බෞද්ධ ජනරජ ප්‍රවාදය – 46 වැනි කොටස- ‍ගිනි ඇති රටක්
Posted on November 29th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

මිනිස් සත්ත්වයා අනෙකුත් සත්ත්වයන්ගෙන් වෙන්කොට විශේෂිතව සැළැකීමට අදාළ ප්‍රමුඛතම කරුණක් වනුයේ ගින්දර නිපැදැවීමට, භාවිතයට සහ ගින්නෙහි උපකාරයෙන් ආහාර පිසීමට දක්වන සමත් බව ය. ගිනි නිපදවා (දල්වා), තම අවශ්‍යතා වෙනුවෙන් එය කළමනාකරණය සඳහා දක්වන මෙම හැකියාව තුළින් මිනිස් ශිෂ්ටාචාර වර්ධනය වී තිබේ. ගින්නෙහි විශේෂිත බව බුද්ධ දේශනාව තුළ ද වර්ණනා කෙරී තිබේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් ආභා වර්ගයෙහි එන ආභා, පභා, ආලෝක, ඔභාස සහ පජ්ජොත යන සූත්‍ර දේශනා මේ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකි ය.

ස්වභාවික උපද්‍රව, වසංගත, කැරැළි කෝලාහල, සතුරු උපද්‍රව, වෙනත් කැළැඹීම් මැද ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කරගත හැකි ජාතිහු නො නැසී ඉදිරියට යති. කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමුඛ අවධානයක් යොමුකොට ජනරජයේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කරගත යුතු බව මෙයට පෙර ලිපියකින් අවධාරණය කළේ එබැවිනි. සාමාන්‍ය, සාමකාමි කාලවකවානුවල දී යම් යම් ආහාර වර්ග ආනයනය කළ හැකි වුව ද ඉහතින් දක්වන ලද ආකාරයේ අස්ථාවරතා ඇතිවන විශේෂිත අවස්ථාවල දී මූලික ආහාර අවශ්‍යතා තම භූමිය තුළින් ම සළසාගැනීමට කවර ජාතියකට වුව සිදුවෙයි. එහෙයින් ආහාර සුරක්‍ෂිතතාව උදෙසා ප්‍රමුඛ අවධානය යොමුකිරීම ජනරජයේ ප්‍රධානතම වගකීමක් වෙයි.

කෘෂිකාර්මික කටයුතු මැනැවින් සිදුකළ පමණින් ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කළ නො හැකි ය. එයට අමතරව, ආහාර පිසීම සඳහා අවැසි ගින්දර පහසුවෙන් නිපදවාගැනීමට ඇති හැකියාව ද ජනරජය විසින් තහවුරු කළ යුතු වේ. ආහාර පිසීම සඳහා යොදාගනු ලබන දැල්විය හැකි වායු වර්ග ආනයනය කරන සහ ඒ සඳහා වෙනත් විකල්පයක් සූදානම් නැති වාතාවරණයක් තුළ ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ගැටලුව වෙනත් ස්වරූපයකින් ඉදිරියට ආ හැකි ය. එහෙයින් ආහාර පිසීම සඳහා වන ගිනි අවශ්‍යතාව තහවුරුකිරීමේ වගකීම ද ජනරජයට පැවැරෙයි.

ග්‍රාමීය ප්‍රදේශවල වසන ජනතාවට ඉතාමත් පහසුවෙන් දර භාවිතයට යොමුවිය හැකි ය. එසේ වුව ද, නාගරික ජනතාවට එම හැකියාව නොමැත. එහෙයින් එම ජනතාව ආනයනිත වායු වර්ග මත යැපෙමින් ආහාර පිසීමාදී කටයුතු සිදුකරති. එහෙත් විවිධ වූ හේතු නිසා මෙම ආනයන කාර්යයට බාධා එල්ලවිය හැකි ය. යුද කෝලාහල තත්ත්වයක් තුළ එම වායු වර්ග නිෂ්පාදනය සහ බෙදාහැරීම අඩාලවීම, ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය පිළිබඳ ගැටලු ඉස්මතුවීම යනාදී හේතු නිසා මෙම ආනයන කාර්යය අඩාලවිය හැකි ය.

ජනතාවගේ ගිනි අවශ්‍යතා කාර්යක්‍ෂමව දේශීය වශයෙන් සපුරාගත හැකි නම් ඒ වෙනුවෙන් වැය කරනු ලබන විදේශ විනිමය ඉතිරි කරගැනීමට ද ජනරජයට හැකිවෙයි. තව ද, කුටුම්බ මට්ටමින් ගිනි නිපැදවීම කළ හැකි නම් වෙළෙඳපොළ බිඳවැටීම් අභිමුව වුව තම ආහාර අවශ්‍යතා සපුරාගැනීමට ජනතාවට හැකිවෙයි. මෙම ප්‍රවාදය තුළින් අවධාරණය කෙරෙන ස්ව-ශක්තිය වර්ධනය කරගැනීමේ අවශ්‍යතාවට ද මෙ කී කාර්යය අදාළ ය.

ජාතියේ ගිනි අවශ්‍යතාව කාර්යක්‍ෂම අයුරින් සපුරාලිය හැක්කේ දැනුම පාදක කරගත් විසඳුමක් මඟිනි. සෑම නිවසක ම සුලබව ඇති හෝ ඉතා පහසුවෙන් ලබාගත හැකි හෝ ද්‍රව්‍ය භාවිතයෙන් ගින්දර නිපැදවීමට සුදුසු ක්‍රම හඳුන්වාදීමේ දැනුම මේ සඳහා අදාළ වෙයි. ශ්‍රී ලංකාවේ සෑම නිවෙසක ම පොල් කටු තිබේ. මෙවැනි දෙයක් භාවිතයෙන් දැල්විය හැකි කාර්යක්‍ෂම උදුන් හඳුන්වාදීම ඉතාමත් ප්‍රශස්ත විසඳුමක් වෙයි.

උක්ත කාර්යය කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ සහ ඒ ඇසුරින් හඳුන්වාදෙන නව නිර්මාණ තුළිනි. මෙය නිසැකයෙන් ම අදාළ කාර්යය සඳහා අවශ්‍ය දැනුම පිළිබඳ කරුණකි. මෙවැනි දැනුම හඳුනාගැනීම, එම දැනුම තවදුරටත් වර්ධනය කිරීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ. මෙයට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා උගතුන් සහ නව නිර්මාණකරුවන් පෙළැඹවීම, අවශ්‍ය අරමුදල් සහ අනෙකුත් උපකාර ලබාදෙමින් ඒ අය දිරිමත්කිරීම, ඉහළ කාර්යාක්‍ෂමතාවක් සහිත නිර්මාණ මහා පරිමාණයකින් නිෂ්පාදන කර වෙළෙඳපොළට හඳුන්වාදීම සඳහා අවශ්‍ය ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු සිදුකිරීම ජනරජයේ විවිධ මට්ටම්වල දී සිදුකළ හැකි ය.

මේ අරභයා මුලින් ම කළ යුත්තේ මෙවැනි උදුන් නිර්මාණ සඳහා වන අවශ්‍යතාව අවධාරණය කර දැනුම සහ හැකියාව ඇති අය ඒ වෙනුවෙන් පොළඹවාගැනීම ය. එම පිරිස් දිරිගැන්වීම සඳහා වන නිශ්චිත ප්‍රතිපත්ති සම්පාදනය සහ අදාළ නිෂ්පාදන මාදිලි හඳුන්වා දී ඒවා ප්‍රචලිතකිරීම ඒ සමඟ ම සිදුකළ යුත්තේ ය. ග්‍රාමීය මට්ටමේ ජනතාව විසින් භාවිතා කරනු ලබන ප්‍රාථමික උදුන් වැඩිදියුණුකිරීම කෙරෙහි මෙන් ම ඒ වෙනුවට විකල්ප හඳුන්වාදීම කෙරෙහි ද අවධානය යොමු කළ හැකි ය. මෙම කිසිදු පර්යේෂණ කාර්යයක් සහ නිර්මාණ එක් වටයකින් අවසන් නොවන බව ද අවධාරණය කළ යුතුවෙයි. කාර්යක්‍ෂම ක්‍රම හඳුන්වාදිය හැක්කේ දීර්ඝ කාලයක් තුළ වර්ධනය කෙරෙන නිර්මාණවලිනි.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress