ප්‍රවීනයන් අතින්ම සම්මාන පුදන්නට සළස්වමින් ඇමති නාමල් රාජපක්ෂ 42වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ සම්ප්‍රදාය වෙනස් කරයි.
Posted on November 28th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ 42වැනි ජාතික යෞවන සම්මාන ප්‍රදාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ඊයේ (26) දින තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.

යෞවන සම්මාන උළෙල තවත් වර්ණවත් කළ කැපී පෙනෙන සිදුවීම වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උළෙලට එක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, සියලුම සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය ඒ ඒ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් ලවා ලබා ගැනීමට සළස්වා එදෙස බලා සිටීමයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නොහැකි වූ 42වැනි ජාතික යෞවන සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාවේ ජව සම්පන්න තාරුණ්‍යයේ සංවිධාන ශක්තියෙනි.

නැගී එන ජව සම්පන්න තාරුණ්‍යයේ කලා හැකියාවන් ඇගයීමට ලක්කිරීම සඳහා පැවැති 42වැනි ජාතික යෞවන සම්මාන උළෙලේ දී සිංහල හා දමිළ කෙටි නාට්‍ය, දිගු නාට්‍ය, ගද්‍ය හා පද්‍ය රචනා ගායන, වාදන නර්තන යනාදී තරග අංශ 45ක් යටතේ තරුණ නිර්මාණකරුවන් 130කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරිණි.

විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් වෙනුවෙන් ද නිවේදන, කථික,යොවුන් ගායනා, ජන ගායනා, චිත්‍ර හා නව නිර්මාණ නැටුම් යනාදී තරග අංශ සඳහා යෞවන සම්මානවලට අමතරව සහතික හා වටිනා මුදල් ත්‍යාග පිරිනැමීම මෙවර උළෙල තවත් අර්ථවත් කළේය.

මෙම සම්මාන උළෙලට සමගාමීව 09 වන යෞවන චිත්‍රපට උළෙලේ කෙටි හා වාර්තා චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයන්ට තිළිණ හා මුදල් ත්‍යාග පිරිනැමීම ද සිදුවිය.

90 දශකයේ අග භාගයේදී ජාතික තරුණ සේවා සභාව හා ජාතික රූපවාහිනිය එක්ව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් එක්කරමින් එළි දක්වන ලද ‘’තුරුණු ශක්ති සෞන්දර්යය චාරිකාව’’ නැමැති ප්‍රථම රියැලිටි වැඩසටහන තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නව පරපුරට ගැළපෙන පරිදි ‘‘තුරුණු ශක්ති Next Gen’’ නමින් නව්‍යතාවයන් සමඟ ආරම්භ කිරීමද මෙයට සමඟාමීව සිදුවිය.

දිවයින පුරා විසිර සිටින නිවේදන හැකියාවෙන් පිරිපුන් වයස අවු. 15-29 අතර තරුණ තරුණියන්ගේ නිවේදන හා ගායන කුසලතා ජාතියට හඳුන්වාදීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය වේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, ජාතික උරුමයන්, ප්‍රාංගික කලා ග්‍රාමීය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ  ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරු ඇතුළු ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ආමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress