භාහිරය අසත්‍යයක් බොරැවක් වන කල රෑප කොයින්ද?
Posted on November 18th, 2022

තිස්ස ගුණතිලක 

භාහිරය (ලෝකය) සම්මතයට අයත්ය. එයට ගහකොල සතාසිව්පාවා මෙන්ම විශ්වය හා ස්වාභාවදහමද අයත්වේ. සුලඟ, ආලෝකය, උනුසුම, පීඩනය ආදි ස්වාභාවික සංසිද්ධීන් සියල්ලම සම්මතයේ ඇති භාහිර ලෝකයට අයත්ය. භාහිරය අසත්‍යයක් බොරැවක්බව සමහර දේශකයන් පවසනවිට මේ ස්වාභාව දහමේ සංසිද්ධීන් සියල්ලම අසත්‍යබව ඉන් කියවේ. මෙය සිදුවිය නොහැක්කකි.

රහතන්වහන්සේ පිරිනිවන් මඤ්චකයට එළැබෙන තෙක්ම ස්වාභාවදහමේ ක්‍රියාවලියට ලක්වන සම්මත ලෝකයේ වැඩවසයි. සම්මතය අසත්‍යයක්, බොරැවක්වන විට රහතන් වහන්සේට වැඩසිටීමට භූමියක් සොයාගත නොහැකිවනවා ඇත. තතාගතයන් වහන්සේ තමන්වහන්සේ හමුවට පැමිනි රාහුලයන් ඇතුළු සියළු දෙනාම හදුනාගෙන ඒ ඒ අයට ගැලපෙන සේ ධර්මය දේසනා කලබව කියැවේ.  තතාගතයන් වහන්සේද සම්මත භාහිර ලෝකය පරිහරනය කල බව මෙයින් ගම්‍ය වෙයි. එසේ පරිහරනයට භාහිර ලෝකයක් තිබිය යුතුය.

රෑප හැඩතල වලින් පමනක් සමන්විත, ‘ආස්වාදයක්’ නැති, දෙයක්/යමක් සේ නොදැනෙන, ආත්මීය නොවන, නාමයක් නැති, අපෙන් ස්වායත්ත භාහිර ලෝකයක් පවතී. ඒගැන සැක සංකාවක් ඇතිකරගත යුතු නැත.

භාහිරය ආස්වාදයක්, දෙයක්/යමක් සේ දැනෙන ‘ආත්මීය’ ස්වාභාවයක් වන්නේ එය සම්මුතියෙන් පනවාගත් (ප්‍ර‍ඥප්ති) නාමය එනම් අරෑපය (අරෑප ලෝකය) හා ගැටගැසුන විටයි. මෙය විඤ්ඤාණ පච්චයා නාම රෑප වන අවස්ථාවේ අරමුණ තුල සිදුවේ. රෑපය අරෑපය (නාම) හා එක්ව සාදන චිත්ත රෑපය (නාමරෑපය) සලායතනවල ස්පර්ශට (දැනීමට හා විදීමට) ලක්වී බැසගන්නා ස්වාභාවය නිසා (උපාදාන) දෙයක්/යමක් සේ දැනී (භව) එය දකින/දැනෙන ‘මමෙක්’ සිටිනා (ජාති) ආත්මීය ස්වාභාවය ඇතිකරයි. මෙම ක්‍රියාවලිය අරමුණ තුල මායාවක් සේ දැනෙන ‘සක්කාය දෘෂ්ඨි’ යයි. 

භාහිර ලෝකය තවදුරටත් විග්‍රහ කරන්නේනම් එය අවස්ථා දෙකක පවති: ආපෝ, තේජෝ, වායු, පඨවි (මහා භූත) අවස්ථාව (quantum state) හා මහා භූත ඝණීභවනය වී පංචේන්ද්‍රියන් හා මනේන්ද්‍රියට ගෝචර (ප්‍රසාදවීමට සුදුසු) අවස්ථාවත් (physical state) වශයෙනි. මෙම අවස්ථා දෙකම සම්මතයේ පවතී. මහා භූත අවස්ථාව ප්‍රසාද නොවන අතර එය භාහිරයේ ප්‍රාථමික ස්වාභාවයයි.

බුද්ධ දර්ශනයේ මූලික සිද්ධාන්තය නාම රෑප පරිච්ඡේදයයි. චතුරාර්ය සත්‍ය දැන දැක අවබොධ කරගැනීමෙන් (තිපරිවට්ටය) සිදුවන්නේ නාම හා රෑප වෙන්වෙන්ව දැකීමයි එනම් ස්ඛන්ධයේ සමුදය හා අත්ථගමය (උදය-වය) දැකීමයි. භාහිර ලෝකය අසත්‍යයක් බොරැවක් වන තැන රෑප හටගන්නේ කෙසේද? ප්‍රසාද වන්නේ කිනම් රෑපයක ප්‍රතිබිම්භයක්ද?

අසත්‍යයක් වන්නේ භාහිර ලෝකය නොව ‘ආත්මීය’ භාහිර ලෝකයයි. දේශකයන් පැහැදිලිවම පෙන්වාදියයුතු වන්නේ ‘ආත්මීය’ භාහිර ලෝකයක් නොපවතින බවයි.

මෙය ඔබගේ තර්කයටයි, විමසුමටයි.

මේ ලිපිය පසුගිය නොවැම්බර් මස 03 වනදා සහ 16 වනදා 2022 lankaweb අන්තර්ජාලයේ පලවූ ‘බුදුදහමේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය’ සහ ‘Q & A – බුදුදහමේ හමුවන භාහිර ලෝකය’ හා සම්බන්ධයි.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 නොවැම්බර් මස 18 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress