සුද්දගෙ නීතිය අපිට එපා – තුන්වෙනි කොටස
Posted on November 15th, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

“If we are going to have one nation under God, which we must, we have to have one religion. One nation under God, and one religion under God.”  –  Michael Flynn, Nov 10, 2021

ක්‍රිස්තියානි ආධිපත්‍යය හා බෞද්ධ ආයාචනය

මෙහි ඉහතින් උපුටා දැක්වෙන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශකව (national security advisor) සිටි මයිකල්  ෆ්ලින් විසින් “ඇමෙරිකාව යළි පුබුදමු” යන ව්‍යාපෘතිය (“ReAwaken America” tour) උදෙසා රට වටා  යමින් කරණ සංචාරයේදී ටෙක්සස් ජනපදයේ සැන් ඇන්ටෝනියෝ නගරයේදී කල ප්‍රකාශයකි. ඔහු බොරු කියා වැරදිකරුවූ විට 2020 දී ජනාධිපති සමාවද ලැබූ අයෙකි. යළි හිස ඔසවන ට්‍රම්ප් බලවේගය ඉදිරියේ උග්‍ර ක්‍රිස්තියානියෙකු වන ෆ්ලින්ගේ මතය බොහෝ ඇමෙරිකානුන්ගේ මතයද විය හැකිය. ලංකාවේ එක රටක්-එක නීතියක් සංකල්පය බාල, මහළු පක්ෂ දේශපාලකයින්ගේ  උදහසට ලක්වී ඇති මාසයේම මෙම ඇමෙරිකන් ව්‍යාපෘතිය පැතිරීයාම පුදුමයට කරුණකි. එහෙත් මේ සම්බන්ධයෙන් රටවල්  දෙකේ ඇත්තේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ පසුබිම්ය.

මීට අදාලව ලංකාවේ නම් සිදුවූයේ සර්ව සාධාරණ ආයාචනයක්  හෙවත් දුක්ගැනවිල්ලක් පමණය. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා විසින් 1956 දී කල ඒ ආයාචනය මෙසේය.

The Buddhists wish—and quite rightly—that in this country where they form 70 percent of the population, Buddhism should be recognized as the predominant religion of the people. In the rest of the world, Ceylon is regarded as essentially a Buddhist country, and they want this claim established here as well…They will not be content to remain in the position of inferiority to which they have been reduced by 450 years of foreign occupation. They have no desire to make Buddhism the State religion—in spite of the cry raised by self-seeking politicians— but they want the State to help them rehabilitate themselves and undo some, at least, of the injustices perpetrated against them during the days of their subjection.”(quoted from a speech by Professor Gunapala Malalasekera, President of ACBC, reproduced in Times of Ceylon, January 15, 1956, and  referenced on page 196 of the book, Ceylon: Dilemmas of a New Nation,”  by W. H. Wriggins, Princeton Univ. Press, 1960)

‘මිනිස් හට සොඳුරු ගුණ සහ නුඟුණ ඇත – නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත’ – සුභාෂිතය

මෙම ලිපි මාලාවේ මීට පෙර කොටස් දෙකේදීද පෙන්වා දුන් පරිදි ලංකාවේ මෙම සංකල්පය ජනාධිපති ගෝඨාභය හෝ ඥානසාර හිමියන් යන පංචස්කන්ධ දෙකේ දුර්වලකම් හෝ දක්ෂ අදක්ෂකම් හෝ පිළිඹඳ ප්‍රශ්ණයක් නොවේ. මෙය  1551 න් පසුව සුද්දන් විසින්, විශේෂයෙන් 1815 න් පසුව බ්‍රිතාන්‍ය සුද්දන් හා, 1931 න් පසුව  කළු සුද්දන් විසින්, සිංහලේ රටේ සිංහල බෞද්ධ ජනයාට කල හානිය නිවැරදි කල යුතුය යන නිරන්තර අරගලයේදී, එය විමසා බැලීම සඳහා බිස්නස් දේශපාලකයෙකු නොවූ නායකයෙකු විසින් 1948 න් පසුව ගත් එඩිතර පියවරක් පමණය. ඔවුන් එම පන්සල් හා සුද්දන්-කළුසුද්දන් අතර ගැටුමේදී ඉතිහාසය විසින් එකතුකල වින්නඹුවන් දෙන්නෙක් පමණය. මෙය තව දුරටත් පැහැදිලි කලොත්, මෙම සංකල්පය මෙම පංචස්කන්ධ දෙකෙන්  අවසාන නොවේ. සුද්දන් ඒමට පෙර සිංහලේ රටේ තිබූ සිංහල-දමිළ-මුස්ලිම් සහජීවනය, බෙදා පාලනය කිරීමේ උපක්‍රම/නීති හා බුද්ධාගම විනාශ කිරීමේ ශූක්ෂම සැලැස්මවල් මඟින් කඩාකප්පල් කර දැමිණ. අවුරුදු 500 කට වැඩිකාලයක් පුරා සිංහලයාට සිදුවූ අසාධාරණය, සාධාරණ ලෙස නිවැරදි කල යුතුය. සියළු දේම අනිත්‍ය බව දන්නා බෞද්ධයා සෙසු ජනවර්ග වලට පමණක් නොව සතා-සිව්පාවා, ගස්-ගල් වලට පවා කරුණාව දයාව පෑවේය. නූතන භූදේශපාලන යථාර්ථයන්ට, බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති  අනුව මුහුණ දෙමින්, සිංහල කළුසුද්දන්ගෙන්,  ශාරියා-වහාබි, ක්‍රිස්තියානි මූලධර්මවාදීන් හා ඊළම් බෙදුම්වාදීන් හා ලෝක බලවතුන්/ ලෝක කොම්පැනි වල ආක්‍රමණවලින්/ග්‍රහණයෙන්, සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බේරා ගැනීමට ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයකි.

වලිගේ පාගාගත් ලෝකල් කළුසුද්දෝ

රාසමානිකම්ලා-ඩිව් ගුණසේකරලා-සුසිල් ප්‍රේමජයන්තලා

එක රටක් 

පාර්ලිමේන්තුවේදී මඩකලපු මන්ත්‍රී  ශානක්‍යයන් රාසමානික්කම් කල කතාවට අනුව එක නීතියක් යනු පවතින නීති, ජාති, ආගම්, කුල, ධනය, බලය, දේශපාලන පක්ෂය, අල්ලස්, නෑදෑකම යනාදී භේදයකින් තොරව එක සමාන ලෙස හැම දෙනාටම ක්‍රියාත්මක කිරීමය. චෙල්වනායගම්ලා, පොන්නම්බලම් පරම්පරා, විග්නේෂ්වරන්ලා හා සුමන්තිරන්ට වඩා දේශපාලන ප්‍රාඥයෙකු සේ පෙනී සිටින මේ ලාබාල මන්ත්‍රී නීති විද්‍යාව ගැන ඉගෙන ගතයුතු දේ බොහෝ බව මේ කතාවෙන් එලිවේ. ඇස් දෙක  වසාගෙන කඩුවක් අරගෙන ඉන්නා නීතියේ දෙවඟන ඉදිරියට එන්නේ, ගේන්නේ, සබන් පැක්ටේරියකින් එලියට ආ සබන් කෑලි නොවේ. ලෝකයේ සමාන පුද්ගල පංචකන්ධ නැත. හැමෝටම සමාන ආකාරයට නීතිය ක්‍රියාත්මක කිරීම එම කටයුත්ත භාරව සිටින අයගේ විනයගරුක රාජකාරියකි, දේවකාරියකි. ඥානසාර කොමිටිය පත් කලේ ඒ ගැන කතාකරන්නට නොවේ.

එක රටක් යනු පෙඩරල් වෙට්ටු දමා, ඔරුමිත්තනාඩු, ඒකීය නම තුල එක්සත් නම පටලවා 13 ඒ හරහා යාමට ඇති ඉඩකඩ වසන, 13 ඒ අහෝසි කල රටකි. මේ නිසා 13 ඒ අහෝසිකිරීම ගැන වහෙන්හොරෝ කතා අවශ්‍ය නැත. තවද, ඒකීය රටක් තුල ඊට පටහැනිවන හා ඒකීය රට සිදුරු කිරීමට හෝ කැබලි කිරීමට හේතුවන අන්දමේ නීති හෝ සිරිත් විරිත් තිබේ නම් ඒවා අහෝසි කල යුතුය. උදාහරණයක් වශයෙන්, ඕනෑම ද්‍රවිඩ ජාතිකයෙකුට ලංකාවේ ඕනෑම තැනක ඉඩමක් ගැනීමට නිදහසක් තිබේ නම්, ඕනෑම සිංහලයෙකුට හෝ මුස්ලිමෙකුටද එම නිදහස භුක්තිවිඳීමට තේසවලාමෙයි නීතිය හරස් නොවිය යුතුය.  සිංහලයින් යාපනේ ජීවත්වුනේ ලන්දේසීන් දකුණු ඉන්දියාවෙන් තේසවලම නීතිය යාපනේට ගෙන ඒමට පෙරය.  මේ ඉතා සරල කාරණය රාසමානික්කම් තරුණයාට තේරෙන්නේ නැතැයි සිතිය හැකිද? මොවුන් මෙසේ උගුරට හොරා බේත් කන්නට හදන්නේ චෙල්වනායගම්-ප්‍රභාකරන් පාඩම් අමතකවීද? පොලිසිය ජරාව කනවාද, ඇමතිලා-නිලධාරීන් තරඟෙට කොමිස් ගන්නවාද, ඒ නිසා ඔවුන් නීතිය නවනවාද යන කරුණ,  එක රටක්-එක නීතියක් යන සංකල්පයේ ඇති විසඳිය හැකි ලේසිම අංශයය. එය වතුරෙන් යට තිබෙන අයිස්කන්දක උඩින් පෙනෙන තුඩ වැනිය.

රටක නිති පද්ධතිය වනාහි මීට වඩා බොහෝ ගැඹුරු මාතෘකාවකි. උදාහරණයක් වශයෙන්, සියළුම රාජ්‍ය නිලධාරීන් හා මහජන නියෝජිතයින්/ දේශපාලකයින් තමන්ගේ හා තම පවුලේ වත්කම් හා දේපල වාර්ෂිකව එලිකල යුතු බවටත්, එම ලේඛන යම් සුළු මුදලක් ගෙවා ඕනෑම පුරවැසියෙකුට ලබාගත හැකි ලෙසටත් සරල නීතියක් පැණවීමෙන් ඒ නීතිය නැවීම් බොහෝ දුරට අඩුකරගත හැකි නොවේද? විශ්ව විද්‍යාල ගුරුවරු ලොකු පඩි ලබාගෙන, කිසි පර්යේෂණයක් නොකර වාර්ෂික වැටුප් වර්ධක හා උසස් වීම් ලබාගන්නවා නම්, ඇමෙරිකාවේ මෙන් සිසුන්ට මේ අය පන්ති කාමරවල කරණ ඉගැන්විම් අගය කිරීමට ඉඩක් නැත්නම්, ඔවුන් දේශපාලනය කරමින් අදක්ෂකම් හංගා ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් නීති/රෙගුලාසි පැණවීම ඔවුන්ගේ මානව හිමිකම් කඩකිරීමක්ද?

එක නීතියක්

එක නීතියක් යනු යම් රටක, සමාජයක ඉතිහාසය (හෙවත් අතීත භූගෝල විද්‍යාව) හා වත්මන් භූගෝල විද්‍යාව (පරිසරය ) අනුව ඒ රටේ මිනිසුන්ගේ සාමය හා සතුට සඳහා ඉවහල්වන ප්‍රතිපත්ති මාලාවල් ලේඛන ගත කිරීමය. මේ මඟින් යම් සමාජයක හැසිරීම් රටාවලට, පැවත්මට හා ප්‍රගතියට අවශ්‍යවන ස්ථාවරභාවය හා ආරක්ෂාව ලැබේ (certainty, stability & security). මෙම ලිපි මාලාවේ කලින් ලිපි දෙකෙන් සළකා බැලුවේ, මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ යයි කි, රටේ සිංහල බෞද්ධ පදනම බකල් කිරීමට විදේශීය බලවේගවල ඩොලර් ඉත්තන්වී සිටින පක්ෂ දේශපාලක සිංහල කළුසුද්දන්, ඇතැම් ක්‍රිස්තියානී, දෙමළ හා මාක්ස්වාදී රොඩු විසින් ජනාධිපති ගෝඨභය විසින් පත්කල එක රටක්-එක නීතියක් පිළිඹඳ කමිටුවට එල්ල කරණ චෝදනාවල හිස් බවය

හොඳ තීරණ, වැරදි උපදෙස් නිසා ගත් තීරණ, හදිසි කලබල තීරණ, නිලධාරීන් දෙන ලණු නිසා ගත් තීරණ ඕනෑම පාලකයෙකුට පොදුය. එහෙත් මෙම එක රටක් එක නීතියක් සංකල්පය ක්‍රියාවට නැඟීම 1815 න් මෙපිට සිංහල බෞද්ධ නායකයෙකු ගත් එඩිතරම තීරණයය. මෙම තීරණයට විරුද්ධව, රෙජීම් චේන්ජ් ව්‍යාපාරය ගෙන යන හීතල හා එලිපිට යුද්ධය සත්‍යය හා යුක්තිය  මඟින් පරාද කල යුතුය. රටේ සිංහල ජනයා දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම කොමිටියේ කාරිය වටහා ගත යුතුය. අඩුතරමින් නාගානන්ද කොඩිතුවක්කුවත් මේ ගැන හොඳ සිහිකල්පනාවෙන් ක්‍රියා කරණ බවක් නොපෙනේ. සේපාල්-සුදත්ත දෙන්නා සමඟ එකතුව කහ කුරුල්ලන් යයි සංඝ සංස්ථාවටම අපහාස කිරීම ඔහුවද රංජන් රාමනායකගේ තැනට දමයි. ඔවුන් තිදෙනා දැන් දැන්  ප්‍රොමෝට් කරණා ජේවීපීකාරයින්වත් කහකුරුල්ලන් යයි හාමුදුරුවන්ට  නොයොදයි. ඔවුන් කල යුතු  කහ කුරුල්ලා /කුරුල්ලන් කවුරුන්දැයි නමින්ම සඳහන් කිරීමය. මීට පෙර ඥානසාර මචං කියා සේපාල් සීඅයිඩී එකටද ගියේය.

බංගවේවා දේශපාලනය

ජේවීපී නායක අනුර කුමාරද රාසමානික්කම්ට නොදෙවෙනිය. එක නීතියක් නිසා වෙන්නේ රටේ ජනවර්ග අතර ඇති සමඟිය නැතිවීයාම යයි ඔහු සිතයි. මොවුන් රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැනීම හා කෙසේ හෝ චන්ද පදනම වැඩිකර ගැනීම උදෙසා පණ්ඩිතයින් සේ මේ ආකාරයට හැසිරේ. කොල්වින්ගේ භාෂා දෙකක්-එක රටක්, එක භාෂාවක් රටවල් දෙකක් යන කතාව (1956) මෙහිදී සිහිවේ. ඔහු මෙ කතාව පසුකාලයකදී (1964/1972) අතහැර දැම්මේය.  අනුරලාගෙන් හා දැන් මැරී උපන් අයෙක් මෙන් හැසිරෙන ඔවුන්ගේ යහපාලන ජනාධිපතිගෙන් මෙහිදී ඇසිය හැකි සරල ප්‍රශ්ණයක් නම් රටේ දෙමළෙන්ද ජාතික ගීය ගායනයට ඉඩදීම නිසා සංහිඳියාව වැඩිවුණාද නැත්නම් තිබුණ සංහිඳියාවත් නැතිව නොගියේද යන්නය. රට කඩා ගැනීම සඳහා ක්‍රියාකරණ පිරිසක් මෙවැනි මෝඩ තීරණ සළකන්නේ තම සටනේදී ලත් තවත් එක ජයග්‍රහණයක් ලෙස මිස  සංහිඳියා කසාදයට දැමු තවත් මුද්දක්/මාලයක් ලෙස නොවේ. දැන් සිදුවී ඇත්තේ දකුණේ සිංහලෙන් හා දෙමළෙන් එය ගයද්දී, උතුරේ දෙමළෙන් පමණක් එය ගැයීමය. ඒ නිසා හැම දෙමළ ඊළම්වාදී දේශපාලක රස්වීමක්ම වාගේ සිංහ කොඩිය ඇතුව හෝ නැතුව සිංහල හිත් පාරණ අවස්ථාවක් වී තිබේ. ජේවීපීකාරයින්ද සහභාගීවන උතුරේ රස්වීම්වල මෙය සිදුවන්නේ නැද්ද?

සුසිල් ප්‍රේමජයන්ත පවා රාසමානික්කම් ගනයට වැටී තිබෙන බව එක නීතියක් කියන්නේ කුමක්දැයි නොවැම්බර් 14 දා කල ප්‍රකාශයෙන් පෙනේ ( අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. අපරාධ නීතියේ මූලික නීතිය දණ්ඩ නීති සංග්‍රහය. ඒක හැදුවෙ සුද්දො. ඒ තරම් පැරැණි එකකින් තමයි අපේ රටේ අපරාධ නීතිය හැදුනෙ. මේ තරම් කාලයක් පැවතගෙන ආවේ එනිසා; උසාවියකින් වැරදිකරු කල දෙන්නෙකුගෙන් එක අයෙකුට පමණක් සමාව දෙනවා නම් එතැන එක නීතියක් නැතැයි වයෝවෘධ නීතිඥයෙක් වන ඔහු කියයි. රංජන් රාමනායකට සමාව දෙන ලෙස සජිත් හා මිසිස් චන්ද්‍රිකා ඉල්ලා සිටියත් එය සිදු නොවීම සුසිල්ගේ හිතේ තිබෙනවා වියහැකිය. මෙය එක නීතියක් රටේ තිබෙනවාද යන්න ගැන ප්‍රශ්ණයක් නොව එය ක්‍රියාවේ යෙදවීම ට අදාළවන ප්‍රශ්ණයකි.

ඩිව් ගුණසේකර (ට්‍රත්විත් චමුදිත නොවැම්බර් 13), ජෝන් සෙනෙවිරත්න (නිව් සිටිෂන් ටීවී-225) පමණක් නොව, විහිළු සපයන රිප් වැන් වින්කල් (සන් ඩේ ටයිම්ස් නොවැ 14) පවා ඥානසාර හිමියන්ගේ පත්වීම ගැන නහයෙන් අඬන්නේ මාක්ස්වාදීන් 1935 සිට රටට ගෙනා බංගවේවා මනස හා පාරවල සාප්පු වලට මැයි දිනයේදී ගල් ගසන, පසුව එය රටටම සාපයක් කල 1971 හා 1988/89 කාල මතකයට නංවමින්ය. මෙම කැත, වංක, මෝඩ දේශපාලකයින් අමතක කර සාමන්‍ය ජනයාට මහමෙරක් කර පෙන්වන නීති ශාස්ත්‍රය, නීති විද්‍යාව, නීතීඥ වෘත්තිය ගැන මින් ඉදිරියට සිතා බලමු. මෙය හැකිතාක් සරල සිංහලෙන් ලිවීමට උත්සාහ කරමි.

ලන්දේසි නීතිය, මිටිනම් කම්කරු-උසනම් සෙකුරිටි

ලන්දේසි කාලයේ නීතියක් නම් කුරුඳු ගහක් විනාශ කලොත් ඊට දඬුවම මරණය යනුයි. උඩරට රජුගේ නීතියකට අනුව කළෑ කැපීම තහනම් විය.  ඇමෙරිකන්කාරයින් වියට්නාමයේ කැළෑවලට ඒජන්ට් ඔරේන්ජ් විෂ රසායනය ඉස්සේ කළැ වලින් වියට්කොං භටයින්ට ලැබුණ ආවරණය නැතිකිරීමටය. උඩරට රජුටද වන දුර්ගය වැදගත් විය. අරාබි රටවල නීති අනුව හොරකමට දඬුවම අතකපා දැමිමය. උසනම් සෙකියුරිටි-මිටිනම් කම්කරු” යන තීරණයද මෙවැනි නීතියකි. මුහුණපාන්නට සිදුවූ යම් අවිධිමත් අවස්ථාවක් විසඳා ගැනීමට, මැනේජ් කිරීමට, යොදාගත්  උපක්‍රමයක් හෙවත් උපකරණයකි. සුද්දන් විසින් ගෙනා මුඩුබිම් පණත්ද මෙවැනි මෙවලම්ය. තමන්ට අයිතියයි ඔප්පුකල නොහැකි ඉඩම් සියල්ල සුද්දන්ගේ ආණ්ඩුකාරයාට අයිතිවේ.

මෙම උදාහරණ වලින් පෙනෙන්නේ කුමක්ද? යම් රටක, සමාජයක, නීතියක් යනු ඒ රටේ බලයේ සිටින පිරිස විසින් සෙස්සන් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ආයුධයක්  බවය. සෙකුරිටි-කම්කරු නීතියද, බලය සහිත, ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි පංචස්කන්ධයක් විසින් ඔහුගේ ගැලවීම සඳහා, ඔහුගේ දැණුම හා දැකුමට අනුකූලව ගන්නා ලද , ඔහු විසින් සාධාරණ යයි විශ්වාස කල, සද්භාවයෙන් දුන් පාලක විසඳුමකි, පාලන ක්‍රමයකි (law is an instrument of social control). ඒ මොහොතේදී එතැන සිටි හැමෝටම එය ගැලපෙන විසඳුමක් යයි සිතුනත්, පසුව එය ප්‍රඥාගෝචර නොවන, නුසුදුසු නීතියක් බව පාලකයාටත්, පාලිතයින් කොටසකටවත් අවභෝධ වන්නට ඇති බව නිසැකය.

යම් රටක ඉතිහාසයේ කලින් කලට ආණ්ඩු බලය අල්ලා ගන්නා පන්ති විසින් තම පන්තියේ අවශ්‍යතා අනුව වරින් වර අළුත් නීති පැනවීම, පරණ නීති අහෝසි කිරීම  හෝ සංශෝධනය කිරීම ඔවුන් විසින්ම සාදාගත් ක්‍රමවේදයකට අනුව කරයි. මේ සඳහා පාලිතයාගේ අදහස්ද සැළකිල්ලට ගන්නවා යයි ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන පාලන ක්‍රමයතුල මතයක් පවතී. එහෙත් උදාහරණයක් වශයෙන් ඇමෙරිකාව ගත්තොත්, එහි  ජනපද 50 ට ඉන්නේ එකකට සෙනේට් සභිකයින් දෙන්නා බැඟිනි. මේ අනුව කැලිෆෝර්නියවේ මිලියන 40 ටත්, උතුරු ඩැකෝටාවේ මිලියන 0.8 ටත් බෙදා තිබෙන්නේ එකම හැන්ඳෙන්ය! මේ අනුව අනුව ඇමෙරිකාවේ තිබෙන්නේ රටේ බහුතර  ජනතාවගේ මතය අනුව දුවන ආණ්ඩුක්‍රමයක් නොවේ. මීට විරුද්ධව නැගෙන හඬට ඉඩක් නැත. එක්තරා ධනවත් පන්තියක් විසින්  එංගලන්ත රජුට විරුද්ධව  මහජනයා යොදවා ගෙන  ගොඩනගා ගත් මෙම පාලන ක්‍රමය ගැන හොවාර්ඩ් සිං නම් ඉතිහාසඥයා පොතක් ලියා ඇත (A People’s History of the United States, Howard Zinn , 1980).

ජේආර්ලාගේ, ආර් ප්‍රේමදාසලගේ  නීති අනුව ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස්ලණුවාදය ගැන සිතා බලන්න.

2019 පාර්ලිමේන්තු (දියවන්නා හොටල්) මැතිවරණය (පක්ෂය/ ආසන සංඛ්‍යාව/චන්ද ලක්ෂ)

SLPP 145 /59; SJB 54/24; TNA 10/3; JVP 3/4; UNP 1/2, මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ ලබාගත් ආසන සංඛ්‍යාව හා චන්ද සංඛ්‍යාව අනුව ද්‍රවිඩ සන්ධානයට ලක්ෂ තුනකට ආසන 10 ක් ලැබී තිබේ. විග්නේෂ්වරන් හා පොන්නම්බලම්ද සමඟ  මෙම 12 දෙනා රට බෙදීමේ මතයකට සමස්ත ද්‍රවිඩ ජනතාවම එකඟයයි කියන අයය. රස්තියාදුකාරයින්ට නොමිනේෂන්දී දිස්ත්‍රික් මට්ටමින් සියේට 5 කටෝෆ් එකට මන්ත්‍රීන් එන මේ නීතිවලින් රිෂාඩ් බදියුද්දීන් ගහපු ගේම පමණක් ගත්තත් එය නාස්ලණු තන්ත්‍රවාදයේ හෙළුව පෙන්වයි. එක නීතියක් යනු මෙවැනි දුෂ්ට නීති ගලවා දැමීමයි. රාසමනික්කම් දියවන්නා හෝටලයේ ඉන්නේ මෙවැනි නීති නිසාය.

ඉහතින් සඳහන් කල උදාහරණ වලින් පෙණෙන අයුරු, මේ දේශපාලකයින්, මහාවංශ විරෝධීන් මෙම මාතෘකාව අල්ලාගෙන කරන්නේ ජනතාව හිතාමතාම මුළාකිරීම හා රැවටීමය. ඔවුන් මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ යන මතය අඩු වැඩි වශයෙන් මතුරපු කල්ලිමය. බොරු නීති, ගොන් නීති, දුෂ්ටනීති  ගැන හා මෙම ක්‍රියාවලියේ අග මුල වටහා ගැනීමට භූගෝල විද්‍යාව ( හා පසුව බුදුදහමද ) උපයෝගී කර ගනිමින් වටහා ගැනීමට ඉඩක් මට ලැබිණ. 1976 දී එවකට තිබූ ජාතික විද්‍යා සභාවේ නිලධාරියෙකු වශයෙන්, (උනො ඒජන්සියක ඉල්ලීමකට අනුවා රටේ පරිසර නීති ගැන වාර්තාවක් පිළියෙල කිරීම මට භාරවිය. රටේ නීති මුල සිට අගටම එකින් එක කියවමින් මෙය  කිරීමට සිදුවිය. නීති විද්‍යාව හා භූගෝල විද්‍යාව අතර ඇති ඉතා ලඟ සම්බන්ධය දැක එහි රස වැටුණ මම කැනඩාවට හා ඇමෙරිකාවට ගොස් මේ සම්බන්ධය ගැන අධ්‍යයනය කළෙමි. පහතින් දැක්වෙන්නේ අවුරුදු 30 කටත් කලින් මෙම විෂයට අදාලව පලකරණ ලද රචනා දෙකකි. එම රචනා මෙම ලිපි මාලාවේ ඉතිරි කොටස්වලට පසුබිම සපයයි.

“Applied Law and Applied Geography.” The operational geographer 8 (1): 26-31 (1990).

Teaching Law and Geography: Journal of Geography: Vol 90, No 3: 106-112 (1991)

https://www.tandfonline.com/doi/abs/10.1080/00221349108979248

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress