ව්‍යවස්ථානුකූලව අනුමත කරන ලද විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවේ තාර්කිකත්වය කුමක් ද?
Posted on June 5th, 2026

පුවත්පත් නිවේදනය   ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා 

ව්‍යවස්ථානුකූලව අනුමත කරන ලද විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවේ තාර්කිකත්වය කුමක් ද?

විනිසුරුවන්ගේ පමණක් අනිවාර්ය විශ්‍රාම වයස දීර්ඝ නොවිය යුතුයි

ව්‍යවස්ථානුකූලව අනුමත කරන ලද විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවේ තාර්කිකත්වය කුමක්දැයි  ලෝයර්ස් සංවිධානය දැඩිව ප්‍රශ්න කරයි.  ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සහ අනෙකුත් විනිසුරුවරුන්ට පමණක්  විශ්‍රාම වයස ඉහළ නැංවීම කිසි ලෙසකින් හෝ යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයක් නොවේ. එබැවින් විනිසුරුවන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාව සාකච්ඡාවට බදුන් කිරීමකින් හෝ තොරව ප්‍රතිකේෂ කිරීමට රජය පියවර ගත යුතු බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය දැඩිව අවධාරණය කරයි.    

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තීරණය කරනු ලැබ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමේ උත්සාහය, ජාතික අවශ්‍යතාවයක් නොව දේශපාලන තීරණයක් බැවින් එය රාජ්‍ය සේවයේ අනෙකුත් සියළු වෘත්තිකයින්ට සිදු කරන අගතියක් හා අසාධාරණයකි. . 

අධිකරණ පද්ධතියෙන් දේශපාලනය වියුක්ත විය යුතු අතර, දේශපාලන අවශ්‍යතාව මත අධිකරණය පද්ධතිය පිළිබඳ කුමන හෝ තීන්දුවක් නොගත යුතුය. යම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමකට සුවිශේෂ වරප්‍රසාදයක් හිමිකරදීමට 1978 බිහිකරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කිරීම යහපත් සමාජ ව්‍යවහාරයක් නොවේ.  යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ‍ඉලක්ක කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම අතිශයින්ම ග්‍රාම්‍ය හා අශීලාචාර භාවිතයකි.  එය ශිෂ්ඨ හා සාධාරණ සමාජයට එකඟවිය නොහැකිය.

අද වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවන් 8 දෙනෙකුගේ පුරප්පාඩු පවතී.  සමස්ත අධිකරණ ක්ෂේත්‍රය තුළ විනිසුරුවරුන් ඇතුළු විවිධ නිලධාරීන්ගේ පුරප්පාඩු 2,647කි.  අධිකරණය කේෂ්ත්‍රයේ පවතින මානව සම්පත් හිඟය විධිමත් ලෙස පියවීම අද දවසේ ප්‍රමුඛ අවශ්‍යතාවයයි.         

 රටේ ජනතාවගේ පරමායුෂ  වෙනස්වීමත් සමඟ  රාජ්‍ය සේවයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද විශ්‍රාම වයස වෙනස් කිරීම සිදු විය යුත්තකි.  එය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් බැවින්, දත්ත හා සංඛ්‍යා ලේඛන මත පදනම් විය යුතු ජාතික ප්‍රතිපත්තියකි.  සමාජයේ සෑම ස්ථරයක්ම ආවරණය වන පරිදි සිදු කළ යුත්තකි.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රටේ නීති වෙනස් කරමින් තෝරාගත් පිරිසකට වාසි – අවාසි සිදු වන ලෙස වෙනස් කොට සැලකීමක් සිදු නොවිය යුතුය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න නීතිඥ අතුල ද සිල්වා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress