දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් ගේන්න 13 සංශෝධනය පූර්ණය ක්‍රියාත්මක කිරීම හා තහනම් ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කිරීම
Posted on March 29th, 2022

ආචාර්ය ගුණදාස අමරසේකර කැඳවුම්කරු ජාතික සංවිධාන එකමුතුව

ජාතික සංවිධාන එකමුතුවෙන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ

අතිගරු ජනාධිපතිතුමනි,

ඩොලර් අර්බුදය යොදාගනිමින් ශ්‍රී ලංකාවේ රාජ්‍යයට එරෙහිව දියත් කෙරෙන
පංචවිධ වටලෑම සහ එම ක්‍රියාවලිය තුළ රණවිරු දඩයමට ඉඩ සැළසීම පිළිබඳව

මේ වන විට රටේ විදේශ සංචිත සිදීයාම හෙවත් ගෙවුම් ශේෂ හිඟය වර්ධනය වීම රාජ්‍ය ආදායම් වියදම් පරතරය වැඩිවීම සහ විදේශ ණය ආපසු ගෙවීම පිළිබඳ ගැටළුකාරී තත්වයන් නිසා ශ්‍රී ලංකාවේ රජයට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුව ඇති බව ප්‍රකට කරුණකි. ඊට අමතරව එම තත්වය නිසා අපහසුතාවට පත්වන මහජනයාගේ විරෝධය යොදාගනිමින් විපක්ෂ බලවේග විසින් දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බව ද පැහැදිලිව පෙනෙන්නට ඇත. යම් බලවේග විසින් අරාබි වසන්තයක් කැඳවීම පිළිබඳව සදහන් කිරීම තුළින් ප්‍රකට වන්නේ ඔවුන්ගේ ප්‍රාර්ථනය වන්නේ ලිබියාවේ ඇතිවූ අවාසනාවන්ත තත්වය වැනි දේශපාලන අර්බුදයක් නිර්මාණය කිරීම ද යන සැකය මතුවේ.

ජාතික සංවිධානවල කියවීම අනුව වත්මන් අර්බුදය 1977දී ආරම්භ වූ පරාධීන ආර්ථික මොඩලයේ තර්කානුකූල ප්‍රතිඵලයකි. අප ජාතියේ නළලේ කොටා තිබූ එම ඉරණම යම් කාලයකින් ඉක්මන් වන්නේ කොවිඩ් වසංගතය නිසා බවට විවාදයක් නැත. ඔබතුමාගේ පුටුවේ අද දින කවුරු වාඩිවී සිටිය ද එම ඉරණම වෙනස් නොවන බව ඉතා පැහැදිළිය. එහෙත් පසුගිය වසර 2කකට අධික කාලය තුළ එම ආර්ථික මොඩලය වෙනස් කිරීම සඳහා සාධනීය උත්සාහයක් නොගැනීම පිළිබඳව වරද ඔබගේ උර මත පැටවීම වැළැක්විය නොහැක. කෙසේ වෙතත් මේ වන විට ඩොලර් සංචිත සිඳීයාම සමඟ ඇති වී ඇති තත්වය තුළ විදේශ ණය සහ ප්‍රේෂණ ලබාගැනීම සඳහා ඉතා අසාධාරණ කොන්දේසිවලට යටත්වීමට ආණ්ඩුවට සිදුවී ඇති බව ඉන්දියානු ණය පහසුකම් සමඟ ගැටගැසී ඇති ගිවිසුම් සහ ව්‍යාපෘති අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව දැකගත හැක. ඒ අනුව පවතින අර්බුදය මුල්කරගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලරපතළ වටලෑමකට ගොදුරු වෙමින් පවතින බව පැහැදිළි කරුණකි.

එම වටලෑම පෙරමුණු පහකින් ක්‍රියාත්මක වන බව පෙනේ. අපගේ අධයනයන්ට අනුව එම පෙරමුණු මෙසේ දැක්විය හැක. එම පංචවිධ පෙරමුණු අතරින් පළමුවැන්න ආණ්ඩුව තුළ සිටිමින් දැනුම්වත්ව ආණ්ඩුව අර්බුදය දෙසට තල්ලු කරන පෙරමුණ ලෙස හැඳින්විය හැක. එම පිරිස් විසින් ප්‍රශ්නවලට විසදුම් ලෙස අර්බුදය තවදුරටත් වර්ධනය වන ප්‍රතිකර්ම ඉදිරිපත් කිරීම තුළින් ඔවුන්ගේ අවසන් අරමුණ පැහැදිළි වේ. එනම් සිතා මතා අර්බුදය උත්සන්න කිරීම තුළින් ආණ්ඩුව අසරණභාවයට පත් කිරීම ඔවුන්ගේ අරමුණ බව පහැදිලි වේ. එම අසරණ වීම තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යය ඉන්දු – පැසිෆික් භූ දේශපාලන න්‍යාය පත්‍රයේ ගොදුරක් බවට පත්වූ පසුව එනම් දාස රාජ්‍යයක් බවට පත් වූ පසුව එම අර්ධ යටත්විජිත රාජ්‍යයේ ආණ්ඩුකාරයා බවට පත්වීම මෙම දුෂ්ට පෙරමුණට නායකත්වය දෙන අයගේ අරමුණ බව ඉතා පැහැදිළිය.

ආදාළ ක්‍රියාවලිය තුළ දෙවන පෙරමුණ ලෙස ක්‍රියාත්මක වන්නේ රාජ්‍යය සහ මහජනයා ප්‍රාණ ඇපයට තබාගෙන සිටින නව ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියකි. ප්‍රධාන වශයෙන් ආනයන අපනයන ජාවාරම්වල සහ විදේශ විනිමය ජාවාරම්වල නියුක්ත මෙම පිරිස් භාණ්ඩ තොග රැස්කරමින් ඉතා අසාධාරණ ලෙස මිල වැඩිකරමින් මහජනයා පීඩාවට පත්කරන ආකාරය දැකගත හැක. ආණ්ඩුව විසින් ලබාදී ඇති බදු සහන මිලියන දහස් ගණනින් යොදාගනිමින් ඔවුන් විසින් ඉතා ශක්තිමත් ව්‍යාපාරික ජාලයක් නිර්මාණය කරගෙන ඇති බව ඉතා පැහැදිලිය. ඕනෑම අවස්ථාවක ආර්ථික අර්බුදය උත්සන්න කෙරෙන ක්‍රියාමාර්ග ගැනීම මගින් මහජන පීඩනය ඇති කර ඔවුන් පාරට බැස්සවීමේ යතුර ඇත්තේ ඔවුන් අතය. පාලන මිල ඉවත් කිරීම මගින් ආණ්ඩුව ඊට පහසුකම් සලසා ඇත.

එම පෙරමුණු අතර තුන්වන පෙරමුණ, ඉන්දු පැසිෆික් භූ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ඇමෙරිකාව සහ ඉන්දියාව ප්‍රමුඛ රටවල් හතරකින් සමන්විත ක්වැඩ්” හෙවත් ආසියාවේ නේටෝවයි. එම ක්‍රියාවලිය තුළ ඉන්දියාව ඉතා ප්‍රබල භූමිකාවක් ඉටුකරන්නේ ඇමෙරිකාවේ එකඟතාව අනුව බව ඉතා පැහැදිලිය. ඩොලර් බිලියන 1ක ණය සමඟ ගැටගසා ශ්‍රී ලංකාව සමග අත්සන් කිරීමට යෙදුනු ආරක්ෂක ගිවිසුම් ත්‍රිත්වයට සමාන්තර ගිවිසුම් ත්‍රිත්වයක් ඇමෙරිකාව සහ ඉන්දියාව අතර අත්සන් කර ඇත. ඒ අනුව ඇක්සා, සෝෆා සහ එම්.සී.සී. ගිවිසුම්වලට අමතරව මෙම ඉන්දියානු ගිවිසුම් ත්‍රිත්වය ඉන්දු පැසිෆික් න්‍යාය පත්‍රයේ පොදු උවමනාවක් බව ඉතා පැහැදිලිය. මෙම ක්‍රියාවලිය තුළ සෝෆා ගිවිසුම බලාත්මක කිරීම සඳහා බී” ඇමුණුම පිළිගන්නා බවට ලිපිය නිකුත් කිරීම සහ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා ප්‍රබල බලපෑමක් එල්ලවන බවට සැකයක් නැත. සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ සංචාරයේ අවසන් අරමුණ එය බවට අපට නම් සැකයක් නැත. ඒ සඳහා පෙළඹවීම මුල්කරගෙන ඩොලර් මිලියන 480ක එම්.සී.සී. ප්‍රදානයට අමතරව තවත් ඊනියා සහනදායක ණයක් ලබාදීමට ඉඩ ඇත.

හතරවන පෙරමුණ ලෙස සැලකිය හැක්කේ ගෝලීය ඉස්ලාම් අන්තවාදයයි. එක් පැත්තකින් තෙල් සහ ගෑස් ණයට ලබාදීමේ කොන්දේසිය මත ඉස්ලාම් අන්තවාදයට එරෙහිව පියවර ගැනීම වැළැක්වීමට බලවත් අන්තවාදී රටවල් උත්සාහ කරන බව පෙනේ. අනෙක් පැත්තෙන් දේශීයව අන්තවාදී බලවේගවලට උඩගෙඩි දෙන දේශපාලන බලවේගවලට රාජ්‍යයේ බලය තුළ නියෝජනය වීමට අවස්ථාවක් නිර්මාණය වේ. ආර්ථික අර්බුදය මුල්කරගෙන නිර්මාණය වන දේශපාලන අර්බුදය තුළ ආණ්ඩුව රැකීම සඳහා ඉදිරිපත්වීමේ මුවාවෙන් තම බලය තහවුරු කර ගැනීමට ඉස්ලාම් අන්තවාදී බලවේගවලට සහ බෙදුම්වාදී බලවේගවලට අවස්ථාව නිර්මාණය වී ඇත. ඔබතුමා විසින් ඉස්ලාම් අන්තවාදය මව්බිමෙන් අතුගා දැමීම සඳහා 2021-02-18 දින ඉදිරිපත් කළ යෝජනා 57ක් ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රකාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ අන්තවාදයට යටත්වන සහ ඔවුන්ගේ සහාය පතන පිරිස්වල බලපෑම නිසා බවට සැකයක් මතුවේ.

බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන දෙස් විදෙස් බලවේග පස්වන පෙරමුණ ලෙස හඳුනාගත හැක. මෑතකාලීනව ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට ඔබතුමා විසින් එකඟතාව පළ කිරීම සහ ඔවුන්ගේ මූලික කොන්දේසි කිහිපයක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, ත්‍රස්තවාදී සැකකරුවන් නිදහස් කිරීම සහ ආරක්ෂක හේතු මත නිදහස් කිරීමට පමා වූ ඉඩම් නිදහස් කිරීම, පලාලි ගුවන් කඳවුර සිවිල් ගුවන්තොටුපළක් බවට පත්කිරීම ආදිය ඉටුවීම තුළ ඔවුන් ඔබතුමාට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන බවක් පෙන්වා ඇත. එහෙත් ඒම සාකච්ඡාවලින් පසුව එළියට පැමිණ අදහස් දැක්වූ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තුළින් ඔවුන්ගේ සද්භාවය අභියෝගයට ලක්වේ. එහිදී ඔහු සඳහන් කරනු ලැබුවේ දෙමළ ඩයස්පෝරාවේ ඩොලර් අරමුදල් රට තුළට ගෙන ඒමට නම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව සහ තහනම් කර ඇති ඩයස්පෝරා සංවිධානවල තහනම ඉවත් කළ යුතු බවය.

ඒ අනුව ටී.එන්.ඒ. පක්ෂය සහ දෙමළ ඩයස්පෝරාව විසින් ඩොලර් අර්බුදය යොදාගනිමින් බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට තල්ලු කිරීමට උත්සාහ කරන බව ඉතා පැහැදිළිව දැකගත හැක. ඊට අමතරව මානව හිමිකම් කවුන්සිලය හරහා සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත 50/1 යෝජනාව බරපතළ විය හැකි බවට සහ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණයට අදාළ වාර්තාව නිකුත් කළ පසුව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ අනතුර පෙන්වා දෙමින් දෙමළ ඩයස්පෝරාව විසින් ආණ්ඩුව බියට පත්කිරීමට උත්සාහ කරන බව ඉතා පැහැදිළිය. ඩොලර් අර්බුදය උත්සන්න වීමට පෙර තමා දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ඔබතුමා විසින් ප්‍රකාශ කරනු ලැබුවේ එම බියට පත්කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් නිසා බවට සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

ඒ අනුව ආණ්ඩුවේ නායකයා ලෙස ඔබ පමණක් නොව රටේ වගකිව යුතු පුරවැසියන් සහ සංවිධාන ලෙස අප සැම හමුවේ පවතින අභියෝගයේ තරම ඉතා බරපතළ බව පෙන්වාදීම අපගේ යුතුකමකි. මෙම අර්බුදය පියමං කිරීම ඉතා දුෂ්කර ව්‍යායාමයක් බවට සැකයක් නැත. එහෙත් අප ජාතියක් ලෙස මීට වඩා දුෂ්කර තත්වයන්ට මුහුණ දී ඒවා පියමං කර ඇත. මෙම නරකම තත්වය තුළ ඔබතුමා විසින් තත්වය තවදුරටත් නරක අතට හැරෙන උගුල්වලට පය තැබීම නොකළ යුතු බව අපගේ හැඟීමයි. එසේ නොකළ යුතු දේ අතුරින් පළමුවැන්න දෙමළ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ. පක්ෂය විසින් ඇටවූ උගුලට පය නොතැබීමයි. ඔවුන්ගේ මූලික අපේක්ෂාව කෙසේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුව පෙළඹවීම බව සහ ඉන්පසුව මහ ඇමතිවරයාගේ කැමැත්ත අනුව ආණ්ඩුකාරවරයා පත් කිරීම බව ඉතා පැහැදිළිය. ඉන් පසුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා කූඨ ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුව තල්ලු කිරීම ඔවුන්ගේ දෙවන අපේක්ෂාව බවට ද සැකයක් නැත. ඒ සඳහා ඉන්දියානු රජය ද තුන්වන පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකාවේ රජයට බලකරන ආකාරය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී දැකගත හැකි විය.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුව ඔවුන් ඩයස්පෝරාවේ කළු සහ සුදු ඩොලර් සංචිත ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කීරීමට අදහස් කරන්නේ පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය සම්මත කිරීමෙන් පසුවය. ඒ සමඟම ඉඩම් සහ පොලිස් ප්‍රඥප්තිය ද සම්මත කෙරෙන බවට සැකයක් නැත. එම ක්‍රියාවලිය තුළ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර තලයේදී එල්ලවන යුද අපරාධ චෝදනාවලට නිසි පිළිතුරු බැඳීමට ආණ්ඩුවට යම් මානසික බාධකයක් තිබෙන බවක් දක්නට ඇත. සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සමග පැවැත්වූ සාකච්ඡාවලදී ඇමෙරිකානු නිලධාරීන් විසින් රජයේ හමුදාපතිවරයාට එරෙහිව පදනම් විරහිතව එල්ල කරනු ලබන චෝදනා සහ ඔහුට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබදව අඩු තරමින් ආණ්ඩුවේ මතය ප්‍රකාශ නොකිරීම තුළින් ඒබ ව ප්‍රකට වේ. ඒ අනුව ඔබතුමා දෙමළ ඩයස්පෝරාව විසින් අටවන උගුලට පය තැබුවහොත් එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ යුද ජයග්‍රහණයේ ගෞරවය ඔබතුමාගෙන් උදුරාගැනීමෙන් පසුව බවට සැකයක් නැත. එම නිසා එළඹ සිටින සිහියෙන් යුතුව වර්තමාන අභියෝගයට මුහුණදීමට ඔබතුමාට ධෛර්ය ලැබේවායි අවංකවම ප්‍රර්ථනා කරමි.

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress