ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනයේ පළමු කොඩිය අග්‍රාමාත්‍යතුමාට පළඳවයි
Posted on March 21st, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනයේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද (21) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවූවාය.

බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් ද  ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සන්නිවේදන කොමසාරිස් රුක්ෂානි අසීස් මෙනවිය විසින් මෙහි දී අග්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වන ලදි.

බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ  රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවෙල් සාමිවරයාගේ නැගණිය වූ ඔලිව් බේඩින් පවෙල් මෙනෙවිය ගේ මූලිකත්වය ඇතිව 1910 දී  බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ විය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වය හිමිවූයේ 1917 මාර්තු 21 වෙනිදාය.

ඒ එවකට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ සැන්සන් මෙනවියගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ජෙනී කැල්වර්ලි මෙනවියගේ නායකත්වයෙනි.

මේ වන විට ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරය තුළ රටපුරා හැත්තෑදහසක පමණ බාලදක්ෂිකාවන් පිරිසක් සම්බන්ධව සිටින අතර විශේෂ අවශ්‍යතා සහිත බාලදක්ෂිකා කණ්ඩායමක් ද ඒ අතර වේ.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, බාලදක්ෂිකා ව්‍යාපාරයේ ජාත්‍යන්තර කොමසාරිස් නදීකා ගුණසේකර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ  සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්ම මහත්මීහු ඇතුළු විවිධ වයස් කණ්ඩායම් නියෝජනය කරමින් බාලදක්ෂිකාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress