සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on November 17th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද (17) දින පැවසීය.

මහනුවර නාගරික අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ විවෘත කර ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. 

රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සනීපාරක්ෂාව පිළිබද ජාතික සැළැස්මක් නිර්මාණය කිරීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යතුමා මෙහිදී  පැවසීය.

භූගත ජලය සංරක්ෂණ කරගනිමින් ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගෙන සංවේදී කලාප හරහා ලැබෙන ජල ධාරාවේ ගුණාත්මක බව ඉහළ මට්ටමක තබා ගැනීමට 2030 දක්වා ක්‍රියාත්මක “සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැළැස්ම” ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත  පිළිගන්වන ලදි.

මහනුවර ගන්නෝරුව අප-ජල පවිත්‍රාගාර භූමියේ පැවැති මෙම උත්සව අවස්ථාවේ දී  ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ  වාහන, යන්ත්‍රෝපකරණ සහ උපාංග ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සහ මහනුවර මහ නගර සභාවට භාරදුන්නේය.

මහනුවර නගරාධිපති කේසර සේනානායක සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තිලිණ එස්. විජේතුංග මහත්වරු අප-ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් හා නඩත්තු ගිවිසුමට මෙහිදී අත්සන් තැබීය.

මහනුවර නාගරික අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද සමාරම්භක උත්සවයට සමගාමීව විකාශය කෙරිණි.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යතුමා කළ සම්පූර්ණ කතාව මෙසේය.

දකුණු අසියානු කලාපය ගත්තම සනීපාරක්ෂක පහසුකම් හා භාවිතය අතින් අපි තවම  පෙරමුණේ ඉන්නවා. හැබැයි අපේම ක්‍රියාකාරකම් නිසා දැන් අපේ රටේත් ජල මූලාශ්‍ර‍ බොහොමයක්  දූෂණය වෙන්න පටන් ගෙන තියෙන්නෙ.

ඒ නිසයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය “සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැළැස්මක්” හැදුවේ. ඒ අනුව අප-ජල කළමනාකරණ පද්ධති” ඉදිකරලා අනාගතේ සුරක්ෂිත කරන්න අපි යොමු වෙලා තියෙනවා.

ලෝකයේ දියුණු රටවල් පවා අප-ජල කළමනාකරණ ගැටලුවට මුහුණ දෙනවා. නිවෙස්වලින්, ව්‍යාපාරික ස්ථානවලින්, කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අප-ජලය, කළමනාකරණය කිරීම පහසු නැහැ.

මහනුවර, ලෝක උරුම නගරයක්.  සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින්නේත් මහනුවර.

හැබැයි කාලයක් තිස්සේ මහනුවර නගරයේ පාරිසරික දූෂණය ඉහළ යමින් තියෙනවා. මේ තත්ත්වය මගහරවන්න අපි ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒ සඳහා ජනතාවගේ සහයෝගයත් අපට අවශ්‍යය වෙනවා.

අපි දන්නවා මහවැලි ගඟට පවා අක්‍රමවත්ව අප-ජල බැහැරකිරීම් සිදුවෙනවා. ඒ විතරක් නොවෙයි ස්ථාන රැසකටත් අප-ජලයෙන් ලොකු බලපෑමක් එල්ලවෙලයි තියෙන්නේ.

මේ තත්ත්වය හඳුනාගෙන කරන අප-ජල කළමනාකරණ” ව්‍යාපෘතියෙන් ඓතිහාසික මහනුවර වැව සුරැකීමට වගේම මහනුවර කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරවලට විශාල සහයක් ලැබෙනවා.

ජනතාවගේ සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රමුඛතාව දක්වන මෙවැනි ජාතික සැලැස්මක් ක්‍රියාත්මක වීම අනාගත ආයෝජනයක් විධියටයි අපි දකින්නෙ. මේ වැඩපිළිවෙල 2030 දක්වා ක්‍රියාත්මක වෙනවා කියලා අපේ වාසුදේව ඇමතිතුමා මා සමඟ කිවුවා.

මහනුවර නාගරික අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා මූලික ප්‍රතිපාදන ලබා දුන්නෙ ජයිකා ආයතනය. ඔවුන්ටත් ජපන් රජයටත් අපගේ ස්තුතිය හිමිවිය යුතුයි.

අප-ජල කළමනාකරණ පද්ධති දැනට තියෙන්නෙ කොළඹ, දෙහිවල-ගල්කිස්ස,මොරටුව වැනි මහ නගර සභා බල ප්‍රදේශවලත්, ජා-ඇල, ඒකල, කුරුණෑගල වගේ නගරවලත් විතරයි. සීමිත ප්‍රදේශයකට සීමා වූ අප ජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකිරීමට අපි සැලසුම් කරලා තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන්වන  සනත් නිශාන්ත,  දිලුම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු  වික්‍රම, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජපන් තානාපති මියුකෝෂි හිදෙයකි, ජපන් තානාපති කාර්යාලයේ අමාත්‍ය තත්සුකී කොටාරෝ, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ(JICA) අධ්‍යක්ෂ ජනරාල් සකොමොතෝ ටකේමා,  ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, මහනුවර නගරාධිපති කේසර සේනානායක,  ජාතික ජල සම්පාදන හා  ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිලිණ එස්.විජේතුංග මහත්ම මහත්මීන් ඇතුළු ආයතන ප්‍රධානීහු රැසක් එක්ව සිටියහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress