ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය අග්‍රාමාත්‍යතුමාගේ අතින් විවෘත වෙයි
Posted on November 11th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නවීන තාක්ෂණික පහසුකම් සහිතව සිවු මහල්ව ඉදි කළ ගීතාංජලී අමරසූරිය විශාඛා සියවස් සමරු පුස්තකාලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (11) පෙරවරුවේ විවෘත විය.

විශාඛා විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව රුපියල් මිලියන 96.5ක මූල්‍ය දායකත්වයකින් යුතුව මෙම නව සුහුරු පුස්තකාලය ඉදිකර තිබේ.

විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය ඇතුළු විශාඛා දියණිවරු සියවස් සමරු පුස්තකාලය විවෘත කිරීමට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිළිගත්හ.

අනතුරුව නව සුහුරු පුස්තකාලය විවෘත කිරීම සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා ඒ වෙනුවෙන් වූ සමරු ඵලකය නිරාවරණය කළේය.

පීත්ත පටිය කපා පළමු මහළට ඇතුළු වූ අග්‍රාමාත්‍යතුමා පුස්තකාල කටයුතු ආරම්භ කරමින් විශාඛා දියණියකට පළමු පොත බැහැරලීම සංකේතවත් කළේය.

විශාඛා විදුහල්පතිනිය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙහි දී සමරු තිලිණයක් ප්‍රදානය කළාය.

1967 අගෝස්තු මස 20 වැනිදා විවෘත කළ ගීතාංජලී අමරසූරිය සමරු පුස්තකාලය සිවු මහල්ව ඉදිකළ නව ගොඩනැගිල්ලේ වර්ග අඩි 15000කට ආසන්න ඉඩ ප්‍රමාණයකින් යුක්තය.

කොවිඩ් වසංගතය හමුවේ පැවැති දුෂ්කරතා ද මගහරවා ගනිමින් පාසල් සංවර්ධන සමිතිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය නව පුස්තකාලය විශාඛා දියණියන්ට තිලිණ කිරීමට වෙහෙස වී ඇත.

මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එම මහත්මිය, ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය, විශාඛා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ විශාඛා දියණියන්, දෙමාපියන් හා  පාසල් සංවර්ධන සමිතියේ නිලධාරි මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress