හිස් භාවය
Posted on March 16th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනාධිපතිතුමාගේ කතාව ඇසීමට අපි සියලු දෙනාම බලා සිටියේ නොඉවසිල්ලෙනි. කතාව නිමවීමත් සමග අපට මහත් හිස් භාවයක් දැනුනි. ඇයි මෙතුමාට මෙහෙම කලේ ? මේ පැනය අපි අසන්නේ එතුමාගේ උපදේශකයින්ගෙන් හා මේ කතාව සකස් කර නැවත නැවත කියවමින් ශෝධනය කල එතුමා වටා සිටින මණ්ඩලයෙනි.

මේ කතාවෙන්, පෝලින්වල ගෑස් අපේක්ෂාවෙන්, ඩිසල් අපේක්ෂාවෙන්, පෙට්‍රල් අපේක්ෂාවෙන්, බුමිතෙල් අපේක්ෂාවෙන්, සිටින මිනිසුන්ට දෙනු ලබන පණිවුඩය වන්නේ “මේ අර්බුදය මා විසින් ඇතිකරන ලද්දක් නොවේය” යන්නයි. එමෙන්ම විදුලිය නොමැතිව අඳුරේ සිටින මිනිසුන්ට දෙනු ලබන පනිවුඩයද වන්නේ “මේ අර්බුදය මා විසින් ඇතිකරන ලද්දක් නොවේය” යන්නයි.

මිනිසුන් ඉතිහාසගත ජයග්‍රහණයකින් මෙතුමාව ජනාධිපති බවට පත්කොට කැවුම්, කිරිබත් කමින්, උත්සව පවත්වමින්, රටපුරා වීථි අලංකාරවත් චිත්‍ර වලින් ඔපවත් කලේ, මේ සියලුම ප්‍රශ්න යහපාලන රජය කල බව මැනවින් අවබෝධ කරගෙන, ඒවාට පිළියම්, තමන් බලයට පත්කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කෙසේ හෝ විසඳන බව දැනගෙනය. අද ඒ විශ්වාසය බොඳවී ඇත. ඔවුන් එතුමාගේ කතාව තුලින් අපේක්ෂා කලේ පවතින බලශක්ති අර්බුදයට එතුල දෙන විසඳුම කුමක්ද යන්නයි.

ඇත්තටම කලයුතු විසඳුම කුමක්දැයි, එතුමා දනී. එය එතුමා තුල තිබෙන, මේ වනවිට දිය හැකි, හොඳම විසදුමයි. ඒ සුර්ය බලශක්තියයි. සෑම ගෙයකම වහලය මත සවිකරන, සුර්ය කෝෂ මගින් මුළු රටටම විදුලි බලය ලබාදීමට කටයුතු කරන බවත්, එවිට උයන්නට ගෑස් නොව විදුලිය භාවිතා කල හැකි බවත්, තමන්ගේම ළිඳකින් ජලය පොම්පකර ලබා ගැනීමට මේ විදුලි බලයම උපයෝගී කරගත හැකි බවත්. ජනාධිපතිතුමා විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන පමණක් ගෙන්වන බවට මේ වනවිටත් ජනතාවට පොරොන්දුවක් දී ඇති බැවින්, ඒ රථ සියල්ලම බල ගැන්වීමට තමන්ගේම විදුලි බලයෙන් හැකි බැවින් ඒ සඳහා පෙට්‍රල් අවශ්‍ය නොවන බවත් පෙන්වා දිය හැකිව තිබුණි.,

මේ මගින් අනාගත ලංකාව තුල ගෑස් පෝලින් නැති. පෙට්‍රල් පෝලින් නැති, ඩිසල් පෝලින් නැති, කිසිදාක ලයිට් නොකපන සමාජයක් මම ඔබට නිර්මාණය කර දෙමි, යයි පැවසුවේ නම් කොච්චර වටිනාකමක් තිබේද?  එපමණක්ද නොව එමගින්, විදුලිය ඉපයීමට යන ඩිසල් වලට වැයවෙන ඩොලර්, පෙට්‍රල් වලට වැයවෙන ඩොලර්, ගෑස් වලට වැයවෙන ඩොලර්, ඉතිරිවෙන ආකාරය පහදාදී ඒ සියල්ලක්ම රට සංවර්ධනය උදෙසාම යොදවන බව පහදාදීමට ඉඩ තිබුණි.

ජනාධිපති උපදේශක වරුනි, ජනතාව පිඩාවට පත්ව සිටින ගැටලුව කුමක්දැයි පළමුව වටහාගෙන එයට දෙන පිළියම කුමක්දැයි පැහැදිලි කරන කතාවක් සකසා දීමට කටයුතු කිරීම තුලින් අපි හැමදෙනාගේම ගෞරවය ආරක්ෂා කරන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress