අග්‍රාමාත්‍යතුමාගේ දායකත්වයෙන් ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති වාර්ෂික කඨින මහා පූජෝත්සවය
Posted on November 14th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ 10 ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පුජෝත්සවයේ කඨින චීවරය අද (14) උදෑසන අරලියගහ මන්දිරයේ සිට පෙරහරකින් වැඩම කොට සඝසතු කර පූජා කෙරිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වස් ආරාධනයෙන් පසු කඨින චීවරය සඝ සතු කිරීම දක්වා මූලික දායකත්වය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු දරු මුණුබුරන් සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දරනු ලැබූහ.

ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය පෙරටුකොට ශ්‍රීමාල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස අරලියගහ මන්දිරයේ සිට ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානය වෙත කඨින චීවරය පෙරහරින් වැඩම කරවූහ.

අනතුරුව ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ දී කඨින චීවරය පූජා කිරීමේ මහා පූජෝත්සවය පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහානායක මකුලෑවේ විමල නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති සම්මානිත මහාචාර්ය කඹුරුගමුවේ වජිර නාහිමි ඇතුළු මහා සංඝරත්නය කඨින චීවරය මහා සංඝරත්නයට පූජා කරන අවස්ථාවට වැඩම කළ වදාළහ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, අග්‍රාමාත්‍ය බෞද්ධ කටයුතු පිළිබඳ පෞද්ගලික ලේකම් ඒ.එම් රත්නායක මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආගමික අංශයේ නිලධාරි මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress