශපාලනයේ ‘චූල සම්ප්‍රදාය‘ ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීය.

එදා එජාපය යනු කන-බොන-සුඛිත මුදිත මිනිසුන්ගේ පක්ෂය යැයි කියවිණි.  එහි අනෙකා වූ වාමාංශය – ශ්‍රීලනිප පීඩිතයාගේ පක්ෂ විය. 1952 -56 යුගය ලංකාවේ බුද්ධිමතුන්, වියතුන් තම රටේ දැවැන්ත නිර්මාණයන් සිදු කළ යුගය විය. නමුත්, එකම අවුල් වියවුල් රැසක් වු, වාර්ගික යුද්ධයකට පාර කැපූ  1956 මැතිවරණය – විප්ලවයක් ලෙස අපේ මිනිසුන් අදත් සලකති.

1965 – 1970 ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබාගෙන, උතුරේ සිට දකුණ ට එකම කැබිනට්ටුවක සාමාජිකයින් ලෙස වාඩි වී රට කළ යුගයක් විය. ඒ යුගය ට වඩා ලාංකිකයින් අදටත් පුරාජේරු කියන්නේ 1972- 1977 හාල් පොලු – මිරිස් පොලු – භුමිතෙල් චීත්ත ඇඳි ඇවිදින ඇට කටු යුගයට ය. 

ජේ.ආර්. ජයවර්ධන බ්‍රිතාන්‍යෙය් මාග්‍රට් තැචර්ට කලින් විවෘත ආර්ථිකයට ගියේ, රටේ ආර්ථිකය ලෝකයට විවෘත කළ මුල්ම ආසියානු රටක් ලෙසිනි. ඉන් වසර විසි පහකට පසුව ආර්ථිකය ලෝකයට විවෘත කර චීනය ලෝකයෙන් හතරෙන් එකක් අල්ලා ගත්තේය. චීන කොළනියක් වී අවසන් නමුත්, අපේ මිනිස්සු කටේ හිරි ඇරගන්න අදටත් බනින්නේ විවෘත ආර්ථිකයට ය.

77 – 94  සියල්ල යහපත් වූවේ නැති බව සත්‍යයකි. උගත් පාඩම් තුලින් ‘තරුණ අසහන කොමිසම‘ වැනි ප්‍රගතිශීලි උත්සාහයන් තුලින් අතීතය නිවැරදි කර ගන්නට ද එජාපය උත්සහ දැරීය. එයින් බොහෝමයක් 1994 න් පසුව ආපහසු හැරුණු අතර එජාපයේ අත්තනෝමතික ක්‍රියා දෙතුන් ගුණයකින් වැඩි විය.  යාපනය සංවර්ධන සභා ඡන්දය තරමටම වයඹ පළාත් සභා ඡන්දය ද කළු පැල්ලමකි.

2001 දී සෘණ ආර්ථිකය ගොඩගන්නට මිනිස්සු එජාපයට ඡන්දය දුන්නේය.  ආර්ථික ප්‍රශ්නය විසඳුණු වහාම 2004 දී ජනතාව එජාපය පරාජය කළේය. 2005 ජනාධිපතිවරණය එජාපය පැරදුණේ අලි – කොටි ගිවිසුම් ලේබලය නිසාය. මහින්ද ජනාධිපති වුනේ එල්.ටී.ටී.ඊ. ය මිනිස්සුන්ගේ ඡන්දය වැලැක්වූ නිසාය.  

2014 අත්තනෝමතික බලය රටම අවුල් ජාලයක් කරන විට, තම නායකයා පසෙක තබා, ශ්‍රීලනිප මහ ලේකම්වරයා රටේ ජනාධිපති කළේ ද එජාපය යි. 

‘අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නැත‘ යැයි ගුණදාස ලියනගේ දෝන කමලාවතී පොතේ ලොකු කතාවක් කෙටියෙන් ලීවේය. 

‘අතීතයක් මිස අනාගතයක් නැති පක්ෂයක්‘ ලෙස එජාපය/සජබ සිය උරුමය ද, සංස්කෘතික අනන්‍යතාවය ද, අනාගතය ද, කැඩී බෙදී වෙන්වී අනතුරේ හෙලා ගෙන ඇත.

අද එජාපයේ ඇස්-ඉස්-මස්-ඇට-නහර වූ පාක්ෂිකයින් පමණක් නොව එජාපයෙන් දේශපාලනය අරඹා, මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් වූ අති බහුතරයක් අඩුම ගානේ එජාප 75 ගැන සමාජ මාධ්‍ය පෝස්ට් එකක්වත් දමන්නේ ද සැක සහිතය.  කැඩී ගිය කණ්ඩායම්, වසර 50 ක් සිරිකොත බලා කියා ගත් ‘ධනපාල අංකල්‘ ට ත් එජාපයට වඩා වැඩි වටිනාකමක් ලබා දෙන සෙයකි. 

එජාප පරපුරේ දරුවන් (සජබ) සිය ගරා වැටුණු වලව්වක මුර කුටියට ඇති බැඳීමවත් අද එජාපයට දක්වන්නේ නැති යුගයක් එළැඹ ඇත.  

එජාපය සහ සමගි ජන බලවේගය යනු දෙකක් නොව එකම යන්ත්‍රයකි.  එජාප අනන්‍යතාව කෑලි දෙක තුනකට කැඩී වෙන්වී අවතැන් වී ඇත. එජාපය යනු සංස්කෘතියකි. එහි වටිනාකම් සියල්ල අතහැර දමන්නට කිසිවෙකු හෝ සිතන්නේ නම් ඔවුන් නව වටිනාකම් සොයා ගත යුතුය. 

දේශපාලන පක්ෂය පැවැත්ම ඇත්තේ, රාජ්‍ය බලය ලබාගැනීමට ඇති හැකියාව මත ය. 1994 න් පසුව ක්‍රමිකව එජාපය බලය ලබා ගැනීමට ඇති හැකියාව විහින් අහිමි කර ගත්තේය. එහි කූට ප්‍රාප්තිය සමානුපාති නියෝජනය යටතේ අඩුම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව එජාපය (සහ සජබ) ට හිමිවීමය.

රටේ මිනිසුන් අද එජාපය (සජබ) ආණ්ඩුවට විකල්පයක් ලෙස දකින්නේ ද?  

නිදහසින් පසු ලංකාව මුහණ දෙන බරපතලම ආර්ථික අගාධයේ පාමුල සිටින විට, හාල්, සීනි, ගෑස් පෝලිමේ සිටින මිනිසුන්ට ආදේශක අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විකල්පයක් පමණී.

එජාපයේ (සජබ) අර්බුදය ‘විකල්පයක්‘ නොවීම ය.  ආදේශකයමක්ම වීම ය.

සම සමාජ, කොමියුනිස්ට් පක්ෂවලට ලාබාල, ඉලංගෙයි තමිළ් අරසු කච්චි පක්ෂයට සමකාලීන වූ, එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්තරයට සුබ පැතුම්!

රජිත් කීර්ති තෙන්නකෝන්

දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress