සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා වෙන්න පුලුවන්
Posted on November 26th, 2021

තිසර සමල් – අනුරාධපුර 

සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහ ගෙදර කියන එක අමතක කර ගන්න එපා. අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නෑ,ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනකමකුත් නෑ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින්ය.

අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතාගේ සංවිධායකත්වයෙන් අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේදී මෙම ආසන බල මණ්ඩල රැස්වීම සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරම් මේ රටට ජනතා ජයග්‍රහණ ලබා දුන් වෙනත් පක්ෂයක් නෑ,ඒ නිසා අපට ආඩම්බර වෙන්න පුලුවන්කම තියෙනවා.මහින්ද මහත්තයා තමයි යුද්ධය ජයග්‍රහණය කලේ කියනවා වගේම අපිට අයිතියක් තියෙනවා කියන්න ඒ මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට තමයි යුද්ධය ජයග්‍රහණය කලේ.ඒ යුධ ජයග්‍රහණයේ අයිතිය තියෙන්නෙත් පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි.ලෝකයේ කවදාවත් ජයග්‍රහණය කරන්න බෑ කිව්ව, පරාද කරන්න බෑ කිව්ව ප්‍රභාකරන්ව පරාද කරන්න පුලුවන් වුණෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාටයි.එහෙම නම් අපිට ආපස්සට හැරිලා බැලුවම ආඩම්බර වෙන්න පුලුවන්කම තියෙනවා අපි ඉන්න පක්ෂය, අපිට ලැජ්ජා නැතිව හිටගන්න පුලුවන් පක්ෂයක්, ආඩම්බරයෙන් කථා කරන්න පුලුවන් පක්ෂයක්, ඒ වගේම අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන් පක්ෂයක්.අපේ පක්ෂය හැමදාම රටට ජයග්‍රහණ ලබා දුන්න පක්ෂයක් මිසක් රට විනාශ කරන්න මුල් වුණ පක්ෂයක් නෙමෙයි.අද අපි පොඩ්ඩක් අඩු වෙලා තියෙන බව ඇත්ත, ඒ අඩු වෙලා තියෙන්නේ අපේ අඩුවකින් නෙමෙයි, පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වුණ නොයෙකුත් ප්‍රශ්න නිසා ඇති වුණ දෙයක්, හැබැයි ඒ හැමෝටමත් මතකයි මහ ගෙදර මොකක්ද කියන එක,ඒ හැමෝටමත් මතකයි ආරම්භය මොකක්ද කියන එක, එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා වෙන්න පුලුවන් සමහරුන්ට හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහ ගෙදර කියන එක අමතක කර ගන්න එපා. සමහරු තරහා වෙලා යනවා, සමහරු පොඩි පොඩි අමනාපකම් හදා ගන්නවා, අවසානයේ මහ ගෙදර දොර විවෘත වෙලා තියෙනවා ගියපු අයට, තරහා වෙච්ච අයට, ඒ ඕනෑම කෙනෙක්ට.අන්තිමට වැටෙන්න තියන තැන තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ අපේ මහගෙදර.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කරන, නැවත වතාවක් යෝධ බල – යෝධ ශක්තියක් තියෙන පක්ෂයක් බවට පත් කිරීම තමයි පාක්ෂිකයෝ විදිහට අපේ වගකීම වෙන්න ඕනකම තියෙන්නේ.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න හදන කොට අපිට ඇහෙනවා සමහරු, සමහර තැන් වලින් නොයෙකුත් දේවල් කථා කරනවා. හැබැයි අපි ඒ අයට මතක් කරන්න ඕන එක කාරණයක් තියෙනවා.අපි ගෝඨාභය මහත්තයාව ජයග්‍රහණය කරවන කොට, අපි සන්ධානයක් විදිහට එකතු වෙලා පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන කොට අමතක කරන්න එපා අපි ආවේ දුමින්දලා විදිහට වෙනම නෙමෙයි, අපි ආවේ මෛත්‍රීපාල සිරිසේන විදිහට වෙනම නෙමෙයි.අපි ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට.අපි ගෝඨාභය මහත්තයා එක්ක ගිවිසුම් අත්සන් කරනවා.අපි පොහොට්ටුවත් එක්ක ගිවිසුම් අත්සන් කරනවා.ඒ අත්සන් කරන්නේ පුද්ගලික නම් වලින් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, එහෙම නම් අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නෑ,ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනකමකුත් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ  වෙනම පක්ෂයක්, ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් තිබුණ තැනට ගේන එකේ වගකීම තියෙන්නේ පාක්ෂිකයන් විදිහට ඔබටයි, මටයි, අපි හැමෝටමයි.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න යන ගමනේ අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනකමක් නෑ කියන එක අපි ඒ හැමෝටම මතක් කරන්න ඕනකම තියෙනවා.

ආණ්ඩුව අපිට සලකනවාද? නැද්ද ? කියලා කිය කිය ඉන්න එපා දැන්, අපේ බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු ඉෂ්ඨ වුණාද ? නැද්ද ? කියලා දුක් වෙන්න එපා දැන්. මොකද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වඩා අමාරු තැන් වලට වැටුණා, හැබැයි නැවත වතාවක් අපිට ආණ්ඩු බලය ගන්න පුලුවන්කම ලැබුණා.අපි ඉන්න ඕන අරක ලැබෙනවාද ?- මේක ලැබෙනවාද? , මොනවද දෙන්නේ? -කොහොමද ගන්නේ ? කියලා නෙමෙයි.දැන් අපි පක්ෂය ශක්තිමත් කරන වැඩසටහන ආරම්භ කළ යුතු වෙනවා.අපිට ඉදරියේ එන්නේ පළාත් සභා මැතිවරණයද?  ප්‍රාදේශීය සභා මැතිවරණයද? පාර්ලිමේන්තු මැතිවරණයද? එහෙම නැත්නම් ජනාධිපතිවරණයද? අපේ වටිනාකම තියෙන්නේ අපේ ශක්තිය කොච්චරක්ද කියන ප්‍රමාණය මත, එහෙම නැතිව අපි නිකම්ම හිටියොත් අපිව කවුරුත් ගණන් ගනීද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන වැඩේ ගමෙන් පටන් ගන්න.එහෙම කරලා නැවත වතාවක් තිබුණ තැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනියන්න පුලුවන්කම තියෙනවා.ඒ වගේම අමතක කරන්න එපා මේ රටට ජනතා ජයග්‍රහණ සියල්ලම ලබා දුන්න පක්ෂයේ මහ ගෙදර තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක හැමෝටම මතක් කරලා දෙන්න ඕනකම තියෙනවා.මේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පමණක් නෙමෙයි, සමහර වෙලාවට පුංචි පුංචි දේවල් වලට අපෙන් ඈත් වුණ ඒ සියලු දෙනාටමත් අපි කියනවා, මහගෙදර අපි සූදානම් ඔබතුමන්ලාත් එක්ක නැවත මේ රටට ඒ ජනතා ජයග්‍රහණ ලබා දෙන්න.

ආණ්ඩුවට දැන් වැඩියෙන්ම බනින්නේ කතිරේ ගහපු අපිටත් වඩා පොහොට්ටුවේ අයයි බනින්නේ.සමහර කරන කියන දේවල් පිළිබඳව ජනතාව අතර විශ්වාසය අඩු වෙලා තියෙනවා.ඒ වගේම ආණ්ඩුව කරන්නේ මොකකද් කියන එක පිළිබඳව ආණ්ඩුවට කියාගන්න බැරි වෙලා තියෙනවා.බඩු මිල අරවා මේවා පිළිබඳව මම කථා කරන්නේ නෑ, කොරෝනා නිසා ලෝකයේ හැම රටේම මේවා වෙලා තියෙනවා.මං අහගෙන බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කියනවා බඩු ගැන අහන කොට, පිටරටින් එන බඩු එන්නෙ නැව් වලින්, දැන් නැව් එන එක අඩු වෙලා තියෙනවා, නැව් නැවතුනොත් බඩු නෑ කියනවා.ඒක තමයි ඇත්ත, ඒකට අපි මුහුණ දෙන්න වෙනවා.ඒකට මේ ආණ්ඩුව නෙමෙයි මොන ආණ්ඩුව තිබුණත් මේ කොරෝනා එක්ක බලපාන ප්‍රශ්න කාටත් පොදුයි.ඒක අපිටත් එකයි, එංගලන්තයටත් එකයි, ඇමරිකාවටත් එකයි.හැබැයි අපිට වඩා වැඩියෙන් දැනෙවා, අපිට සල්ලි ටිකක් අඩුයි.අර දියුණ රටවල් වගේ නෙමෙයි, අපි ගාව සල්ලි තිබුණා නම් පාවිච්චි කරන්න තිබුණා.අපේ රටේ ආර්ථිකයත් එක්ක කොරෝනා නිසා ඒක වැඩියෙන් දැනෙනවා.හැබැයි රජයට අපි ස්තූතිවන්ත වෙන්න ඕන, කොරෝනා එන්නත් ටික රටේ ජනතාවට දුන්න එකට.අනෙක් රටවල් එක්ක බලන කොට අපිට ඉතාමත් වේගෙන් එන්නත්කරණය කරන්න පුලුවන්කම ලැබුණා යැයිද පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

One Response to “සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා වෙන්න පුලුවන්”

  1. Ratanapala Says:

    It is high time that this political party that Sinhala polity between two Kalu Sudda parties went into oblivion. It is better for the nation as well as for the left over ‘hangers on’ to find a suitable place of political respite with a future and cast off Aappaya from politics for good!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress