රට අරාජික වීමට කිසිසේත් ඉඩ තබන්නෙ නැහැ – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
Posted on April 26th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රට අරාජික වීමට කිසිසේත්  ඉඩ නොතබන බවත් රටේ දේශපාලන ස්ථාවර භාවය පවත්වාගෙන යාම සඳහා ගන්නා  තීරණ සමඟ කටයුතු  කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අද (26) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ අගමැතිතුමා මේ බව කියා සිටියේය.

මහා නායක හිමිවරුන් නිකුත් කළ ලිපිය පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසින් මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරනු ලැබූහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය සිය අදහස් පළ කළහ.

අන්තර්වාර පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රධාන ආගමික නායකයින්ගේ සහ  සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට කටයුතු කරන ලෙස  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී මහා සංඝරත්නය හමුවේ ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දේශපාලන ස්ථාවර භාවය වැදගත්වන බවත්, ඒ හේතුවෙන් කිසිම මොහොතක රට අරාජික වීමට තමන් ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන්වහන්සේ, පූජ්‍ය රජවත්තේ වප්ප ස්වාමීන්වහන්සේ, පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress