පොහොර තොගය ගෙන්වීමට ඇති උනන්දුව සැක සහිතයි – ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයින්ගේ සංසදය
Posted on September 26th, 2021

උපුටා ගැන්ම දිවයින

චීන සමාගමක් වෙතින් ලැබී ඇති කාබනික පොහොර සාම්පල විෂ සහිත බව සනථ වී තිබියදී එම පොහොර තොගය ආනයනය කිරීමට රජයට ඇති උනන්දුව ප‍්‍රශ්න සහගත බවට ශ‍්‍රී ලංකා කෘෂි ව්‍යවසායකයන්ගේ සංසදය පවසයි.

චීනයෙන් ගෙන්වන ලද මෙම පොහොර සාම්පලවල විෂයෙහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට තමන්ට නිරීක්‍ෂණය වී ඇති බව ද එම සංසදය සඳහන් කරයි.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ කිසිවක් මෙම නියැදි ආනයනය විෂයයෙහි අනුගමනය කර නොමැත. කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ රීතීන් අනුව ගෙන්වනු ලබන පොහොර සාම්පල රස පරීක්‍ෂා යහපත් වුවද ඒ අනුව දිවයිනට ගෙන්වීමට අනුමැතිය දෙනු ලබන වාණිජ පරිමාණ පොහොරද විටින් විට අහඹු ලෙසින් පරීක්‍ෂාවට ලක් කරනු ලැබේ. එවන් අහඹු පරීක්‍ෂා නොකරනු ලබන්නේ නම් ආගන්තුක හා හානිකර බැක්ටීරියා නිසා පෙර සඳහන් කළ පරිදි මිනිසුන්ට හා බෝගවලට මෙන්ම අපගේ දේශීය ජල මූලාශ‍්‍රවලටද ස්වභාවික පරිසර පද්ධතියටද ආපසු හැරවිය නොහැකි දරුණු හානි ඇති විය හැකිය. මෙය විශේෂයෙන් අපගේ වගා ක්‍ෂේත‍්‍රයට දැවැන්ත ව්‍යසනයක් ඇති කරන්නටද ඉඩ ඇත.

ලාබ ලැබීම මූලික අරමුණ විය හැකි ආනයනකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන මෙවන් දූෂමාණ රසායන වාර්තා පිළිගැනීමේ හා පසුව එම සාම්පල දූෂිත යයි නිල වශයෙන් පිළිගෙන එයින් පසුවද එම පොහොර වර්ගය විශාල වාණිජ ප‍්‍රමාණයකින් එනම් ටොන් 96000 ක් ගෙන්වන්නට අවසර දෙන ලද අදාළ බලධාරීන්ගේ ආකල්පය අපට සැබැවින්ම ප‍්‍රශ්න සහගතය. මේසා දැවැන්ත ප‍්‍රමාණයක් ගෙන්වන්නට අවසර දී ඇත්තේ කිලෝ කීපයක් පමණක් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය හා එහි අපවිත‍්‍රතා තිබෙන බව සනාථ වී තිබියදීය. එනිසා ඝන කාබනික ද්‍රව්‍ය පරිපාලනය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අංක 1704 සම්මතයට අනුව උක්ත පොහොර වර්ගයෙහි කිසිදු බැක්ටීරියා හෝ වෙනත් ජීවමය විශේෂයක් නොමැති බව තහවුරු වනතෙක් මෙම ආනයනය සඳහා අනුමැතිය ලබාදීම කිසිසේත් සංවේදී හෝ දේශ හිතෛෂී කටයුත්තක් නොවනු ඇත.

එම නිසා අවශ්‍ය කරුණු කාරණා තහවුරු කර ගන්නා තෙක් උක්ත පොහොර තොගය ආනයනය කිරීමට අවසර නොදිය යුතුය යැයි රජය වෙතින් අප සංසදය තරයේ ඉල්ලා සිටී. විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලබන ඇස් බැන්දුම් මාධ්‍ය නිවේදන පමණක් මේ සඳහා ප‍්‍රමාණවත් වන්නේ නැති බව ද එම සංසදය සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress