ශ්‍රී ලාංකීය කාන්තාව  සමාජයීය, ආර්ථික හා දේශපාලනික වශයෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර තිබෙනවා – අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය
Posted on March 10th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලාංකීය කාන්තාව සමාජීය,ආර්ථික හා දේශපාලනික වශයෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටු කර තිබෙන බව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ඉන්දුනීසියාවේ කාන්තා සවිබල ගැන්වීම් සහ ළමා ආරක්ෂණ අමාත්‍යාංශය (MoWECP) ජකර්තා නගරයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙහෙයවූ “බලවත් කාන්තාවන් කතා කිරීමට නිර්භීතයි” මැයින් වූ ජාත්‍යන්තර කාන්තා දින සැමරුම -2022 අන්තර්ජාතික සැසිය සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වූ අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඊයේ (09) මේ බව සඳහන් කළාය.

“සවිබල ස්ත්‍රිය සියලු බාධා බිඳ දමා අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙයි” තේමාවෙන් අග්‍රාමාත්‍ය ආර්යාව සිය දෙසුම ඉදිරිපත් කළාය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය  කළ කතාව මෙසේය.

ශ්‍රී ලංකාවට කාන්තාවන් සවිබල ගැන්වීමෙහිලා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. ශ්‍රී ලාංකීය කාන්තාවන් සෑම විටම තීරණ ගනු ලබන්නේ තම පවුලේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමෙහිලා පෙරමුණ ගනිමින්. එහෙත් ආසියාතික කාන්තාව පොදුවේ පවුල කේන්ද්‍ර කරගත් සමාජයීය කාර්යභාරයේ දී ඉතා දුක්ඛිත අවස්ථාවන්ට මුහුණ දෙන බව සත්‍යයක්.

එහි අවාසනාවන්ත තත්ත්වය නම් කාන්තාව පවුල වෙනුවෙන් ඉටු කරන කාර්යය භාරය ඔවුන්ගේ ප්‍රධාන සහකරුවන්ට නොදැනීමයි. ඒ නිසා බොහෝ විට වාර්තා  නොවන ගෘහස්ථ හිංසනයට අපගේ කාන්තාවන්ට  මුහුණ දීමට සිදුවෙනවා.

අපගේ කාන්තාවන් පවුල සුරක්ෂිත කිරීම වෙනුවෙන් ආර්ථික අවශ්‍යතා සපුරාලීම සඳහා සංක්‍රමණික රැකියාවලට යොමුවන අවස්ථා බොහොමයක් තිබෙනවා. එසේ නිවස හැර යන කාන්තාව අනිසි ලිංගික අපයෝජනයන්ට ලක්වන අවස්ථා කොතෙකුත් තිබෙනවා.

අප සමාජයේ මෙසේ අසරණ වන කාන්තාව වෙනුවෙන් කළ හැකි කාර්යය වන්නේ ඔවුන්ට ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කරන විශ්වාසනීය රාජකාරී පැවරීමයි.‍

මෙහිදී ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් සමාජීය ආර්ථික හා දේශපාලනික වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සිහිපත් කළ යුතුයි. ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය වූයේ අතිගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය කාන්තාවන් සැමට ආදර්ශමත් නායිකාවක්.

කාන්තාවන් සවිබල ගැන්වීමේ දී කාන්තාව සහ පිරිමි එක්ව ක්‍රියාකිරීමයි වැදගත් වන්නේ. තනිව නොව ගම්මාන සහ සමූහ වශයෙන් සවිබලගැන්වීම ශක්තිමත් පදනමක් ඇතිකරනවා. මෙම සැසියේ දී මම ඔබ සමඟ බෙදා ගැනීමට කැමති පාඩම  මෙයයි.

ශ්‍රී ලංකාවේ අපට උගත හැකි පාඩම් රැසක් අපේ සංස්කෘතිය  තුළම ක්‍රියාත්මක වෙනවා. සමාජයීය ගෞරවය උපයාගන්නා ක්‍රියාශීලී කාන්තාව නිරායාසයෙන් බලය දරන බවයි මාගේ විශ්වාසය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සම අවස්ථා ලැබීමත් ඒ සඳහා ඉදිරියට ඒමත් කළ හැකි කාර්යයක්.

අපේ සමාජයේ කාන්තාව සවිබල ගැන්වීම යනු  සමස්ත පද්ධතියටම  අවශ්‍ය  අවකාශය සවිබල ගැන්වීමයි. අධ්‍යාපනය, රැකියාව හෝ වෙනත් ඕනෑම කාර්යයක දී කාන්තාවන් තෝරා  ගන්නා ඕනෑම මාර්ගයක් වෙනුවෙන් ඔවුන්ට නිදහසේ පිවිසීමේ අවකාශය තිබිය යුතුයි. අපේක්ෂා කරන උසස් රැකියා අවස්ථා ඇත්නම් ඒ සඳහා කාන්තාවන් දිරිමත් කිරීම පවුල තුළින්ම සිදුවිය යුත්තක්.

ඊළඟ පරම්පරාවට දරුවන් දායද කරන්නේ කාන්තාවන්. ඒ නිසා ඔවුන් නිසි අධ්‍යාපනයකින්  සහ යහපත් සෞඛ්‍යකින් හෙබි පරපුරක් බවට පත් කිරීම සියලු දෙනගේ වගකීමක්. ආගමික විශ්වාස මත වෙනස් නොවී සියලු කාන්තාවන්ට එම අයිතිවාසිකම් හිමිවිය යුතුයි.

ශ්‍රී ලංකාවේ නම් සංස්කෘතික වශයෙන් කාන්තාවන්ට බාධ ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක්. එහෙත් ඔවුන් ආර්ථික වශයෙන් විවිධ බාධා වලට මුහුණ දෙනවා.

කාන්තාවන්ගේ ජීවන  තත්ත්වය සහ ඔවුන්ව ස්වයං සවිබල ගැන්වීම  සඳහා ඔබ අප වැනි රටවල් එකට එක්ව ක්‍රියා කළ හැකියි. කාන්තාවන් අපේක්ෂා කරන්නේත් එයයි.

ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් සහ රැකියා පහසුකම් ලබා දීමෙන් තරුණ  ගැහැණු ළමුන්ගේ අනාගතය සවිබල ගැන්වීමට හැකියි. එමෙන්ම උසස් තත්ත්වයේ ළමා රැකවරණයත් වැඩ කරන මව්වරුන්  සඳහා පහසුකම් තිබීමත් ප්‍රමුඛ අවශ්‍යතා වෙනවා.

කාන්තාවන් සවිබල  ගැන්වීම සඳහා එක් එක් ජාතීන් ගන්නා පියවර සහ යොදවන කාලය ඉතා වැදගත්. එම පියවර ඉදිරියට ගෙන  යන ආකාරය පිළිබඳව  දැනුම බෙදා ගැනීමට අපේ ජාතීන් එක්ව කටයුතු කරනු දැකීමට මම කැමතියි.

කාන්තාවන්ගේ පූර්ණ හැකියාව අවබෝධ කර ගන්නේ ද හිරිහැර හා ගෘහස්ථ  කෲරත්වයට ලක් වූ  කාන්තාවන්ම ය. පවුල තුළ ඇය ට නැගී සිටීමට අවශ්‍ය පසුබිම සලසා දීම විශ්වාසනීයත්වය තීව්‍ර කරයි.

ඒ නිසා කාන්තාව ශක්තිමත්ව බල ගැන්වීමට අපි එක්ව කටයුතු කරමු, යැයි මම ඔබට යෝජනා කරනවා.

ලෝකයේ සියලුම නිර්භීත කාන්තාවන් සමඟ එක්ව කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටු දැකීමටත් කාන්තාව  සවිබල ගැන්වීම සඳහාත් අපි නැගී සිටිමු.

ගෘහ සේවිකාවගේ පටන් ඕනෑම රටක ඉහළම  තනතුරක් දරන කාන්තාවටත් සම අයිතිය ලැබෙන  ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress