ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට “පද්ම ශ්‍රී සම්මානය“ ප්‍රදානය කරයි
Posted on November 17th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු  ඉහළම සිවිල් සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා විසින් අරලියහහ මන්දිරයේ දී අද (17) දින ප්‍රදානය කරන ලදි.

ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකක් වන පද්ම ශ්‍රී සම්මාන 2020 වසර සඳහා කලා ක්ෂේත්‍රයෙන් කළ මෙහෙවර වෙනුවෙන් ආචාර්ය වජිරා චිත්‍රසේන සහ  හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කරමින් සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් ඉටුකොට නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මීන් වෙත පිරිනැමිණි.

නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපති භවන් හිදී 2021 නොවැම්බර් 08 වෙනිදා ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා අතින් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන්  ඇගේ දියණිය වන වත්සලා දසනායක මෙනවිය පද්ම ශ්‍රී සම්මානය ලබාගත්තාය.

හෙළයේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතින කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ඉන්දියානු මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ් යන මහත්වරු ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිගේ පවුලේ සාමාජිකයෝ  සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress