බර්ටි දිසානායක හිටපු ප්‍රධාන අමාත්‍යයතුමන් අප අතරින් වෙන්ව ගොස් අදට (27) වසර 08 ක් ගෙවී ගොස්ය – මේ එතුමන්ගේ මතකාවර්ජනයයි
Posted on September 22nd, 2021

තිසර සමල් සෝමරත්න අනුරාධපුර

රජරට ඉරි තැලී වියළි ගිය පොලව තෙත් කරමින් වැටෙන මහා වැස්ස රජරට ගොවි ජනතාවගේ එකම බලාපොරොත්තුවයි.ඒ වැස්සෙන් වැව් අමුණු පිරී ගිය පසු රජරට ජනතාව වගා කටයුතු සිදු කර ආර්ථිකය ශක්තිමත් කර ගනිති. එදා රජරටට සංවර්ධනය ගෙන එමින් රජරට ජනතාවගේ දුක හදුනාගනිමින් රජරට පෝෂණය කළ බර්ටි දිසානායකයන්ද කලට වහින වැස්ස වගේ රජරට ගොවිජනතාවගේ  එකම බලාපොරොත්තුව විය.

බයියන් ලෙස හංවඩු ගැසුණු රජරටට සංවර්ධනයේ අරුණලු ගෙන එමින් උතුරු මැද සංවර්ධනයේ නියමුවා වූ බර්ටි දිසානායක හිටපු ප්‍රධාන අමාත්‍යයතුමන් අප අතරින් වෙන්ව ගොස් අදට (27)   වසර 08 ක් ගෙවී ගොස්ය… මේ එතුමන්ගේ මතකාවර්ජනයයි

බර්ටි දිසානායක මහතා 1954 වර්ෂයේ ජූලි මස 15 වැනි දින ඇසළ පුර පසලොස්වක දින අනුරාධපුර ශුද්ධ නගරයේදී උපත ලබා ඇත.තම ආදරණීය මැණියන් වූ නන්දාවතී දිසානායක හා පියාණන් වන රන්බංඩා දිසානායකයන් තම ලෙයින් උපන් පුතු උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යයවරයා වනු ඇතැයි කිසිදා සිතන්නට නැතිව ඇති.

හතරැස්වෙල විද්‍යාලය, හබරණ විද්‍යාලය හා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය මෙන්ම කොළඹ ඇළෙක්ස්සැන්ඩ්‍රා විද්‍යාලයෙන් අකුරු කෙරූ බර්ටි දිසානායකයන්, තම පියාගේ අභාවය සිදු වන විට 18 වැනි වියේ පසු විය.පියාගේ අභාවයෙන් පසු පවුලේ බර කරටගත් බර්ටි දිසානායකයන්,තම පියා හබරණ නගරයේ පවත්වාගෙන ආ ව්‍යාපාර ඉදිරියට කර ගෙන යාම සිදු කර ඇත.දේශපාලනයට ඇල්මක් දැක්වූ එවකට ජව සම්පන්න තරුණයකු බර්ටි දිසානායකයන්, කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම් ජිනදාස මහතා සමඟ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වී ඇත.ඒ ඇසුර මෙන්ම ක්‍රියාකාරී දේශපාලන කටයුතු  හේතුවෙන් 1973 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හබරණ ශාඛාවේ ලේකම්වරයා ලෙස බර්ටි දිසානායක මහතා පත් වී ඇත.

1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය පොලීසියට නිවාඩු දුන් මොහොතේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ බර්ටි දිසානායකයන්ට අයත් වූ ව්‍යාපාර සියල්ල විනාශ කර දැමීමට එ.ජා.ප මැරයන් කටයුතු කර ඇත.නමුත් කෙතරම් බාධා පැමිණුවද බාධා සියල්ල මැඩ ගෙන සිය දේශපාලන ගමනේ ආරම්භ කරන්නට බර්ටි දිසානායකයන් කටයුතු කර ඇත.1980 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදු වූ අභ්‍යන්තර පෙරළිය හේතුවෙන් 1981 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කය තුළත් දේශපාලන වෙනස්කම් සිදු වීම හේතුවෙන් කළාවැව ආසනයේ සංවිධායක ධූරයට බර්ටි දිසානායක පත් වන්නේ එවකට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය හෙබවූ කේ.බී රත්නායක මහතගේද මගපෙන්වීම මතයි.එතුමාගේ නිර්දේශ හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආශිර්වාදයද ලැබ 1983 දී කළාවැව ආසනයේ සංවිධායක ධූරය බර්ටි ප්‍රේමලාල් දිසානායක නම් තරුණයාට එදා හිමිව ඇත.

සංවිධාන ශක්තියෙන් පරිපූර්ණ වූ තරුණ බර්ටි 1988 දී ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ආසන වල ජයග්‍රහණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ලබා දීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කර ඇත.කැකිරාව ආසනයේ පැවති අතුරු මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වූ ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ නිසා බර්ටි දිසානායකයන්ට ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර මාස 04 කට ආසන්න කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත කරවන්නට එක්සත් ජාතික පක්ෂ දේශපාලකයින් කටයුතු කළත්, ඒ සියලු චෝදනා වලින් නිදහස් වීමට බර්ටි දිසානායකයන්ට හැකි විය.

පක්ෂය වෙනුවෙන් සිදු කළ මහා කැපකිරීම් හේතුවෙන් පළාතේ ජනතාව අතර බර්ටි දිසානායක මැතිතුමන් ජනප්‍රියත්වයට පත් වූ අතර, 1989දී පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන බර්ටි දිසානායන්, කේ.බී රත්නායක මැතිතුමා සමඟ වැඩි ඡන්ද ලබා ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වෙමින් දේශපාලන ගමනේ ඔහුගේ පළමු ඉලක්කය සපුරා ගනු ලබනවා.

මහජන නියෝජනය.

  1. 1989 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයකු ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම.
  2. 1994 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයේ අණුරාධපුර කණ්ඩායම් නායක වශයෙන් තරඟකර වැඩිම මනාපයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම.
  3. 1994 දී අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වනේ පිහිටුවන ලද රජයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට වෙන් වූ අමාත්‍යය ධූරය වූ කර්මාන්ත සංවර්ධන නියෝජ්‍යය අමාත්‍යය ධූරයට පත්වීම.
  4. 1996 දී අනුරාධපුර දිස්ත්‍රික්කයට වෙන් වූ කැබිනට් අමාත්‍යය ධූරය වූ සමාජ සේවා අමාත්‍යය ධූරයට පත්වීම.
  5. 1999 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වසර 10 ක් අඛණ්ඩව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීම.
  6. 1999 දී උතුරු මැද පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීම හා උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යය ධූරය ඇතුළුව පළාතේ මුදල් හා ක්‍රම සම්පාදන, අධ්‍යාපන, සෞඛ්‍ය, මහා මාර්ග, ප්‍රවාහන, වාරීමාර්ග, ක්‍රීඩ, යෞවන කටයුතු, සංස්කෘථික, පළාත් පාලන විෂය භාර අමාත්‍යය ධූරය දැරීම.

(1999 සිට 2012 වසර දක්වාම උතුරු මැද ප්‍රධාන අමාත්‍යයවරයා ලෙස කටයුතු කරනු ලැබීය)

  • 2004 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කොටගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වැඩිම මනාප ලබා ගෙන නැවත වරක් උතුරු මැද පළාත් සභාවට පත් වී දෙවන වටත් ප්‍රධාන අමාත්‍යය ධූරය ලැබීම.

දේශපාලන තත්වයන්.

  1. 1982 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළාවැව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය ලැබීම.
  2. 1994 දී අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය ලැබීම.
  3. 1999 දී අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රි0ක්ක වල සම්බන්ධීකරණ කමිටු වල සම සභාපති ධූරය ලැබීම.
  4. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකත්වය ලැබීම.
  5. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාටට පත්වීම.
  6. 2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරයට පත්වීම.
  7. 2006  දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ධූරයට පත් වීම.
  8. 2006 වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දේශපාලන හා සංවර්ධන කටයුතු අධීක්ෂණ අමාත්‍යයවරයෙකු ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ විශේෂ පත්වීමක් ලැබීම.

සිදු කළ සේවාවන්.

  1. පෙරපාසල් සංවර්ධනයට අවශ්‍ය පියවර ගැනීම.

            උතුරු මැද පළාතේ දුවා දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නැත යන තේමා පාඨයට අනුව යමින් පෙර පාසල් සංකල්පයෙන් ඔබ්බට ගිය පූර්ව ළමා විය සංවර්ධන ප්‍රඥප්තිය හදුන්වා දෙමින් ඒ යටතේ පෙර පාසැල් 1888 ක් පමණ ස්ථාපනය කර පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය පිහිටුවීම.ඒ මගින් එකම ප්‍රමිථියකින් පූර්ව ළමා විය අධ්‍යාපනය ලබා දීම සිදු කිරීම, පෙර පාසල් සංවර්ධනය, පොත් කට්ටල, ක්‍රීඩා උපකරණ ලබා දීම හා පෙර පාසල් පාලිකාවන් පුහුණු කිරීම හා පෙර පාසල් පාලිකාවන්ට දීමනා ලබා දීම සිදු විය.

  • පාසල් අධ්‍යාපනය නගා සිටුවීම.

උතුරු මැද පළාතේ දරුවන්ට අධ්‍යාපනයෙන් තොර අනාගතයක් නොමැත” යන සංකල්පය පෙර දැරිව පළාතේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් පළාත තුළ නව ආදර්ශ කණිෂ්ඨ විද්‍යාල ආරම්භ කිරීම හා පළාත් සභා පාසල් සංවර්ධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම මෙන්ම මධ්‍යම ආණ්ඩුව හරහා ජාතික පාසල්ද සංවර්ධනයට කටයුතු කළහ.

ලෝක ආහාර සංවිධානයෙ ආධාර ඇතිව විලච්චිය, පදවිය, හොරොව්පතාන, මැදිරිගිරිය, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී සියලුම පාසල් වල 1-9 ශ්‍රේණි වල  දරුවන්ට දිවා ආහාර වේලක් සැපයීමට වැඩසටනක් ක්‍රියාත්මක කිරීම.

උතුරු මැද පළාතේ දරුවන් නවීන තාක්ෂණ දැනුමෙන් සන්නද්ධ කරනු වස් පරිගණක තාක්ෂණය ගමට ගෙන එමින් පාසල් 450 ක පරිගණක තාක්ෂණික විද්‍යාගාර ඇති කිරීම.

පළාතේ පාසල් වල පිහිටටුවා ඇති පරිසර ඒකක සඳහා අවශ්‍යය උපකරණ ලබා දීම.

පාසල් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා පාසල් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීම, ජාතික මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම මෙන්ම උතුරු මැද පළාත තුළ පළාත් මට්ටමේ පාසල් ක්‍රීඩා තරඟ සංවිධානය කර දක්ෂතා ඇති ක්‍රීඩකයින් හදුනා ගැනීමට කටයුතු කිරීම.

පාසල් දරුවන්ට විදු ලොව ජය ගැනීමට පාසල් වලට අංග සම්පූර්ණ විද්‍යාගාර ඇති කිරීම.

පාසල් හැර යන හා උසස් අධ්‍යාපන වරම් හිමි නොවන පළාතේ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා 2009/07/17 ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය ආරම්භ කිරීම.

  • ග්‍රාමීය ජනතාවට ජල පහසුකම්.

උතුරු මැද පළාත තුළ වකුගඩු රෝගීන් බහුල පෙදෙසක් ලෙස අනාවරණය වීමත් සමඟ ඒ අභියෝගයට මුහුණ දී සඳහා පාසල් වලට පිරිසිදු ජල පහසුකම් සැපයීම හා ගම්මාන මට්ටමින් පිරිසිදු ජලය ලබා ගැනීමට අවශ්‍යය කටයුතු සම්පාදනය  මෙන්ම ජල පෙරණ බෙදා දීම සිදු කරනු ලැබීය.

  • ආගමික.

සංවර්ධිත, සමෘද්ධිමත්, පළාතක් මෙන්ම දැහැමි සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව උතුරු මැද පළාතේ දහම් පාසල් වැඩි දියුණුව සඳහා අවශ්‍යය පියවර ගනු ලැබීය.

පළාතේ බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමේ අභිලාෂයෙන් පළාත පුරා විසිරි තිබෙන විහාරස්ථාන 200 ක් සංවර්ධනය කිරීම.

  • කෘෂිකාර්මික.

රටට අවශ්‍යය බඩඉරඟු ප්‍රමාණය උතුරු මැද පළාත තුළින්ම නිෂ්පාදනය කිරීමේ භාර ධූර වගකීමට නායකත්වය දෙමින්.2000 වර්ෂයේදී අක්කර 300-5000 ක් අතර බඩ ඉරඟු වගා වූ බිම් ප්‍රමාණය, 2009 වන වට අක්කර ලක්ෂය දක්වා වර්ධනය කර ගැනීමට බර්ටි දිසානායක මහතා පුරෝගාමීව කටයුතු කළහ.මෙමගින් බඩ ඉරඟු මෙට්ට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පළාත තුළම නිෂ්පාදනය කෙරුණු අතර, බඩ ඉරගු ගොවීන්ට ශක්තියක් වෙමින් වගාව ආරම්භයේ සිටම අලෙවි කර ගැනීම දක්වා ගොවීන් දිරි ගන්වමින් බර්ටි දිසානායකයන් කටයුතු කළහ.ඒ අනුව බඩඉරඟු ආනයනය නතර කිරීමත්, ආනයනය සඳහා 20% ක බදු පැනවීමත් ප්‍රධාන අමාත්‍යයතුමන්ගේ ඉල්ලීම මත සිදු කෙරිණි.

බර්ටි දිසානායකයන් අද සූජිවත්ව නැති වූවද පාරම්පරිකව සිදු කර ගෙන ආ ප්‍රධාන ගොවිතැන වූ වී ගොවිතැනට දෙවැනි ආර්ථිකය ශක්තිමත් කරන ගොවිතැන ලෙස උතුරු මැද පළාත තුළ බඩ ඉරඟු වගාව අදටත් පවතියි.අදටත් බඩඉරඟු වගා කරන ගොවීන් බර්ටි දිසානායක මහතා බඩඉරඟු වගාව ප්‍රචලිත කිරීමට ගත් උත්සහය නිසා තමන්ගේ අතමිට සරුවන බව පවසති.

කෙතින්, බතින්, සුඛිත මුදීත අතීතයකට හිමිකම් කියන උතුරු මැද පළාත යළි සහලින් ස්වයං පෝෂිත කිරීමේ උදාර අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා පුරන් කුඹුරු රන් කරළින් බරකර වීමට ගොවි ජනතාවට ශක්තියක් වීමට පළාතේ නටඹුන් වූ වැව්- ඇළවේලී සිය දහස් ගණනනක් ප්‍රථිසංස්කරණය කිරීමට අවශයය කටයුතු සම්පාදනය කර ඇත.

පෙර රජ දවස කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් පෝෂණය කළ නොච්චියාගම පරණ ගල්කඩවල ඓථිහාසික අමුණු වසර 500 කට පසු ප්‍රථිසංස්කරණය කර කුඹුරු අක්කර 1000 කට අවශ්‍යය ජලය ලබා දීමට පියවර ගත් අතර, තිරප්පනය කළුහාමි අමුණද ප්‍රථිසංස්කරණය කර නව කුඹුරු අක්කර 1000 ක් අස්වැද්දීමට අවශ්‍යය ජලය සම්පාදනය කර දෙනු ලැබීය.

දේවහූව වැවෙන් පිටාර යන ජලය කළුගල් උස්පොත ස්ථානයේදී වාන් ඇළ හරහා බඳින පවුරක් මගින් වැව් එකොළහක් ජලයෙන් පෝෂණය කරන කෝට්ටේ ඇළ ප්‍රථිසංස්කරණය කරනු ලැබීය.ඒ මගින් කුඹුරු අක්කර විසි දහසක් යළ මහ දෙකන්නයේ වගා කර ගත හැකි වූ අතර, පලාගල ප්‍රදේශයේ ගොවි පවුල් හත් දහසකට පමණ ඉන් සෙත සැලසේ.

වාරී කර්මාන්තය දියුණු කරමින් නියගයෙන් පීඩාවිදි පදවිය ජනතාව දිය බිඳක් වෙනුවේන දුටු සිහිනය මල් ඵල ගන්වමින් හුරුළුවැව සිට පදවිය වැව දක්වා ජලය සැපයෙන පැරණි යෝද ඇළ සංවර්ධනය කරනු ලැබීය.

කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවි පවුල් වෙත තම වගා කටයුතු සඳහා ජලය ලබා ගැනීමට අවශ්‍යය ජල පොම්ප ප්‍රධානය.

ඇමතිකම සේම ගොවිකමද හුරු පුරුදු බර්ටි දිසානායක මැතිතුමන් කුඹුරේ- කමතේ ඇවිද ගොස් ගොවි ජන ගැටලු සොයා බලා කඩිනම් විසදුම් ලබා දුන් අතර, ජාතික වප් මගුල් උළෙලට සහභාගී වී සී සෑමටද කටයුතු කළහ.

දේශිය ආහාර වෙත ජනතාව හුරකරවීමේ ව්‍යාපෘතිය යටතේ ජනතාව පාන් පිටි හා තිරිඟු පිටි වලට යොමු වීම බහුල වීම සමඟ නොයෙකුත් ලෙඩ රෝගයන්ට ගොදුරු වූ බැවින් රජරට පුරා සහල් පිටි ව්‍යාප්ත කරමින් සහල් පිටි මගින් ආහාර සකස් කිරීමට ජනතාව හුරු කිරීම උදෙසා ප්‍රාදේශීය සභා මට්ටමින් සහල් පිටි සකස් කර ගැනීමට යන්ත්‍ර බෙදා දෙනු ලැබූ අතර. ඒ මගින් නව ව්‍යාපාරික අවස්ථාද ජනතාව වෙත විවර කර දෙනු ලැබීය.

  • විදුලිය.

            උතුරු මැද පළාතේ සෑම ගමක්ම අදුරින් අලෝකයට ගෙන ඒම සඳහා ගම්මාන වලට විදුලිය ලබා දීම සිදු කිරීමට බර්ටි දිසානායක මැතිතුමන් නායක්තවය ගත්හ.

            විදුලිය නොමැති ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව සඳහ සූර්ය කෝෂ ලන්තෑරුම් ලබා දීමද සිදු විය.

  • ධීවර ප්‍රජාවට අතහිත.

ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාවගේ ප්‍රශ්න වලට ඇහුම්කම් දෙමින් ධීවර ගම්මාන ඇති කර, ඔවුන්ගේ ගම්මානයන්ට අවශ්‍යය පහසුකම් සපයා දීම මෙන්ම, ධීවර කර්මාන්තයට අවශ්‍යය ආම්පන්නද ලබා දීම මගින් ඔවුන්ට සවියක් විය.වැව් විශාල ප්‍රමාණයකට මත්ස්‍ය පැටවුන් දමා ධීවර කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කර ඇත.

  • සංචාරක ක්ෂ්‍රේත සංවර්ධනය.

සුවහසක් බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩක් බඳු වූ අනුරාධපුර අටමස්ථානය දෙස් විදෙස් පතල කීර්තියක් ඇති පූජනීය පුදබිමකි.අටමස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් විඳි අපහසුතා මඟ හරවමින් නව මං පෙතක් විවර කිරීම, පූජා නගරය ඔස්සේ අටමස්ථානය යා කරන පූජා නගර වටරවුම් මාවත සංවර්ධනය කිරීම සිදු කෙරිණි.

  • විදිමත් මඟී ප්‍රවාහන සේවයක් ඇති කිරීම.

පළාතේ මගී ජනතාවගේ පහසුව පිණිස පළාත් මර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය ආරම්භ කරනු ලැබීය.අනුරාධපුර නගරයේ ප්‍රධානම බස්නැවතුම් පළ වන අනුරාධපුර නව බස්නැවතුම් පළ නවීකරණය කිරීමට හා පියවර ගත් අතර, එහි බස් රථ ලැගුම් පළවල් 32 ක්, ත්‍රී රෝද රථ ගාස් දෙකක් හා වෙළඳසංකීරණයක් හා සියල අංගෝපාංගයන්ගෙන් සමන්විතව ඉදි කිරීම් ආරම්භ කළහ.මීට අමතරව අනුරාධපුර පැරණි බස් නැවතුමේ දුරගමන් සේවා නැවතුම ඉදි කිරීම හා නගර මට්ටමින් බස් නැවතුම් රැසක් ඉදි කිරීමද සිදු කළහ

  1. සෞඛ්‍ය සංවර්ධනය.

පළාතේ ජනතාවට වඩාත් හොඳ සෞඛ්‍ය සේවාවවක් ලබා දීම වෙනුවෙන්, අනුරාධපුර ශීක්ෂණ රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදි කිරීම, මූලික රෝහල්,දිසා රෝහල්, ප්‍රාදේශීය රෝහල් හා ග්‍රාමීය රෝහල් වල පහසුකම් දියුණු කිරීම, නව ගිලන් රථ ලබා දීම සිදු කළහ.

පළාත තුළ පවතින වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග ඒකකයක් නිර්මාණය කර ඒ සඳහා පහසුකම් සැපයීම. වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ජල පෙරණ පළාත තුළ බෙදා දීම.

  1. සමාජ සුභ සාධන.

ලොවක් බලන්නට ලොවක් දකින්නට නෙතට වරම් නැති මිනිසුන් හට ඇස් පාදා දෙන මහාඅමාත්‍යයවරයෙක් ලෙස උපැස් යුවලක් ගන්නට වත්කම් නැති පළාතේ දස දහස් ගණන් ජනතාව වෙත ඇස් කණ්නාඩි ප්‍රදානය කරනු ලැබීය.

  1. සංස්කෘතික පුනරුදය.

පාරම්පරික කළා ශිල්ප නගා සිටුවීම,

නාට්‍ය පාසල, පළාත් නර්තන කණ්ඩායම්, පළාත් සංගීත කණ්ඩායම වැනි අංශ පිහිටුවීම හා උතුරු මැද කළා උළෙල වැනි අංගයන් ක්‍රියාත්මක කිරීමට පුරෝගාමීව කටයුතු කළහ.

  1. ඓතිහාසික අනුරාධපුර දළදා පෙරහැර.

ලංකා ඉතිහාසයේ දළදා පෙරහැර මුල්වරට පැවතියේ අනුරාධපුරයේදීයි.කිත්සිරි මෙවන් රජදවස ආරම්භ වී පැවති මෙම පෙරහැරි රාජධානී මාරුවත් සමඟ අනුරාධපුරයෙන් අභාවයට ගොස් තිබූ අතර, 1996 වර්ෂයේදී එවකට කර්මාන්ත අමාත්‍යවරයාව සිටි බර්ටි දිසානායක මැතිතුමන්ගේ මූලිකත්වයෙන් අනුරාධපුර දළදා පෙරහැර නැවත ආරම්භ විය.එය අද දක්වාද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

  1. අවතැන් වූ ජනතාවට සහන සැලසීම.

යුද්ධයෙන් පසු අවතැන් කඳවුරු වල සිටි ජනතාවට මෙන්ම, සුනාමි ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරමින් ඔවුන්ට අවශ්‍යය ආහාර පාන, ඇඳුම් පැළඳුම් රැගෙන ප්‍රධාන අමාත්‍යය බර්ටි දිසානායකයන් ඔවුන් වෙත ගොස් ඔවුන්ට සහන සැලසීය.

මේ ආකාරයෙන් ලියා නිම කළ නොහැකි සේවාවන් රැසක් උතුරු මැද පළාතට සිදු කළ කෘතහස්ථ දේශපාලඥයකු වූ හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමන් 2013 වසරේ සැප්තැම්බර් 27 වන දින දිවි සැරිය නිම කරන විට 59 වැනි වියේ පසු විය. එතුමන්රජරට ජනතාවගේ හදවත් වල සදා ජීවමාන චරිතයක් වූයේ එතුමා උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යයවරයා, කැබිනට් අමාත්‍යයවරයෙක් නියෝජ්‍යය අමාත්‍යයවරයෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා  රජරටට කළ සේවය නිසා වෙනි.මහඇමතිවරුන් අතර මහඇමතිවරයා වූ බර්ටි නාමය මෙන්ම ඔහු සුජීවත්ව සිටි අවදියේ සිදු කළ ජනතා මෙහෙවර බර්ටි දිසානායක මැතිතුමන්ගේ ජේෂ්ඨ පුත්‍රරත්නය වන සූර්ය බල සුළං හා ජලවිදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යයතුමන්ගේ සභාපතීත්වයෙන් බර්ටි දිසානායක පදනම මගින් අඛණ්ඩව සිදු කරගෙන යනු ලබයි.

බර්ටි දිසානායක මැතිතුමන් අභාවප්‍රාප්ත වූ 2013 සැප්තැම්බර් මස 27 වන දින සිට බර්ටි දිසානායක මැතිතුමන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් බර්ටි දිසානායක පදනම සෑම මසකම දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයන් වෙත දිවයිනේ ප්‍රසිද්ධ ධර්ම දේශකයානන් වහන්සේලා වැඩම කරවා ධර්ම දේශණා පැවැත්වීම හා විහාරස්ථානයන්හී අභිවෘද්ධිය වෙනුවෙන් මූල්‍ය ආධාර පිරිනැමීම. එම ධර්ම දේශනාවන් ශ්‍රවණයට පැමිණෙන බැතිමතුන් වෙත බුදු පිළිම වහන්සේලා පිරිනැමීම හා ඔවුන් වෙත රාත්‍රී ආහාර වේල ලබා දීමට දන්සල් පැවැත්වීම අඛණ්ඩව සිදු කරනු ලැබීය.මීට අමතරව බර්ටි දිසානායක මැතිතුමන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරමින් බර්ටි දිසානායක පදනම මගින් මහා සංඝරත්නය සියක් නමක් වැඩමකරවා දානය ඇතුළු සපිරිකර පූජා කිරීම, අනුරාධපුර අභිමංසල අබාධිත රණවිරුවන් වෙත  දිවා අහාරය ලබා දීම, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන්ට දිවා අහාරය ලබා දීම, සාලියපුර වැඩිහිටි නිවාසය වෙත හා අනුරාධපුර සියළු ළමා නිවාසයන්ට දිවා ආහාරය ලබා දීම, අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර මලු ලබා දීම, ලේ දන්දීමේ පිංකම් පැවැත්වීම, සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත දහම් පුස්ථක පරිත්‍යාග කිරීම, වෙසක්, පොසොන් පෝය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් පැවැත්වීම, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරා ගත් දිළිදු පවුල් 50 ක් සඳහා නිවාස 50 ක් ඉදි කර දීම,පාසල් ළමුන් 1000 ක් සඳහා අධ්‍යාපන උපකරණ ලබා දීම, විවිධ අවශ්‍යතා සහිත දරුවන් හා වැඩිහිටියන් වෙත රෝද පුටු, කිහිළිකරු හා කෘතිම පාද ලබා දීම, ඇස් පෙනීම දුර්වල අය වෙනුවෙන් ඇස් කණ්නාඩි ලබා දීම, ලේ දන්දීමේ පිංකම් වැනි පිංකම් රැසක්ද සිදු කර ඇත.

අද (27) බර්ටි දිසානායකයන්ට පුණ්‍ය අනුමෝදනා එක් කරමින් මහා සංඝරත්නය වෙත දානය පූජා කිරීම, ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීම හා ඔන්ලයින් අධ්‍යාපනය ලැබීමට දුරකථන නොමැති දරුවන් 50 දෙනෙකු වෙත ස්මාර්ට් ජංගම දුරකථන ප්‍රදානය කිරීමටද නියමිතය.

බර්ටි දිසානායක මැතිතුමන් අභාවප්‍රාප්ත වී 08 වසරක් ගත වී අද එතුමන් ජීවමාන නොවූවද රජරට ජනතාව අතර කළු බර්ටි නාමය සදා ජීවමාන වනු ඇත.ඔහු නැති අඩුව දැන් රජරටට දැනෙමින් පවතී…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress