අග්‍රාමාත්‍යතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානමය පිංකම
Posted on November 18th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමයේ වාර්ෂිකව පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය අද (18) දින පෙරවරුවේ එම විහාරස්ථානයේ දී පැවැත්විණි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ උපදෙස් හා අනුශාසනා පරිදි මෙම දානමය පිංකම සංවිධානය කර තිබිණි.

වාර්ෂිකව පවත්වන්නට යෙදෙන මෙම කිරි අම්මාවරුන්ගේ දානය මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටය.

ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයේ ජය පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ පළමුව ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව ඉන්දු පෙරේරා මෑණියන් ඇතුළු කිරි අම්මාවරුන් උදෙසා කිරි අම්මා දානය පූජා කෙරිණි.

කිරි අම්මාවරුන්ගේ දානයෙන් පසු ගැබිනි මවුවරුන් සිය දෙනෙකු සඳහා වියළි ආහාර මලු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එය සංකේතවත් කරමින් එක් ගැබිනි මවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා මෙහි දී වියළි සලාක මල්ලක් ප්‍රදානය කළේය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවැත්වූහ

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාට තිබෙන්නේ මේ මව්බිමට ආදරය කරන මේ මව්බිමේ උපන් ගිහි පැවදි සියලු දෙනාගේම එකම ප්‍රාර්ථනාව අභිමතාර්ථය හා කැමැත්තයි. මේ රටේ තිස් අවුරුදු යුධ සාපයෙන් මුදාගැනීම සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ගත්ත නායකත්වය, ඒ දුන්න එඩිතර ජවය ශක්තිය රට එක්සේසත් කරන්න සමත් වුණා. මේ රටට සුවිශේෂිත පිනක්, භාග්‍යක් තියෙනවා බුදුරජාණන්වහන්සේගේ පා පහසින් තෙවරක් පූජනීයත්වයට පත්වෙන්න. ලංකා ඉතිහාසයේ රට විපතට පත්වෙච්ච අවස්ථා ගණනාවක් පසුකරගෙන පැමිණ තියෙනවා. උපසම්පදා භික්ෂුවක් සොයාගන්න බැරි කාලවකවානු තිබුණා. වර්තමානයේ තවමත් බලාපොරොත්තුවක් තියෙනවා මේ රට සෞභාග්‍යමත් තැනකට අරගෙන යන්න හැකියාව ශක්තිය තියෙනවා කියලා. ඒ සඳහා අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න තමයි මේ විශේෂිත ආශිර්වාද පූජාව සෑම වර්ෂයකම පවත්වන්නෙ. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ ජීවන ගමනේ හෙවනැල්ලක් වගේ හිටියා. බලය සිටින කාලයෙත් නැති කාලෙත් අදත් හෙටත් මතුවටත් අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් මේ කාර්යය කරන්න ආනන්ද නාහිමියෝ ශක්ති සම්පන්නයි. මෙම ආශිර්වාද පූජාව මේ රටට ආදරය කරන මේ මහ පොළවට ඇලුම් කරන සියලු දෙනා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමාට කරන පූජාවක් බව සිහිපත් කරනවා.මේ ලැබුවා වූ ජන්ම දිනය වාසනාවන්ත සැපවන්ත ඡන්ම දිනයක් වගේම අදින් ලබන්නා වූ ඉදිරි වසර මේ ගෙවී ගිය හැම වසරකටම වඩා ඵලදායී වර්ෂයක් වේවා! යැයි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ මෙහි දී  ප්‍රාර්ථනා කොට අග්‍රාමාත්‍යතුමාට ආශිර්වාද එක් කළහ.

අග්‍රාමාත්‍යතුමා මෙහි දී කූඩු කර සිටි පක්ෂීන් නිදහස් කළේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක නාරාහේන්පිට අභයාරාමාධිපති  මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය, අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් වීරසේකර මහත්වරු, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ ති තන් ටෘක් මහත්මිය සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress