ශ්‍රීපාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් – සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත් ඉඩම් නැවත ජනතාවට
Posted on November 15th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

ශ්‍රීපාද වන්දනා සමයට අවශ්‍ය යටිතල පහසුකම් පිළිබඳව රජය මැදිහත් වෙනවා

Ø මහනුවර රාජධානිය බිඳවැටීමෙන් පසු අපේ ජනතාව වගාකළ ඉඩම් බොහෝමයක් සුදු අධිරාජ්‍යවාදින් අල්ලගත්තා

Ø ඉඩම් නැවත ජනතාවට ලබාදී වගා සංග්‍රාමයට එක් කරනවා

–         අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් බැහැදැකීමට පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැල්මඩුල්ල රජමහා විහාරයට ගියේය. එළැඹෙන උදුවප් පොහොය දින සිට ඇරඹෙන ශ්‍රී පාද වන්දනා සමයට අදාලව පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එහිදී අනුශාසනා කළ ශ්‍රී පාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි…

“රාජ්‍ය අනුග්‍රහයන් අපට නොසළකා හරින්න බැහැ. ඒක අතීත රජ දවස සිට ආ සම්ප්‍රදායන්. උරුමයට හා සම්ප්‍රදායට ගරු කරන නායකයෙක් හැටියට ඔබතුමා මේ රටේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම රටට වගේම ශාසනයටත් මහා වටිනාකමක්. ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, ශ්‍රී පාදස්ථානය රටේ මුදුන් මල්කඩ වූ පූජනීය ස්ථාන ත්‍රිත්වය. එදා පටන් මේ දක්වා මෙම පුදබිම්වලට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. මේවා ගමන් කළේ රාජ්‍යත්වයේ සංකේත සමග. මේ හැමදෙයක්ම තුලනය කරගෙන ඔබතුමාට රටේ අභිවෘද්ධිය හා ශාසනයේ චිරස්තිය උදෙසා කටයුතු කරන්නට හැකි බව අපට විශ්වාසයි.”

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා…

“ඔබ වහන්සේ පෙන්වා දුන් ලෙස පුදබිම් ත්‍රිත්වයටම එදා සුදු අධිරාජ්‍යවාදීන් පවා අත තියන්න බය වුනා. ශාසනික වශයෙන්, ආර්ථික වශයෙන් වට්ටන්න බැලුවා. ඊට පස්සේ අපේ ස්වයංපෝෂිත කෘෂිකාර්මික අර්ථ ක්‍රමය වැට්ටුවා. මහනුවර රාජධානිය බිඳ වැටුනට පස්සේ සුදු අධිරාජ්‍යවාදීන් අපේ ජනතාවගේ ලංකාව පුරා ඉඩම් අත්පත් කර ගත්තා. ඒ ඉඩම් තමයි බොහොමයක් අද වතු සමාගම්වල හා රජයේ තියෙන්නේ. ඒ ඉඩම්වල වගා නොකරන ප්‍රමාණයන් තමයි අපි ජනතාවට වගා කරන්න දෙන්න කියන්නේ. ඒ ඔවුන්ගේ උරුමයන්. ඒ සඳහා වන ක්‍රියාදාමයට නිලධාරීන් අදිමදි කරනවා නම් එදා සුදු අධිරාජ්‍යවාදීන් ජනතාවට කරපු දේමයි අදත් වෙන්නේ.

මේ ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයාමට ඔබවහන්සේලාගේ ආශිර්වාදය නිතර අවශ්‍ය වෙනවා. පෝෂිත ජාතියක තිර පැවැත්ම ශාසනික ආශිර්වාදය හා අනුග්‍රහයයි. අප රට මුහුණ දී ඇති අර්බුදය හමුවේ මහ සඟරුවන ගේ ආශිර්වාදය අතිශයින් වැදගත් වෙනවා. මේ වගා සංග්‍රාමයට එක්ව වගා කළ හැකි සෑම බිම් අඟලක්ම වගා කරන්න දැන් ජනතාව පෙළබෙමින් ඉන්නවා. දායකකාරකාදීන් තුළින් මෙම වගා ව්‍යාපාරයට ඔබවහන්සේලාට විශාල ශක්තියක් එක්ක කරන්න පුළුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි මෙම අවස්ථාවට එක්විය.  

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය   

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress