අපිට ආණ්ඩුවෙන් බැහැලා යන්න වුවමනාවක් නෑ, අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ?
Posted on November 29th, 2021

තිසර සමල් – අනුරාධපුර 

අපිට ආණ්ඩුවෙන් බැහැලා යන්න වුවමනාවක් නෑ, අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ?  මැතිවරණයට කලින්, ආණ්ඩු හදන්න කලින් දීපු පොරොන්දු වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර හොරොව්පතාන ආසන බල මණ්ඩලය අමතමින්ය. හොරොව්පතාන ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වීරකුමාර දිසානායක හා හිටපු පළාත් සභා අමාත්‍යය හේරත් බංඩා යන මහත්වරුන්ගේ සංවිධායකත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක,  හිටපු අමාත්‍යයවරුන් වන තිස්ස කරල්ලියද්ද, වීරකුමාර දිසානායක යන මහත්වරුන් එහිදී අදහස් දැක්වීය.අනතුරුව හොරොව්පතාන ආසන බල මණ්ඩලය, භික්ෂු, තරුණ, කාන්තා, ගොවි හා ගුරු ආසන සංවිධාන සඳහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැවත වතාවක් කලින් තිබුණ ඉල්ලුම ලැබිලා තියෙනවා.අපි බල මණ්ඩල පිහිටවලා ඒවායේ කියපු දේවල් මාධ්‍ය මගින් යන කොට අපිට පේනවා සමහරු වෙනත් උත්තර මේවාට දෙනවා.ඒ අයට මතක් කරලා දෙන්න ඕන, දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක මිසක් වෙන පක්ෂයක ජාතික සංවිධායක නෙමෙයි.අපි ඉන්නේ සන්ධාන ආණ්ඩුවක, ඒ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඉන්නවා, තවත් පක්ෂ ගොඩකුත් ඉන්නවා.අපි ආණ්ඩුවේ එකට වාඩි වෙලා හිටියට, එකට ඇමතිකම් කළාට මගේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කරන එක, පක්ෂය ප්‍රථිසංවිධානය කරන කොට පක්ෂයේ අතීතය, වර්ථමානය හා අනාගතය ගැන කථා කරන එක,මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් වුණා කියලා, ආණ්ඩුවේ කොටස්කාරයෙක් වුණා කියලා මට පුලුවන්කමක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ජයග්‍රහණ ගැන කථා කරන එක නවත්වන්න,මට පුලුවන්කමක් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ ලබපු ජයග්‍රහණ ගැන ආඩම්බරයෙන් කථා කරන එක නවත්වන්න,ඒ වගේම වර්ථමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඉන්නේ මෙතන, හැබැයි අපේ බලාපොරොත්තුව අපේ ඉලක්කය අනාගත ජයග්‍රහණයක් කියන එක මට නොකියා ඉන්න පුලුවන්කමක් නෑ,ඒ අයට අමතක වෙන්න පුලුවන් දුමින්ද දිසානායක කවුද කියලා? හැබැයි දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක කියන එක මතක් කරන්න ඕනකම තියෙනවා.ඒ නිසා අපේ කට නවත්වන්න කාටවත් පුලුවන්කමක් නෑ, අපි කාගෙන්වත් අවසර ගන්න ඕනෙත් නෑ, අපි කාගෙන්වත් අහන්න ඕනකමකුත් නෑ, අපි මේක කිව්වට කමක් නැද්ද කියලා.මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත ගමන තීන්දු කරන අඩිතාලම ගැනයි අපි කථා කරන්නේ.

සමහර කළබල වෙච්ච අයට අපි කියන්න ඕනකමක් තියෙනවා.කලබල වෙන්න එපා, අපි සන්ධානයේ ඉන්නේ ඒ සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ඔය කථා කරන හැමෝගෙම මහගෙදර කියන එකත් නැවත නැවතත් පුන-පුනා අපි කියනවා.මහ ගෙදර අමතක කරන්න කාටවත් පුලුවන්කමක් නෑ,ඒ මහගෙදර වටිනාකම් ගැන කාටවත් අවතක්සේරු කරන්න පුලුවන්කමක් නෑ, ඒ මහගෙදර අතීතයේ ඉඳන් මේ රටට ලබා දුන් ජයග්‍රහණ පිළිබඳව ඒ අයට අඩු තක්සේරුවෙන් කථා කරන්න පුලුවන්කමකුත් නෑ,එහෙම කථා කරන අය ඉන්නවා නම් ඒ අය සැබෑම මහගෙදර සාමාජිකයෝද කියන එක අපට ප්‍රශ්න කරන්න වෙනවා.ඒ අයට උත්තර දෙනවාට වඩා අපිට කරන්න බොහෝ වැඩ තියෙනවා.

අපි ආණ්ඩුවේ ඉන්නකොට අපි ආණ්ඩුව ආරක්ෂා කරන්න බොහෝ කථා බහ කරනවා, අපි ආණ්ඩුව රකිනවා.මේ හැමදේම අපි කරනවා.හැබැයි ඒ වගේම තමයි ආණ්ඩුව වැරදි තීරණයක් ගන්නවා නම්, ඒ ගත්ත තීන්දුවෙන් මේ රටේ ජනතාවට යම් කිසි අපහසුතාවකට ලක් වෙන්න වෙනවා නම් අපි ආණ්ඩුවේ හිටියා කියලා අපිට කට වහගෙන ඉන්න පුලුවන්කමක් නෑ.ආණ්ඩුව හරි පාරට ගන්න එක, ආණ්ඩුව හරි පාරට යොමු කරන එක, ඒ වෙනුවෙන් නොපෙනන අයගේ ඇස් ඇරවන එක, ඒ වෙනුවෙන් හඬක් නඟන එක තමයි සන්ධානයේ ප්‍රධාන පක්ෂයක් වන, පාර්ලිමේන්තුවේ 14 දෙනෙක් ඉන්න පක්ෂයක් විදිහට අපේ වගකීම වෙන්නේ.ආණ්ඩුව හරි පාරට ගැනීම වෙනුවෙන් අපි ඉස්සරලාම හඬ ඇතුලේ පාවිච්චි කරනවා.ඒ හඬට ඇහුම්කන් දෙනවාද කියලා අපි බලනවා.හැබැයි අපේ හඬට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මේ වගේ එළියේ කථා බහ කරන්න වෙනවා.එළියේ කථා කරලා හිත රිදෙයි කියලා හිතුවොත්, අවුලක් වෙයි කියලා හිතුවොත් අපිට අවුල- ප්‍රශ්නය ලෙහා ගන්න බැරි වෙනවා.එහෙම නම් අපිට ඕනකම තියෙන්නේ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එක්ක එකතු වුණේ, අපි සන්ධාන ගහගෙන එකට අත්වැල් බැඳන් ඡන්දේ ඉල්ලුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට බොහෝ බලාපොරොත්තු ඇතිව, ඒ බලාපොරොත්තු පක්ෂයක බලාපොරොත්තු නෙමෙයි, රටක් දිනවන බලාපොරොත්තු.ඒ වෙනුවෙන් තමයි අපි අද කථා බහ කරන්නේ.

අපිට තව ප්‍රශ්න තියෙනවා ලිහා ගන්න, අපි ඒවා ඇතුලේ කථා බහ කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන කොට අපි පොහොට්ටුවත් එක්ක සන්ධාන ගත වෙන කොට, අපි ගෝඨාභය මහත්තයා එක්ක හරි පොහොට්ටුව එක්ක හරි හොරෙන් ගිහින් අපි ඩීල් දැම්මේ නෑ, හොරෙන් ගිහින් අපි කථා බහ කරේ නෑ, අපි බොහෝම විවෘතව රටටම පේන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විතරක් නෙමෙයි අපිත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්න පක්ෂ 14-15 ක් වගේ විශාල පක්ෂ සංඛ්‍යාවක් එක්ක මාධ්‍ය ඉදිරියේ අපි ගිවිසුම් ගත වුණේ,ඒ ිවුසුමේ තියෙන දේවල් අපි එළියට කිව්වා, ඒ ගිවිසුම් වල තියෙන්නේ ඇමතිකම් ගැන නෙමෙයි, වරදාන ගැන නෙමෙයි, ඒ ගිවිසුම් වල තියෙන්නේ රට හදන සුභවාදී වැඩ පිළිවෙල ගැන, ඒ වැඩපිළිවෙල සම්බන්ධවයි අපි ගෝඨාභය මහත්තයා එකක්යි, පොදු ජන පෙරමුණ එක්කයි එකතු වෙන්නේ.එහෙම නම් අපිට අයිතියක් නැද්ද සුභවාදී අරමුණක් වෙනුවෙන් එකතු වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ආණ්ඩුව ඇතුලේ අඩුවක් වෙනවා නම් ආණ්ඩුව වැරදි පාරක යනවා නම් ආණ්ඩුව කරන දේ වැරදි නම් වැරදි දේට වැරදියි නොකියා කියන්න වෙන වචනයක් තියෙනවාද? යන පාර වැරදි නම් ඒ පාර වැරදියි කියනවා ඇරෙන්න වෙන වචනයක් තියෙනවාද කියන්න.අපි වැරදි පෙන්නලා දෙන කොට රිදෙනවා වෙන්න පුලුවන් ඒ අය ගැසට් ගහන කොට තේරෙන්නේ නැද්ද ඒ වුණේ වරදක් කියලා.වරදක් නොවුනා නම් ගැසට් එකක් අනික් පැත්ත ගහන්න වුවමනාවක් තියෙනවාද? එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ වුණාට අපි, මේ ආණ්ඩුවේ අඩුපාඩු ගැන කථා කරන්නේ ආණ්ඩුවත් එක්ක බොහෝම ආදරයෙන්, සමහරු හිතන්න පුලුවන්  මේක ආණ්ඩුව විවේචනය කිරීමක්ද? මේ  බැහැලා යන්නද කථා කරන්නේ,නෑ අපිට බැහැලා යන්න වුවමනාවක් නෑ,අපි හදාගත්ත ආණ්ඩුව, අපි හදාගත්ත ජනාධිපතිතුමා, ඇයි අපි දාලා යන්නේ? අපිට ඕනකම තියෙන්නේ හදපු ආණ්ඩුව, මැතිවරණයට කලින් දීපු පොරොන්දු ටික, ආණ්ඩු හදන්න කලින් දීපූ පොරොන්දු ටික,වෙනුවෙන් ආණ්ඩුව මෙහෙය වීම තමයි අපේ බලාපොරොත්තුව.

මේ පොහොර අර්බුදයත් එක්ක අදටත් පොහොර ටිකක් ගන්න පුලුවන්කමක් නෑ, අද අපි ඉතාම කැමතියි මේ තීන්දුව ආපස්සට ගත්ත එක ගැන, අපි රසායනික පොහොර වෙනුවෙන් නෙමෙයි කථා බහ කරන්නේ.අපි කියන්නේ කාබනික පොහොර භාවිතයෙන් වස විසෙන් තොරව කරන වගාව ඉතාම හොඳයි, රසායනික පොහොර නවත්වනකොට අපට අවශ්‍ය කරන කාබනික පොහොර ටික දෙනවා නම්, ඒ ටික ගන්න තියෙනවා, ඒ ටික ලැබෙනවා  නම් අපි සූදානම් රසායනික පොහොර පැත්තකින් තියලා කාබනික පොහොර ටික ගහන්න.දැන් මේ තීණ්දුව අරන් කොච්චර කල්ද, අපේ කුඹුරු ටික දැන් සීසාලා වපුරලත් ඉවරයි.පළවැනි පොහොර වල කාලය පහු වෙලා.අදටත් අපිට ගන්න පොහොර නෑ,අදත් උදේ මං කථා කලා, අපිට නැනෝ නයිට්‍රජන් ලීටර් එක්ලක්ෂ හතලිස් දහසක් ඕන, හැබැයි දැනටත් අපිට ලැබිලා තියෙන්නේ ලීටර් හයදහස් හාරසිය ගානක් තව කොච්චර අපට ඕනද? අපි කිව්වේ මේ ක්‍රමවේදයේ අර්බුධය විතරයි, වැඩපිළිවෙලක් නැතිව, අවබෝධයක් නැතිව සැලැස්මක් නැතිව ක්‍රියාකිරීම නිසයි අපේ ගොවිමහත්වරුන්ට ප්‍රශ්නයක් තිබුනේ.හෙටත් පොහොර ටික තියෙනවා නම් ඒක රසායනිකද, කාබනිකද ප්‍රශ්නයක් නෑ, අපේ ගොවියෝ සූදානම් මේ ටික ගහලා වගා කරන්න.අපිට ගැටලුව තියෙන්නේ මේ හොයාගන්න සොච්චම් මුදලින් තමයි අවුරුදු කන්න වෙන්නේ, මේක නැති වුණොත්, අස්වැන්නට ආදායමක් නැති වුණොත් අවුරුද්දක් ජීවත් වෙන්න , අවුරුදු කන්න,  ළමයින්ට ඇඳුම් ටිකක් අරන් දෙන්න,  අලුත් අවුරුද්දට අලුතින් ජීවත් වෙන්න, අලුත් ගමනක් යන්න අපේ ගොවිමහත්වරුන්ට බැරි වෙනවා.අපේ ගොවි මහත්වරුන්ට තියෙන්නේ කාබනික වගාව නරකයි කියන ප්‍රශ්නයක් නෙමෙයි.යම් දෙයක් නවත්වනවා නම් ඊළඟට ගමන් කරන්න මොකටද කියලා අපිට පේන්න තියෙනවා නම්, දකින්න තියෙනවා නම්, විශ්වාසයක් තියෙනවා නම් අපි සූදානම් .

බඩඉරඟු ගොවීන්ට අපි රසායනික පොහොර මෙට්‍ර්ක්ටොන් 5000 ක් අපි වෙන් කර ගත්තා ඉතුරු වෙලා තිබුණ පොහොර වලින්.මේ සඳහා තීන්දුව අරගෙන දැන් මාස 1 ½ ක් පමණ වෙනවා, අපේ ගොවිමහත්වරු මුදල් බැඳලා, සති ගණන් බලන් ඉන්නවා.තාමත් ලංකාව ඇතුලේ ආයතනයක් සතුව තියෙන යූරියා ටික, ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ සිට ඇමතිවරු දක්වා තීන්දු කරලා, ලියුම් ගහලා, අනුමත කරලා, අවසර දීලාත් තාම ඒ කම්පැණියෙන් පොහොර ටික ගමට ගේන්න බැරි වෙලා තියෙනවා.ටී.වී එකේ රෑට මාධ්‍ය සාකච්ජා තියලා කිව්වට මේක බිමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන පණිවිඩය තමයි අපි ආණ්ඩුවට කියන්නේ.

අපි සමහර වෙලාවට ගොවියෝ ගැන කථා කරන කොට සමහරු කියනවා අපි ගොවියොත් එක්ක දේශපාලනය කරනවා කියලා,අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ගොවියෝ රකින පක්ෂයක් කියන එක අපි ඉතාමත් ආඩම්බරයෙන් කියනවා.අපිව මොන විදිහට හංවඩු ගහන්න හැදුවත් ඔව් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොවියොත් එක්ක දේශපාලනය කරනවා.සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු කියන පංච මහා බලවේගය තමයි අපේ හයිය.ගොවියොන්ට අඩුපාඩුවක්, අසාධාරණයක් වෙන කොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන එක අපි ආඩම්බරයෙන් කියනවා, අපි අතීතයෙත්, වර්ථමානයේත් කරනවා, අනාගතයේදීත් ගොවියාට අසාධාරණයක් වෙන තැන අපි හිටගන්නවා.හැබැයි අපි හිටගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොවියෝ වෙනුවෙන් විතරක් නෙමෙයි කියන එකත් අපි කියන්න ඕනකම තියෙනවා.අපි හිටගන්නේ මේ රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් කියන එක ආඩම්බරයෙන් කියන්න ඕනකම තියෙනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද මහතා,

එක්තරා දවස දුමින්ද දිසානායක මැතිතුමාගේ නිවසට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුමින්ද දිසානායක මැතිතුමා හමුවෙලා මට මේ කරන උදව්ව කවදාවත් මං අමතක කරන්නේ නෑ, මට සහයෝගය ලබා දෙන්න කියලා.”ඉල්ලීමක් කලා.ඒ වෙලාවේ දුමින්ද ඇමතිතුමා මගේ මූණ දිහාත් ටික වෙලාවක් බලන් ඉඳලා අවසානයේ තීන්දුවක් දුන්නා, අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඒ වගකීම භාර ගන්නවා කියලා දුමින්ද ඇමතිතුමා කිව්වා.එදායින් පස්සේ අපි වේදිකා ගානේ ගිහින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කෙරුවා.අද ඉනිමඟ තියලා උඩට නැගලා ඉනිමඟට පයින් ගහන පිරිසක් අද දකිනවා.ඔය හැමකෙනෙක්ම රජකම් කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්සයට පිං සිද්ද වෙන්න.ජනාධිපතිවරු බිහි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිං සිද්ධ වෙන්න.අපි රජ කරන කොට ප්‍රධාන පක්ෂයක් විදිහට තමයි බලය කර ගෙන ගියේ.ජනාධිපතිවරයා පත් කර ගන්න, 2/3 ක බලයක් හදා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාල පිටුවහලක් වුණා කියන එක මතක් කරලා දෙන්න ඕන, එදත් මම කිව්වා අපි තනියම තරඟ කරමු කියලා කිව්වා.මම නම් කියන්නේ ඉදිරියේ තියෙන සෑම මැතිවරණයකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් ලෙස තනියම තරඟ කරමු කියන ප්‍රකාශය මං කරන්න ඕනයැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ වීරකුමාර දිසානායක හිටපු අමාත්‍යයතුමන්,

මේ වන විට දේශපාලනය නොහිතූ ලෙස උණුසුම් වෙමින් තිබෙනවා.ආණ්ඩුව වැටෙයිද කියලා ජනතාව නිතර අහනවා.ජනතාව අතර සැකයක් තියෙනවා.ආණ්ඩුවේ ඉන්න ඔලමොට්ටල හාදයොන්ට මේක තේරෙනවාද මං දන්නේ නෑ,ජනතාව හිතනවා මේක බ්‍රේක් ඩවුන් වෙයි කියලා.සමහර අය පාර්ලිමේන්තුවේ කථා කරන ඒවා දැක්කම මෙලෝ රහක් නෑ,ඒ ගොල්ල වෙනම ලෝකයක ජීවත් වෙන්නේ.ජනතාව ඉන්න බිම නෙමෙයි ඒ අය ඉන්නේ, කොහේ ඉන්නවාද කියලා හිතාගන්න බෑ,පහුගිය දවස් වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ගහනවා, අනෙක් පක්ෂ වලටත් ගහනවා, ආණ්ඩුව හදපු, මේක දිනන්න උස්සල තියපු හැමෝමට අනිනවා.ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ගහලා ගහලා මේක කොහෙටද ගෙනියන්නේ, මේ හාදයොන්ට පිස්සුද? මේ දේශපාලන ගමනක් නේ යන්නේ, මේ ආණ්ඩුවේ ඉන්න අය තාම ජීවත් වෙන්නේ 2018, මහින්ද සුළඟ ආවා, ඒ සුළං රැල්ලේ මේ ගොල්ල පාවෙනවා.ඒ ගොල්ල දන්නේ නෑ ඒ රැල්ලේ ආපු ගොවියා, කම්කරුවා, කාන්තාවෝ කොහෙද ඉන්න කියලා මේ අය දන්නේ නෑ.ජනතාව ඉන්නේ දැන් 2025 , ඒ අය බලං ඉන්නවා බංකර් හදාගෙන පොලු තියන් ඉන්නවා.මේ ගොල්ල ඒවා දන්නේ නෑ ශ්‍රී ලංකා එකටත් ගහනවා, රට දැන් සුරපුරයක් කියලා ෆුල් චූන් එකේ ඉන්නවා,කෘෂිකර්මාන්තය හොඳට කෙරෙනවා, බඩු මිල අඩුයි කියලා හිතාගෙන එයාලා අනෙක් පක්ෂත් තරහා කරගෙන යනවා.එහෙම නැත්නම් මේ අය මහින්ද රාජපක්ෂටයි, ගෝඨාභය රාජපක්ෂටයි ඇණලා හතර ගාතෙන් වට්ටවන්න හිතනවා.නැත්නම් වටේ ඉන්න මිනිස්සුන්ට බනින්න ඕනද? වට්ටලා වෙන කොහෙට හරි හේත්තු වෙන්නනේ තියෙන්නෙ.ඔය පාර්ලිමේන්තුවේ කෑගහන අය යන තැනකට හේත්තු වෙනවා.ඒ අයට හරි පුරුදුයි දණ නමස්කාර, මුඛය බිම තියලා අදෝ මුඛය උඩ තියාගෙන හරි පුරුදුයි.මේ අය ඕන කෙනෙක්ට දණ ගහලා වදිනවා.ඔය හැමෝම ජනතාව ඉන්න තැන ගැන හිතලා කටයුතු කරනවා නම් හොඳයි.ශ්‍රී ලංකා එකට බැන්නා කියලා රට හදන්න ගෙනාව වැඩපිළිවෙල දිනන්නේ නෑ,ඇත්තම කථාව මේ අයට කියන්න දේවල් නෑ, ඒ නිසා ලඟ ඉන්න එකාට කොනිත්තනවා.අර සමහර වෙලාවට නිකං ඉන්න බැරිකමට ලඟ තියෙන ගස් පතුරු ගහන්නේ ඒ වගේ ශ්‍රී ලංකා එක පතුරු ගහනවා.මේ අයට රටට කියන්න දෙයක් නැති නිසා දවසේ වොයිස් කට් එකක් මාධ්‍යයේ යන්න ඕන කියලා හිතලා ශ්‍රී ලංකා එකට බනිනවා.ශ්‍රී ලංකා එකට බැනලා මේ ප්‍රශ්නය ගොඩදාන්න බෑ, දවසින් දවස මේ ප්‍රශ්න පිරිහිලා වලපල්ලට යනවා.ඔය කරන වැඩෙන් ගමේ ඉන්න ශ්‍රී ලංකා කාරයත් ආණ්ඩුවට බනනින තැනට පත් වෙලා මේ ආණ්ඩුව තවත් වේගෙන් කඩා වැටෙනවා .ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයක් නිර්මාණය කරන්න කාලය ඇවිල්ලා තියෙනවා යැයිද පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress