අනාගත දරු පරපුර විනාශ කිරීමට මත්කුඩු ව්‍යාපාර මෙහෙයවන පිරිස් මර්දනය කළ යුතුයි – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on March 5th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අනාගත දරු පරපුර විනාශ කිරීමට මත්කුඩු ව්‍යාපාර මෙහෙයවන පිරිස් මර්දනය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සමරු ඵලකය නිරාවරණය කරමින් නාරම්මල ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ එහි පැවැති උත්සව සභාව අමතමින් මේ බව අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යතුමා මෙහි දී නාරම්මල ප්‍රාදේශීය සභාවේ නිල වෙබ් අඩවිය narammalaps.dolgnwp.lk විවෘත කරමින් අන්තර්ජාලයට එක් කළේය.

නාරම්මල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණ ඇතිව ඉදි කළ මෙම නව දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 133 කි.

මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ පුර නැගුම ව්‍යාපෘතිය සහ ප්‍රාදේශීය සභා අරමුදල් ඒ සඳහා යොදා ඇති අතර ඩිජිටල් ආණ්ඩුකරණයට පිවිසීමේ සමාරම්භක පියවරක් ලෙස මීට සමඟාමීව මාර්ග සිතියම් ගත කරනය ආරම්භ කිරීම විශේෂත්වයකි.

නාරම්මල නව ප්‍රාදේශිය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

නාරම්මල ප්‍රාදේශිය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාම සංතෝෂ වෙනවා.

මම හැමදාම විශ්වාස කරන එක තමයි වැඩ කරන්න හොඳ පරිසරයක් තියෙන්න ඕන. වැස්සට තෙමෙන ස්ථානයක පරණ ගොඩනැගිලිවල කාර්යාල කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ හින්දා තමයි අපි හැම ප්‍රාදේශීය සභාවකටම තමන්ගෙ අලුත් ගොඩනැගිලි හදාගෙන හොඳ පරිසරයක මිනිස්සුන්ට වැඩ කරන්න තමන්ගෙ රාජකාරී ඉටු කරන්න අවස්ථාව සළසා දෙන්න ඕන.

එක පැත්තකින් යුද්ධයක් කරන ගමන් අනිත් පැත්තෙන් අපි රාජ්‍ය ගොඩනැගිලි මංමාවත් ආදිය දියුණු කරන්න කටයුතු කළා. අද එහි ප්‍රතිඵල තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

විශේෂයෙන්ම අධිවේගී මාර්ග හැදීම ආරම්භ කළාම අධිවේගී මාර්ග වලට එදා හුඟක් බැන්නා. නොයෙක් චෝදනා කළා. එදා චෝදනා කළ අය අද ඒ පාරවල්වල යන ගමන් චෝදනා කරන බව අපි දන්නවා.  එදා කුරුණෑගලට එන්න පැය කීයක් ගියා ද? අද කීයක් යනවා ද? එදා අපි උදේට ආවම මැද මුලනෙ ඉඳලා කොළඹ එන්න මගට ඇවිත් කෑම කාලා තමයි ගමන එන්නෙ. එදා කැඩුණු පාරවල් තිබුණෙ. එහෙත් අපි පැය එක හමාරින් දෙකෙන් කොළඹට එනවා.

මේ විදියට අපි කාලයත් එක්ක මේ රටේ දියුණුව ආරම්භ කළා. යුද්ධය තියෙන ගමන්ම තමයි අපි ඒක කළේ. අවුරුදු 30ක් විතර තිබුණු යුද්ධයක් අවසන් කරන්න අපි තීන්දු කළේ අපි අනිත් වැඩ නවත්තලා නෙමෙයි.

ජනතාවට අවශ්‍ය හැමදෙයක්ම දීලා ඒ වැඩකරන ගමන්ම තමයි අපි යුද්ධයත් අවසන් කරන්න පියවර ගත්තෙ ඒ නිසා තමයි අද අපට නිදහසේ ඇවිල්ලා නිදහසේ කතාකරන්න නිදහසේ සැරිසරන්න ලැබිලා තියෙන්නෙ.

අපි අද වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව තමන්ගෙ අදහස ප්‍රකාශ කරමින් තමන්ගෙ රට එක මාවතකට ගෙනයන්න සංවර්ධනය කරන්න පියවර ගෙන තියෙනවා. අපි අගමැති වශයෙන්, ඇමතිවරු වශයෙන්, මන්ත්‍රීවරු වශයෙන් ඒ විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීන් වශයෙන් මේ හැමදෙනෙක්ම ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් කටයුතු කළ යුතුයැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම නව ක්‍රමවේද ඩිජිටල්කරණය වැනි වැඩපිළිවෙල ඔස්සේ අපි ඉදිරියට යනවා. අපි අපේ රට දියුණු කරමින් අපේ ප්‍රදේශ දියුණු කිරීම අවශ්‍යයයි. මහාමාර්ග ජල විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා විධිමත්ව දියුණු කළ යුතුයි. සියයට 98කට පමණ විදුලිය දෙනවිට ජලයත් ඒ විදියටම පාරිභෝගිකයන්ට ලබාදෙන්න අප කටයුතු කරන්න ඕන. වාසුදේව නානායක්කාර මැතිතුමා ප්‍රමුඛ රජය ඒ කටයුත්ත දැන් ඉටු කරමින් යනවා. ඒ අනුව රටේ සෑම පුරවැසියකුටම පිරිසිදු පානීය නල ජලය ලබා දෙන්න අපි කටයුතු කරනවා.

ඒ නිසා අපි සියලු දෙනාම එකතුවෙලා අපිට යුතුකමක් තියෙනවා මේ රට ගොඩනගලා ජනතාවට සේවය කරන්න. ඒ වගේම අපේ අනාගත දරු පරපුර රැකගන්න අපි කටයුතු කළ යුතුයි.

අද මත්කුඩු ප්‍රශ්න උග්‍රවෙමින් තියෙනවා. අපේ සමාජයේ ඉන්නෙ වැදගත් දෙමාපියන්ගෙ දරුවන්. අපි මේ දරු පරපුර රැකගැනීම සඳහා මත්කුඩු වැනි ව්‍යාපාරවලට විරුද්ධව වැඩ කළ යුතුව තිබෙනවා.

එහෙම නැතිවුණොත්, අපේ ජාතිය විනාශ කරන්න ඒවා මෙහෙයවන පිරිස් අපි මර්දනය කළේ නැත්නම්, අපේ දරු පරපුර විශාල අමාරුවක වැටෙනවා. ඒ නිසා මත්කුඩුවලින් ජනතාව ආරක්ෂා කරගන්න අපි පියවර ගන්නවා. ඒ වගේම ඊට වඩා අපේ දෙමාපියන් තමන්ගෙ දරුවන් ගැන අවධානය යොමු කළ යුතුයි. ඇතැම් දෙමාපියන් කුඩා කාලයේ දී දරුවා ගැන බලලා තරමක් ඉහළ පංතියකට යනකොට දරුවා ඇතෑරලා දානවා. දරුවට ඕන විදියට යන්න දීලා දෙමාපියො වැඩ කරගෙන යනවා.

අද දරුවො ගැන කුඩා කාලයටත් වඩා වැඩියෙන් බලන්න ඕන ඔවුන් උස් මහත්වෙලා කටයුතු කරන අවදියෙදියි. ඒ නිසා ඔවුන් තරුණ වයසෙදිත් ඔවුන් ගැන සොයා බැලීම අපේ වැඩිහිටියන්ගෙ දෙමාපියන්ගේ යුතුකමක්. එහෙම නොකළොත් අපට ජාතියක් වශයෙන් ආනාගතයේ දී අපට ඔළුව උස්සන්න පුළුවන් වෙන එකක් නැහැ. ඒ නිසා අපි අපේ දරු පරපුර රැකගෙන ජාතිය ගොඩනගා ගෙන මේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා තමුන්නාන්සේලාගේ සහයෝගය බලාපොරොත්තුවෙමින් විශේෂයෙන් සභාපතිතුමා ඇතුළු මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාටම අපගේ ගෞරවය පුද කරනවා. විශේෂයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා තමන්ගෙ කාලයෙන් වැඩි කොටසක් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැප කරනවා. විශේෂයෙන් අපි ඒ ගැන ඔහුට ගෞරව කරන්න ඕන.

දිස්ත්‍රික්කය සංවර්ධනය කරනවා වගේම රටේ මාර්ග පද්ධතිය පිළිබඳව වගේම අනෙකුත් වැඩකටයුතුවලදිත් ඔහු උපරිමයෙන් කටයුතු කිරීම අපට මහත් අස්වැසිල්ලක් වී තිබෙනවා.  ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා

නාරම්මල ප්‍රදේශයට වගේම ජනතාවට ඉතාමත්ම අවශ්‍ය කරන පරිපාලන ගොඩනැගිල්ලක් තමයි අද ලැබිලා තියෙන්නේ. ඒ කාලේ අපේ ප්‍රාදේශීය සභාව තිබුණේ කූඩාරම් මඩුවක.

අගමැතිතුමනි,  ඔබතුමා මේ රට වෙනස් කෙරුවා. මේ යුද්දෙ විතරක් නෙමෙයි ඔබතුමා යුද්දෙ කියලා පෙන්නලා රට හදන්නේ නැතුව හිටියේ නෑ .ඔබතුමා යුද්ධය කරන ගමන් රට හදන්න අත ගැහුවා. ඒක සුවිශේෂී ලක්ෂණයක්.

යුද්දෙ  පෙන්නගෙන ආයුධ ගන්න ඕනේ,  සපත්තු ගන්න ඕනේ, යුනිෆෝම් ගන්න ඕනේ කියලා  ඒවා පෙන්නලා ඔබතුමා සංවර්ධනය හැංගුවේ නෑ.

යුද්දෙත් කරන ගමන් මේ රට අලුත් රටක් කරන්න ඔබතුමා කටයුතු කළා.  ඒ තමයි පුර නිර්මාණය. ඒකෙන් තමයි පුරනැගුම නිර්මාණය වුණේ. පුර නැඟුමෙන් නගරයක තියෙන නගර සභාවට, ප්‍රාදේශීය සභාවට අලුත් තැනක් ගෙන ආවා. ඒ ගමන් ඔබතුමා දිසාපති කාර්යාලය අමතක කළේ නැහැ. පළාත් සභාව අමතක කළේ නැහැ. 

කුරුණෑගල නගරයේ අද තියෙන්නේ පරණ දිසාපති කාර්යාලය නෙමෙයි. එය අලුත් කෙරුවා. කොළඹත් එහෙමයි. නගර ගණනාවක ඒ පරිපාලන ගොඩනැගිලි අලුත්වැඩියා කරමින් යුගයට අවශ්‍ය පරිදි නිර්මාණය කෙරුවා. ඊට පස්සේ ගම්වල මිනිසුන්ගේ පාරවල් ටික හදන්න පටන් ගත්තා. බොරළු කියන යුගය අවසන් කෙරුවා. ඒකට කැටගල් ගෙනාවා. කොන්ක්‍රීට් ගෙන ආවා. කාපට් එක ගෙනාවා. කොළඹ හතර සීමාවට සීමා වෙලා තිබ්බ කාපට් එක ගමට ගෙනාවා. ඒ නිසා තමයි අපිට ගම්වලට ගියහම හැමෝම දැන් අපෙන් කාපට් ඉල්ලල කරදර කරන්නේ. ඒ යුගය ඔබතුමා නිර්මාණය කළා.

ලංකාවේ  අධිවේගී මාර්ග සංස්කෘතියක් තිබුණේ නැහැ. පිටරට ගිය හුඟක් අය ඒවා දැක්කා. අනිත් අය ටීවී එකෙන් විතරයි දැක්කේ. එක අපිට සිහිනයක් වෙලයි තිබුණේ .ඒ සිහිනය ඔබතුමා සැබෑ කෙරුවා. ඒ විතරක් නෙමෙයි ඊළඟට ගත්තම වාරිමාර්ග යෝජනා ක්‍රම. අපේ මේ දිස්ත්‍රික්කයේ ඔබතුමාටත් විශ්වාස කරන්න බැරි වුණා දැදුරු ඔය ව්‍යාපෘතිය. උඩින් යනකොට එය දැකල ඔබතුමා කිව්වා  මහ මුහුදක් වගේ කියලා. ඒ වගේ  ගණනාවක් වාරිමාර්ග යෝජනා ක්‍රම ඔබතුමා නිර්මාණය කළාද? මේවා නිර්මාණය කළා විතරක් නෙමෙයි. ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කළා. රුපියල් 08ට 09ට තිබ්බ වී කිලෝ එක ඔබතුමා බලයෙන් පහ කරන කොට 40ට නැගල  තිබුණේ.

ගොවි ජනතාව එදා ඇවිල්ල කිව්වේ නැහැ  වහ බොනවා, මැරෙනවා, කියලා. එහෙම යුගයක් තිබුණෙ නැහැ. ගොවියා ගැන හොයලා බැලුවා. රාජ්‍ය සේවකයා ගැන හොයලා බැලුවා. පරිපාලන ගොඩනැඟිලි ගැන බැලුවා. ඊළඟට රාජ්‍ය සේවයට ඔබතුමා මෝටර් සයිකල් එකකුත් දුන්න. ඒක තමයි හදපු අලුත් සංස්කෘතිය. ලෝකයේ දියුණු රටවල් වගේ අපේ ලංකාව වෙන්න ඕනේ කියලා දැක්මක් ඔබතුමාට තිබුණා. 

අපට මතකයි ඇමරිකාවේ පුරවැසියන්ටත් රස්සා නැති වුණා. ගෙවල්වල ණය ගෙවා ගන්න බැරුව මහ පාරට දැම්ම. මුළු යුරෝපයෙම ආර්ථිකය කඩා වැටුනා. එදාත්  දැන් වගේම ඩොලර් ප්‍රශ්නෙ තිබුනා. යුද්ද කරන්න සල්ලි නැතුව තිබුණා. හැබැයි ඒ හැම දෙයක්ම ඔබතුමා ජයගත්ත.

ගහන්න බැරිය කියූ යුද්ධය ගහලා ඉවර කරලා ලෝකෙට පෙන්නුවා. ඊට පස්සේ ඔබතුමාගේ ඒ සංවර්ධනයත් එක්ක ඒ අභියෝගවලට මුහුණ දෙන්න බැරි වූ විපක්ෂය ඔබතුමාටයි ඔබතුමා ගේ පවුලේ අයටයි මඩ ගැහුවා.

2015 න් පස්සෙත් ඔබතුමා ජනාධිපතිවෙලා හිටියනම් කොවිඩ් නෙමෙයි මොන අර්බුදයක්  ආවත් අපේ ආර්ථිකය වැටෙන්නේ නෑ. ඔබතුමා හදපු ආර්ථිකය විනාශ කෙරුවා. ඔබතුමා හදපු ජාතික ආරක්ෂාව විනාශ කෙරුවා. ඒ නිසා තමයි ඩොලර් නැති උනේ. අයි .එස් .අයි එස්. එකේ සහරාන්ලා ගැහුවට පස්සේ තමයි මේ රටට විදේශිකයෝ  ආවේ නැත්තේ .එතනින් තමයි වැටෙන්න පටන් ගත්තේ  ඩොලර් සංචිතය. ඊට ඉස්සර එයාලා ආර්ථිකය වැට්ටුවා.

මම අද උදේ මුදල් ඇමතිතුමාට කතා කෙරුවා. අපිට දැනට කිසිදු තෙල් ප්‍රශ්ණයක් නැහැ. තෙල් ගෙනල්ලා තියෙන්නේ හෙට දවස නිවාඩු දවසක් සාමාන්‍යයෙන්  එදාට තෙල් බෙදා හරින්නේ නැහැ. වගකීමෙන් ජනතාවට කියනවා කලබල වෙන්න ඕනේ නැහැ. පැය ගණන් පෝලිම්වල ඉන්න එපා. තෙල් ප්‍රශ්නෙ අපි විසඳනවා. තෙල් ඇවිල්ලයි තියෙන්නේ. ඊළඟ තෙල් නැවත් එනවා වගකීමකින් කියනවා. මේ ආණ්ඩුව කිසිසේත්ම ජනතාවට ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා

2011 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ විධායක ජනාධිපතිවරයා විදියට පුර නැගුම වැඩසටහන ආරම්භ කළා. මේ පුර නැගුම ව්‍යාපෘතිය තුළින් ප්‍රධාන වශයෙන්ම ඉලක්ක වුණේ පළාත් පාලන ආයතනයන්, ඒ වගේම කුඩා නගර, කුඩා නගර වලට අවශ්‍ය ජලය, විදුලිය, පුස්තකාලය, පරිගණක මධ්‍යස්ථාන මේ වගේ අත්‍යවශ්‍ය අංගයන් සම්බන්ධවයි.

පුර නැගුම ව්‍යපෘති හරහා ඉටු වුණ විශිෂ්ට  සේවාව සම්බන්ධව අපේ අග්‍රාමාත්‍යතුමාට විශේෂ ස්තුතියක් මේ මොහොතේ පුද කරනවා. පුර නැගුම  03වන අදියරයි දැන් ක්‍රියාත්මක වන්නේ. වත්මන් අග්‍රාමාත්‍යතුමනි ඔබතුමන් 2005 පස්සේ අපි දන්නවා පඹගාලක් විදියට තිබ්බ රටක්  ප්‍රශ්න පත්‍රයක් තිබ්බ රටක් 2005දී ඔබතුමා භාර ගත්තේ.

 ඒ භාර අරගෙන කටයුතු කළ වසර 09 තුළ දී තිස් වසරක යුධ ශාපයෙන් රට බේරාගෙන වේගවත් සංවර්ධනයකට රට ගෙනගියා. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන ගිය  වැඩපිළිවෙල අද ගෝඨාභය රාජපක්ෂ අතිගරු  ජනාධිපතිතුමා ‌සෞභාගයේ දැක්ම  වැඩසටහන තුළ ක්‍රියාත්මක කරනවා.

අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන අත්දැකීම් පරිතණභාවය හා  උපදෙස් එක්ක. මේ කොවිඩ් අවදානමෙන් මේ රට මුදා ගන්න ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. අපි දන්නවා ඉදිරිය මේ රටේ සුබයි. එය වරදින්න විදියක් නැහැ. 

මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී හේරත්, රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් ප්‍රිය හේරත්, සුමිත් උඩුකුඹුර, චරිත හේරත් මහත්වරු සහ නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.එම්. සූමනසිරි මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress