චීන තානාපති කාර්යාලය මගින් මහජන බැංකුව අසාදුලේඛන ගත කිරීම
Posted on November 4th, 2021

සමස්ත ලංකා බැංකු සේවක සංගමය

චීන තානාපති කාර්යාලය මගින් මහජන බැංකුව අසාදුලේඛන ගත කිරීම

රජය මගින් පොහොර මිලදී ගැනීමේ ගැටළුවක් සම්බන්ධයෙන් එම ගනුදෙනුවේ මූල්‍ය සේවා පහසුකම් සැපයීමට කටයුතු කරන ලද මහජන බැංකුව චීන තානාපති කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බව එම තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.

ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද අධිකරණ නියෝගයකට අවනත වීම හේතුවෙන් මහජන බැංකුව මෙලෙස අසාදු ලේඛනගත කිරීමකට ලක්කර ඇති බව බැංකුව පාර්ශවයෙන් කරුණු දක්වා ඇත. මෙවැනි තත්වයක් තුළ වසර 60 ක් පුරා ජාතික ආර්ථිකයේ ජීවනාලියක් බඳු වූ මහජන බැංකුවේ කීර්ති නාමය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වීමටත් ව්‍යාපාරික පැවැත්මට හානියක් වීමටත් පසුබිම සකස් වෙමින් පවතී.

දැවැන්ත ආර්ථික පසුබෑම හමුවේත්, #කොවිඩ් වසංගත සමයේත් ජාතික ආර්ථිකය රැක ගැනීමට අඛණ්ඩ මෙහෙයක් ඉටුකළ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පත්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා නොදන්නා බව මාධ්‍යයට පැවසීම විමතිය දනවන්නක් වේ. අදාළ පොහොර සමාගම ණයවර ලිපි විවෘත කිරීමේදී බලයලත් නිලධාරීන්ගේ අනුමැතිය හා බලපත්‍ර සහිතව අදාළ කටයුතු සිදු කරාද යන්න සමාජයේ සංවාදයට බඳුන්ව පවතී.
 
පසුගිය ආණ්ඩු සමයන් තුළ හෙජින් ගිවිසුම, මහ බැංකු බැඳුම්කර වංචාව වැනි දූෂිත ගනුදෙනු හරහා නිර්මාණය වූ අත්දැකීම් රාජ්‍ය බැංකු සම්බන්ධයෙන් මහජන විශ්වාසය බිඳ හෙළීමටත් රාජ්‍ය බැංකුවල ව්‍යාපාරික වපසරියන් හකුළුවා දැමීමටත් විවිධ ආණ්ඩු කටයුතු කර ඇත. නමුත් බැංකු සේවකයන්ගේත් පොදු මහජනතාවගේත් අඛණ්ඩ කැපවීම හා ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම ජනතා ආර්ථික මර්මස්ථාන රැක ගැනීමට හැකියාව ලැබී ඇත.

නීති තත්වය පරීක්‍ෂාවකින් තොරව ගෙන්වන ලද මෙම පොහොර තොගය පිළිබඳ වගකීම පොහොර සමාගම විසින් භාරගත යුතු වුවත්, මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීම නිසා ඉදිරියේදී මහජන බැංකුවට දැඩි මූල්‍ය පාඩුවක් සිදුවනු ඇති අතර රාජ්‍ය බැංකු මේ අන්දමින් අනතුරේ හෙළීමේ වගකීම මෙම පොහොර තොගය ගෙන්වීමට මූලික වූ රජය විසින් භාරගත යුතු බවට අවධාරණය කළ යුතුය.
 
අදූරදර්ශී හා දූෂිත ආණ්ඩු ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි ලාභ ලබන ආයතන අර්බුදකාරි වාතාවරණයන්ට පත් කරන පාලකයන්ට එරෙහිව පෙළගැසෙන ලෙස සියළුම බැංකු සේවකයින් හා ජනතාවට ආරාධනය කරන අතර විදේශ තානාපති කාර්යාලයකට දැවැන්ත අර්බුද නිර්මාණය කළ හැකි යැපුම් ආර්ථිකයක් ඇති කළ වසර 73 ක් රට පාලනය කළ ආණ්ඩු වෙනුවට ජනතා ආර්ථිකයක් බිහිකළ හැකි දැක්මක් හා වැඩපිළිවෙලක් ගොඩනැඟීම සඳහා අත්වැල් බැඳ ගන්නා සියලූ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

ස්තූතියි.
 
මෙයට, විශ්වාසී
වසන්ත සමරසිංහ
සභාපති
සමස්ත ලංකා බැංකු සේවක සංගමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress