ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම –  (2 කොටස)
Posted on April 22nd, 2022

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

ජේ.ආර් මරමු!

ජේ. ආර් විසින් ඔහු අතගැසූ හැම දෙයකින්ම රට ජාතියට ගෙනාවේ විනාශයය. එහෙත් ඔහු විසින් කල එක ක්‍රියාවකින් රට දෙකඩවී යාම වැළකුණේය. එය නම් මහල්ලෙක්වූ ඔහු  රජීව් ගාන්ධි නම් කොළුගැටයා ඉදිරියේ දණ ගැසීමය. එසේ නොකරන්නට රජිව් හා ඩික්ෂිට් උතුර හා නැඟෙනහිර අල්ලාගෙන එය ප්‍රභාකරන්ට පූජා කරන්නේය. ප්‍රේමදාස හා චන්ද්‍රිකාද ප්‍රභාකරන්ට උතුර බද්දට දීමට කල යෝජනාව රටේ වාසනාවට ප්‍රභාකරන් විසින් ප්‍රතික්ෂේප කලේය. 2002 CFA, P-tom, ISGA, 1995-2000 නීලන්-ජීඑල්-ජයම්පති රට කැබලි කිරීමේ ව්‍යවස්ථා පැකේජ් ඩීල් යනාදී රනිල්ගේ හා චන්ද්‍රිකාගේ පාවාදීමේ ව්‍යායාම දෙස බලනවිට රජිව්ව රැවටීමට ජේ. ආර්  සමත්විය.  මුස්ලිම් සම්භවයක් ඇති ජේ.ආර් ඔහු කල සියළු පව් මෙසේ දණ ගැසීමෙන් සේදී ගිය බව නොදත් ජේවීපී පිරිස් ජේ.ආර් මරමු කියා පාරේ බෝක්කු වල පවා ලිව්වේය. සිංහලයාට එක රටක් ඉතිරිකර දීම එදාටත් අදටත් රටේ ප්‍රධානියාට ඇති පරම යුතුකමය. දැන් ගොඨාභය ජනාධිපති මුහුණ දී සිටින්නේද මේ අභියෝගයටය. ගෝටා ගෝ හෝම් කියන අය දැන හෝ නොදැන රට කැබලිකිරීමේ ව්‍යාපාරයට කරගසන්නන්ය.

ඥාති සංග්‍රහය

1962 කියුබන්-රුසියන් මිසයිල් අර්බුදයේදී තම කැබිනට් මණ්ඩලයේ හැම දෙනාම යුද්ධයකට යාමට යෝජනාකරද්දී ජනාධිපති ජෝන් කෙනඩිගේ සහෝදරයාවූ නීතිපති රොබට් එයට එකහෙලාම විරුද්ධව පෙනී සිටීමෙන් තුන්වන ලෝක යුද්ධයක් වැළකුණි. තම පියාගේ බලවත් ඉල්ලීම උඩ අකමැත්තෙන් වුවත් ජෝන් කෙනඩි එම තනතුරට සිය බාල සහෝදරයා පත්කිරීම <ඥාති සංග්‍රහයක්> විය. රටේ ප්‍රථම කතෝලික ජනාධිපතිවූ ඔහු එම තනතුර ස්වාධීන කර තැබීමේ සම්ප්‍රදාය හොඳින්ම දැන සිටියේය. මේ අන්දමටම මහින්ද රාජපක්ෂ, ගෝඨභයට ආරක්ෂක ලේකම් තනතුර දුන්නේය. හසළක වීරයා වැනි සිය දහස් ගණනක්  රණවිරුවෝ රට බේරා ගැනීමට කල දුෂ්කර සටන වනැස යූටියුබ් මඟින් රටට පෙන්වා දුන්නේය. එහෙත් ගොඨාභය නොසිටින්නට තිස් අවුරුදු යුද්ධය නිමාකිරීමක් සිදු නොවන්නට ඉඩ තිබුණේ මහින්ද පවා යුද්ධයකට බයේ සිටි නිසාය. ඔහුව ඒ සඳහා බලෙන් පටලවා ගත්තේ ජාතික හෙළ උරුමය  හා රටේ හාමුදුරුවරුනුත්ය.

මහා මංගල සූත්‍රයේ ඥාති සංග්‍රය ගැන සඳහන්වේ. එහෙත් අනිත් සෑම සංසිද්ධියක් මෙන් මෙයද  මධ්‍යම ප්‍රතිපදාව (රීසනබල්නස්) නමැති රීතියට, ධර්මතාවයට යටත්ය. අයිස්ක්‍රීම් කෑමේ වුවද සීමාව ඉක්මවා ගියොත් අනිසි විපාක හටගනී. නැපෝලියන් බොනපාට් කිසිවෙකුගේ උදව්වක් නැතිව ස්වෝත්සාහයෙන් ඉහළට ආ කෙනෙක් විය. එහෙත් ඔහු අධිරාජයාවූ විට ඔහුගේ නංගිලාගේ ස්වාමිපුරුෂයින්ට අල්ලාගත් රටවල් භාරදුන්නේ ඔවුන්ගේ සුදුසු නුසුදුසු කම නොසළකාය! ඥාතියෙකු පත්කිරීමෙන් ලැබෙන වාසියට වඩා අවාසිය රාජ්‍යපාලනයේදී සැලකිය යුතුමය.

බහුභූත ව්‍යවස්ථාව

නිකම්ම විශ්‍රාම යාමට සිටි සරත් ෆොන්සේකාව යුද්ධයට හවුල් කර ගත්තේ ගෝඨාභය විසින්ය. සරත් කලේ ලලිත් ඇතුලත්මුදලිගේ ප්ලෑන ක්‍රියාවට නැංවීමය. ඉවසීමක් නැතිකම හා රොබට් බ්ලේක්ගේ ලණුවක් කෑමෙන් සරත් රටට කල අද්විතීය සේවය කිලිටිකර ගත්තේය. ඊට පෙර ඔහු බුද්ධගයාවට ගියවිට එහි සිටි සිංහල වන්දනාකරුවන් ඔහුට වැන්දේය. මෙවැනි භක්ති ප්‍රණාමයක්, ගරු, අතිගරු යයි නමට කලින් කියවාගන්නා දේශපාලකයින්ට සිංහල ජනතාවගෙන් ලැබුණේ නැත. මේ නිසා ජේ.ආර්ට මෙන්ම තම පව් සෝදාගැනීමේ අවස්ථාවක් සරත්ට දැන් ලැබී තිබේ. ඔහු විසින් කලයුතු  රට කැබලි කිරීමට ක්‍රියාකරණ දේශපාලකයින්ගෙන් ගැලවී, පලිගැනීමේ මනසින් මිදී ගෝඨාභය සමඟ සිස්ටම් චේන්ජ් එකක් සඳහා එකතුවීමය. සරත් වීරසේකර සමඟ රට වෙනුවෙන් මිත්‍රවීමය.

මෙවැනි සිස්ටම් චේන්ජ් එකක් සඳහා සිදුවිය යුතු ප්‍රථම කරුණ නම් මහින්ද අගමැති ඉන් ඉවත්වී උපදේශකයෙක් වශයෙන් ක්‍රියාකිරීමය. මහින්දට, ගෝඨාභය විසින් පෙරලා දිය හැකි ලොකුම ඥාති සංග්‍රහය නම් ඔහුව විශ්‍රාම යාමට කැමතිකරවා ගැනීමය.  එය ජේ.ආර් රජිව් ඉදිරියේ දණ ගැසුවා මෙන් රටේ යහපත උදෙසා ගන්නා තීරණයකි. එය අෂ්ට ලෝක ධර්මය පිළිගැනීමකි. නාසි උවදුර ගැන කාලයක් තිස්සේ කතාකල වින්ස්ටන් චර්චිල්ට අගමැතිකම ලැබුණේ මහළු වියේදීය. ඔහු රටත් යුරෝපයත් බේරාගත්තත් ඊළඟ මැතිවරණයෙන් පරාජය විය. එහෙත් පසුව නැවතත් ඔහු අගමැති විය!

මෙම මූලික පියවර නොගෙන පොහොට්ටු පාලනයට විරුද්ධව නැඟෙන සාධාරණ විරෝධයට හා එය දඩමීමා කරගෙන යටින් ක්‍රියාත්මකවන දේශීය හා විදේශීය හතුරන්ට හා කඩාකප්පල් කාරීන්ට සාර්ථක ලෙස මුහුණ දීමට නොහැකි වන්නේය.

චන්ද්‍රිකා විසින් ජේ. ආර්ගේ 1978 ව්‍යවස්ථාව බහුභූතයක් යයි කිව්වත්, එහි නියම අර්ථයක් දැන සිටියේ නැත. හයෙන් පහක මන්ත්‍රී බලයක් තිබියදීත් ජේ. ආර් මන්ත්‍රීලාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියකට අත්සන් ගත්තේ, ජේ. ආර්ගේ ඒකාධිපති තනතුර පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීකෙනෙකුගේ චන්දයෙන් දණගැස්විය හැකිබව ඔහුට පෙනීගිය විටය. අද ඇති 113 නොම්මරයේ රහස එයය. චෙල්වනායගම්ගේ බෑණාවූ  විල්සන් ජේ ආර්ගේ ව්‍යවස්ථාව හදන්නට උපදෙස් දුන්නත් නැතත් ඔහු එය වර්ණනා කලේය. එහෙත් එය රටට හානිකරවූයේ ජනාධිපති මන්ත්‍රී හිඟමනේ යායුතු කෙනෙක් බවට පත්වීම නිසාය. මෙවැනි අකරතැබ්බයක් කලින්ම හෝ ප්‍රමාදව සිදුවන බව ජේ ආර්ගේ විශ්වාසය දිනාගත් ඔහු දැන සිටියේ නැද්ද?  පගාවදී හෝ මන්ත්‍රීන් එකතුකර ගැනීම ඉන් ආරම්භවිය. ප්‍රේමදාස විසින් අවශ්‍ය මනාප සංඛ්‍යාව සියේට 12 සිට සියේට පහට අඩුකිරීම නිසා සිදුවූයේ පාර්ලිමේන්තුවේ සුළු ජනවර්ග වලට අසාධාරණ බලයක් ලැබීමය. යහපාලන කාලයේදී  රිෂාඩ්ට ආයතන 50 ක් පමණ සහිත අමාත්‍යාංශයක් සදාදීමට සිදුවූයේ ඒ නිසාය.

ගෝල්පේස් මහජන විස්ව විද්දාලය

සිරස පැතිකඩේ ඩයස් විසින් ජයදේව උයන්ගොඩ ගෝල්පේස් ඒම ප්‍රචාරය කිරීම සිස්ටම් චෙන්ජ් කතාව ඇත්ත්වශයෙන්ම රෙජීම් චෙන්ජ් ප්ලෑනක්  නොවේද යන්න නැවතත් මතුකරයි. උයන්ගොඩ ගෝල්පේස් ආවේ උගන්වන්නට නොව <ගෝල්පේස් මහජන විස්ව විද්දාල යෙන්> ඉගෙන ගන්නට යයි කියයි. මන්ත්‍රීලා ඊළඟ චන්දයට කලින් පෙත්සම් මඟින් ඉවත් කිරීම බොහෝ රටවල සිදුවන සාමාන්‍ය දෙයකි. මෙය ගෝල්පේස් තරුණයින් විසින් සොයාගත් වික්‍රමයක්සේ උයන්ගොඩ හුවා දක්වයි. 1971 දී මෙන් දැන් 2022 දීද මේ උයන්ගොඩ රටේ සිංහල බෞද්ධ උරුමයට හතුරුකම් කරණ මාක්ස්වාදියෙක්මය. යහපාලනකාලයේදී රනිල් ඔහුව ඔවුන්ගේ බොරු ව්‍යවස්ථාදායක සභාවටද පත්කරන්නට සැදුවේය. ඔහු 1995-2000 චන්ද්‍රිකාගේ රට කැඩීමේ ව්‍යවස්ථා වලට නීලන් තිරුචෙල්වම් හා දැන් රටින් පැනගොස් සිටින ඔරුමිත්තනාඩු ජරමරය සැදූ ජයම්පති වික්‍රමරත්න නමැති මාක්ස්වාදියා සමඟ ක්‍රියාකලේය.

අරගලය සමඟ නිදාගැනීම

වික්ටර් අයිවන්ට තිබුණු ප්‍රශ්ණය නම් අරගලයට නායකයෙක් නැතිකමය. සේපාල් අමරසිංහ ජේවීපීකාරයින්ට උපදෙස් දෙන්නේ ගෝල්පේස් අරගලයට  එකතුවන ලෙසය. කන්‍යා භාවයත් රැකගෙන දරුවෙකුට උපතක් දිය නොහැකියයි ඔහු කියයි. වැට උඩ ඉඳගෙන ලබාගත් ජයග්‍රහණ නැතයි ඔහු කියයි. උයන්ගොඩගේ ගෝල්පේස් ආගමනය මොවුන්ට ප්‍රශ්ණයක් වන්නේ නායකයෙක් අවශ්‍යම නැතැයි ඔහු දේශනා කරණ නිසාය. ඒ අතරේ සන්නස්ගල තරුණ-තරුණියන් හතර දෙනෙක් ඔහුගේ ගෙදරට ගෙන්වා ගෙන සංඝ සංස්ථාවට පහර දෙන්නේ හිරේ යාමට පෙර රන්ජන් රාමනායක හසුරුණු ආකාරය සිහිපත් කරවමින්ය. නායකයෙක් නැතිකමත්, නායකයින් බහුලවීමත් යන දෙකම අයෝග්‍ය බව බුදු දහමේ කියැවේ. දැන් තිබෙන්නේ වික්ටර් අයිවන්, සේපාල්, නාගානන්ද, සුදත්ත, සන්නස්ගල, උයන්ගොඩ යන අය නායාචාරීන් ලෙස හොට දැමීමේ කණගාටුදායක ප්‍රවනතාවයකි. සිදුවිය යුත්තේ මෙය නොවේ. බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව, බෞද්ධ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමණය කිරීමය.

අවංක තරුණ පිරිස් දැනුවත් කිරීමේ හා බලවත් කිරීමේ වගකීම

ගෝල්පේස් තරුණ පිරිසේ අරගලය ඔවුන් දැන හෝ නොදැන රට කැඩීමේ හෝ රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කිරීමේ  ව්‍යාපාරය සඳහා යොදවා ගැනීමට ඉඩ නොදිය හැකි වන්නේ ඔවුන්ට ඇති දැණුම, දැක්ම හා ජීවිත අත්දැකීම් සම්භාරයේ ප්‍රමාණය හා ගුණාත්මකභාවය මතය (quantity and quality of the information available). ඔවුන් විසින් ඇසිය යුතු ප්‍රශ්ණ රාශියකි.

  1. ආණ්ඩුව විසින් සාකච්චාවට එන්නැයි ආරාධනා කලවිට එයට සහභාගී නොවීමට ඇති සාධාරණ හේතු මොනවාද? එසේ යාමෙන් අරගලයට සිදුවිය හැකි හානිය කුමක්ද? අරගලකරුවන් තමන්ද එක්තරා අන්දමේ වෘත්තීය සමිතියක් යයි සිතනවාද?
  2. සිස්ටම් චේන්ජ් සම්බන්ධයෙන් හා රටේ නොයෙක් ප්‍රශ්ණ සඳහා විසඳුම් ඉදිරිපත්කර ඇති පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති වියතුන් සමඟ සාකච්චාකර උපදෙස් ලබා නොගන්නේ මන්ද? උදාහරණයක් වශයෙන් දෙරණ අළුත් පාර්ලිමේන්තු වැඩ සටහනේ අලුත් මාවත යනුවෙන් අප්‍රේල් 20 දා සහභාගීවූ වියතුන් හතර දෙනා හමුවීමට තරුණයින් කණ්ඩායමක් නොයන්නේ ඇයි?
  3. ඉහත අංක 2 හා  අනුව යමින්ම සිතන විට, රටේ නමගිය සිංහල බෞද්ධ විරෝධීන්, මාක්ස්වාදීන් මිස වෙනත් ස්වාධීන මතධාරීන් ගෝල්පේස් එන්නේ නැත්තේ ඇයිදැයි ඔබලා සිතා බලනවාද? ඔවුන්ට ආරාධනා කිරීම ඔබලාගේ යුතුකම බව නොතේරෙන තරමට ඔබලා ලාමකද?
  4. සිස්ටම් චේන්ජ් එක ගොඨාභය ජනාධිපති හරහාම කරගත නොහැකියයි ඔබලා සිතන්නේ කුමක් නිසාද? අරාබි රටවල් හා ලංකාවේ බෞද්ධ සමාජ ක්‍රමය අතර වෙනසක් ඇති බව ඔබලා නොදන්නේ ඔබලා අතර සිටින්නේ ඉරිදා දහම් පාසැලකට නොගිය, රටේ ඉතිහාසය හා භූගෝල ව්ද්‍යාව නොදන්නා පිරිසක්වීම නිසාද?
  5. කැත්තට පොල්ල වගේ නොසිට කල නොහැකි අසාධාරණ කොන්දේසි වෙනුවට වැඩේ කෙරෙන විධියක් සෙවීම ප්‍රජාතන්ත්‍රවාදය නොවේද? උදාහරණයක් වශයෙන් ඔබලා ඉල්ලා සිටිය යුතු අගමැති ඉවත්විය යුතුය යන්න මිස ගොටා ගෝ හෝම් නොවිය යුතුය. සිස්ටම් චෙන්ජ් එකේ ආරම්භයේ මුල් පියවර එයය.
  6. ගෝටා ගෝ හෝම්  කීම හරිගියොත් ඉන්පසු ඔබලා රටට කරණ දේ ගැන ඔබලාගේ සැළැස්ම කුමක්ද? එසේ නැත්නම් ඔබලාත් 1971 හා 1988/89 පිරිසත් අතර වෙනසක් මට නොපෙනේ. එම ක්‍රමෝපාය රටට ඉදිරිපත් කිරීම දැන් ගෝල්පේස්වල කෙරීගෙන යන සංදර්ශන වලට වඩා වැදගත් නොවේයයි ඔබලාට සිතෙන්නේ නැද්ද?
  7. පක්ෂ දේශපාලකයින් විසින් 1948 සිට කොල, නිල්, රතු යනාදී වශයෙන් රට වැසියා ගම් මට්ටමේ සිටම බෙදා පාලනය කලේ සුද්දන් 1948 ට කලින් කලාටත් වඩා කැත ලෙසටය. මිනිසුන් දේශපාලකයින්ගේ හිඟන්නන් බවට පත් කලේය. ජනාධිපති කාර්යාලයේ සිට ග්‍රාම සේවා නිලධාරී  දක්වාම පැතිරීගිය දුෂ්ඨ ත්‍රිකෝණ වලින් රට විනාශවී ගියේය. ඩී.එස්ගේ සිට මහින්ද දක්වා නායකයෝ වංක, රටට වඩා තම ආත්මලාභය ගැන සිතූ අය විය. මෙවැනි කාරණා ඔබලා දැනගතයුතු වන්නේ එවිට ඔබලා ගෝටා ගෝ හෝම් යන්නේ තේරුමක් නැතිබව වටහා ගන්නා බව නිසැක නිසාය.
  8. බුදු දහම ආශ්‍රයෙන් ඔය සිස්ටම් චෙන්ජ් එක කරගත හැකි බව ඔබලා දන්නවාද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress