ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අගතියට පත් කිරීම සහ එයට එරෙහිවන කෘෂි වෘත්තිකයින් හා විද්‍යාර්ථීන් සම්බන්ධව සිදුකරනු ලබන අපහාසාත්මක සාවද්‍ය ප්‍රකාශ හෙළා දැකීම වෙනුවෙනි
Posted on November 26th, 2021

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

නිසි වෘත්තීය මට්ටමේ මැදිහත්වීමකින් හෝ පැහැදිලි ප්‍රායෝගික දැක්මකින් තොරව, 2021 මැයි මස හයවන දින ප්‍රකාශයට පත්කරණ ලද,  සියළු කෘෂිරසායන ආනයනය අත්හිටුවීමේ ගැසට් නිවේදනය සහ ඒ හා සමගාමීව සිදුකෙරුණු ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තය ක්ෂණිකව 100%ක් කාබනිකකරණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය මේ රටේ ජීවත්වන කෘෂි වෘත්තිකයන්, ගොවීන් සහ සිවිල් පුරවැසියන්ගේ ප්‍රබල ප්‍රශ්නකිරීම් වලට ලක් වූ බව සියල්ලන් දන්නා කරුණකි. 

විද්‍යාත්මකව නිවැරදි නොවූ උපදේශ මත, අදුරදර්ශී ලෙස ගන්නා ලද මෙම තීරණයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට ශ්‍රී ලංකාව තුළ, වාණිජ කෘෂිකර්මාන්තය කරගෙන යාම සඳහා අවශ්‍ය ශාක පෝෂක සහ පලිබෝධ නාශකයන්ගේ දරුණු හිඟයක් ඇති වී තිබේ. ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කෘෂිකාර්මික අස්වැන්න ලබා ගැනීමට නම් මෙම යෙදවුම් නිසියාකාරව වගාවන්ට ලබා දිය යුතුය. කෘෂි විද්‍යාර්තීන් ලෙස අප නැවත නැවතත් අනතුරු හඟවන්නේ විද්‍යාත්මක පදනමකින් තොරව ගන්නා ලද මෙම ප්‍රතිපත්තිමය තීරණය හරහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නිෂ්පාදන පහළ වැටීමටත් ඒ හා සමගාමීව ග්‍රාමීය ආර්ථිකය බිඳ වැටීමටත් ඉතා විශාල අවකාශයක් පවතින බැවිනි.

පවතින වසංගත තත්ත්වය පවා නොසලකමින්, මෙවර මහා කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය රසායනික පොහොර හෝ වෙනත් සුදුසු පොහොරක් ඉල්ලා වීදි බැසීමට මේ රටේ සියලු ගොවි ජනතාවට සිදු වී ඇත්තේ එය ඔවුන්ගේ එකම ජීවිකාව වන හෙයිනි. පසුගිය මාස හයකට ආසන්න කාලය මුළුල්ලේ මෙරට කෘෂි විද්‍යාඥයන් මෙම අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් සිටින අතර, මෙවැනි කාබනික පරිවර්තනයක් සඳහා අනුගමනය කල යුතු විද්‍යාත්මක සහ ප්‍රයෝගික ක්‍රමවේදය පෙන්වා දෙමින්, වගකිවයුත්තන්ගේ අවධානය ඒ සඳහා යොමු කිරීමට විවිධ උත්සාහයන්හි නිරතවෙමින් සිටියද, බලධාරීහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් සිදු නොකොට, තවදුරටත් මෙම අසාර්ථක ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මහජන මුදල් යොදවමින් සිටිති. උදාහරණ ලෙස මෑතකදී ඉතා විශාල ආන්දෝලනයන්ට තුඩු දී ඇති, ඉන්දියාවෙන් ආනයනය කරන ලද නැනෝ-යුරියා දියර පොහොර සහ, චීනයෙන් ඇණවුම් කරන ලද අහිතකර ක්ෂුද්‍රජීවීන් අඩංගු කාබනික පොහොර තොගය පෙන්වා දිය හැකිය.

මේ රටෙහි ජීවත්වන වගකිවයුතු කෘෂි විද්‍යාර්ථීන් සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ලෙස, පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපගේ විද්‍යාත්මක දැනුම සහ අත්දැකීම් අනුව යමින්, මේ රටේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම අපගේ පරම යුතුකමක් හා වගකීමක් ලෙස ඉතා දැඩිව විශ්වාස කරමු. එය එසේ වුවද, රජයට සම්බන්ධ විවිධ පාර්ශව මඟින් අපගේ මෙම ධනාත්මක මැදිහත්වීම, ප්‍රසිද්ධියේ විවේචනයට හා සාවද්‍ය චෝදනා යටතට පත් කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

තවද, අප මෑතකදී අත්දුටු ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් වනුයේ ඇතිවී තිබෙන අර්බුදය  සම්බන්ධයෙන් නිවැරදි විද්‍යාත්මක කරුණු මත පිහිටා කටයුතු කිරීමට උත්සාහකරනු ලබන අමාත්‍යංශ ලේකම් වරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ප්‍රජාව විව්ධාකාරයේ තර්ජන කිරීම් හරහා නිහඬ කිරීමට දරන උත්සාහයයි. මෙම නිලධාරීන්ගේ වෘත්තිමය ගරුත්වය සිතාමතා හැල්ලුවට ලක් කරමින්, ඉතාමත් අදුරදර්ශී ක්‍රියාවලියක් කරා මේ රට තල්ලු කිරීමට තරම් වර්තමාන දේශපාලන නායකත්වය අත්තනෝමතික තත්ත්වයට පත්ව තිබේ. ඒ අතරම, මෙම කාබනික ප්‍රවේශය හරහා බලධාරීන්ට සමීපව කටයුතු කරන ඇතැම් පාර්ශව විසින් මහජන මුදල් මංකොල්ලකන තත්ත්වයට පත්ව තිබීම ඉතාමත් නින්දිතය.

ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල නියෝජනය වන විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ (FUTA) කෘෂිකර්මාන්තය සම්බන්ධ අනුකමිටුව නියෝජනය කරනු ලබන කෘෂිවිද්‍යාර්ථීන් සහ කෘෂි වෘත්තිකයන්ගේ එකමුතුව ලෙස අප, රජය විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව ගනු ලැබ ඇති මෙම අදුරදර්ශී, අවිද්‍යාත්මක ක්‍රමවේදය ඉතා දැඩිලෙස හෙලා දකින අතර, මෙම අර්බුධය විසඳීම සඳහා වහාම මැදිහත්වන ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් සහ වෘත්තිකයන්ගෙන් ඉතා දැඩිව ඉල්ලා සිටිමු.

තවදුරටත්, රාජ්‍ය නිලධාරීන් සහ කෘෂි විද්‍යාඥයන් විද්‍යාත්මක දත්ත මත පදනම් වී ගනු ලබන ක්‍රියාමාර්ගයන් කෙරෙහි සිදුකරන අනවශ්‍ය බලපෑම් වහාම නතර කරන ලෙසටත්, මුළු රටම එකවර කාබනිකකරණය කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය නැවත සලකා බලා, හරිත/කාබනික කෘෂිකර්මාන්තය නිවැරදිව ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය නිවැරදි විශේෂඥ උපදෙස් ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් කෘෂි වෘත්තිකයන්ගේ සේවය ලබාගන්නා ලෙසටත් රජයට බලකර සිටිමු. මෙම අර්බුධයට කෙටිකාලීන විසඳුමක් ලෙස දැනට හිඟව පවතින කෘෂිරසායන ගොවීන් වෙත ලබා දීමට කටයුතු කිරීමට අපි රජයට බල කර සිටිමු. අවසාන වශෙයෙන් අභ්‍යන්තර සහ බාහිර තර්ජනයන්ගෙන් රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවද අවධාරණය කර සිටිමු.

වර්තමාන රාජ්‍ය පාලනය ඉහත සඳහන් ඉල්ලීම්වලට අනුගත නොවන්නේ නම් ඉතා නුදුරේදීම මේ රටෙහි කෘෂිකර්ම ක්ෂේත්‍රය සහ සමස්ථ ආර්ථිකය ඉතා දරුණු ඛේදවාචකයකට මුහුණදීම නොවැලක්විය හැකි වනු ඇත. මෙවන් අවාසනාවන්ත තත්ත්වයකදී ආර්ථිකමය සහ දේශපාලනිකමය වාසි ලබනු ඇත්තේ මේ රටේ නිදහස සහ ස්වෛරීභාවය විනාශකිරීම කෙරෙහි මානබලමින් සිටින විදේශ ආක්‍රමණික බලවේග පමණක් බවද අපගේ දැඩි විශ්වාසයයි.

එබැවින් පවතින තත්ත්වය පිළිබඳව යතාර්තවාදීව සලකා බලා, කෘෂිකර්ම ක්ෂේත්‍රය මුහුණ දී සිටින අර්බුධය විසඳීම සඳහා දැන්වත්  නිවැරදි තීරණ ගැනීම, මේ රටේ දේශපාලන නායකත්වයේ පරම වගකීම බව අවසාන වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress