කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඊළඟ අරගලය නවත්වනවා! හදිසි නීතිය වුණත් දාන්න පසුබට වෙන්නෙ නෑ! – ජනපතිගෙන් මැති සබයේ සැර කතාවක් (වීඩියෝ)
Posted on November 23rd, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ 21 වැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවේ තමන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අරගලය ක්‍රියාත්මක වූ ආකාරය සහ එහි යටි අරමුණු පිළිබඳව සිය මතය ගෙනහැර දැක් වූ ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ ප්‍රගතිශීලී ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ආ තමන් දැන් හිට්ලර් කෙනෙකු ලෙසින් සලකන බවයි.

අරගලකරුවන් පළමුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අවහිර කරමින් ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත් බවත්, පසුව ජනාධිපති මැදුර, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආදිය අත්පත් කරගෙන පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා සැලසුම් කළ බවත් ඔහු මෙහිදී හෙළි කලා.

යම් හෙයකින් අරගලකරුවන් මැයි මාසයේ 09 වැනි දින පාර්ලිමේන්තුව අත්පත් කර ගත්තේ නම් ඔවුන්ගේ ඊළඟ සැලැස්ම වී තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණය අත්පත් කර ගැනීම බවත් සඳහන් කළ ජනාධිපති වික්‍රමසිංහ කියා සිටියේ මෙම සියලු ක්‍රියාදාමයන් පසුපස පෙරටුගාමී පක්ෂය සහ එහි නායක කුමාර් ගුණරත්නම් සිටි බවයි.

එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ද තමන්ව දැඩි ලෙස විවේචනය කළ බවත් විශේෂයෙන්ම අල් ජසීරා මාධ්‍ය ජාලය තමා ඒකාධිපතියෙකු ලෙස හඳුන්වා දුන් බවත් පැවසූ ජනාධිපති වරයා කියා සිටියේ තමන් කටාර් රාජ්‍යයේ පාලකයා මෙන් ‍ප්‍රජාතන්ත්‍රවාදී විය යුතු බවට එම නාලිකාව සිතනා බවයි.

නමුත් තමන්ට එසේ කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට එන්න එපා කියන ඇතැම් විරෝධතාකරුවන් අරගලයකින් බලය අත්පත් කරගෙන එය ලබාදීමට යන්නෙත් ද්විත්ව පුරවැසියකුට බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බලාත්මක වූ ද්විත්ව පුරවැසි නීතිය බැසිල් රාජපක්ෂ ට ක්‍රියාත්මක වන්නේ නම් එය එලෙසින්ම පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් හට ද ක්‍රියාත්මක විය යුතු බවයි.

පාරට බැස තමන් ඒකාධිපතියකු බව පැවසුවාට කම් නැති බවත්, එම විරෝධතා සඳහා නිසි අවසර පත්‍ර ලබා ගෙන සාමාන්‍ය මහජනතාවට බාධා නොවන පරිදි, රථවාහන තදබද ඇති නොවන පරිදි, සිදු කළ යුතු බවත් ඔහු කියා සිටියා.

නමුත් තවත් අරගලයක් සිදු කිරීමේ මුවාවෙන් බලපත්‍ර නොමැතිව, නීතිය අතට ගෙන විරෝධතා ව්‍යාපාරයන් හි නිරත වන්නේ නම් එය නැවැත්විය යුතු බව ඔහු කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් පොලිසියට ද උපදෙස් දී ඇති බව පැවසූ ජනාධිපති වරයා වැඩිදුරටත් සඳහන් කළේ විවිධ නීතිඥයින් මහේස්ත්‍රාත් අධිකරණවල පෙනී සිටිමින් කුමන කරුණු කාරණා තර්ක ඉදිරිපත් කළ ද තවත් අරගලයක් සිදු කිරීමට උත්සහ දරන්නේ නම් හමුදාව යොදවා හෝ තමන් එය පාලනය කරන බවයි.

ඒ සඳහා නැවතත් හදිසි නීතිය වුවද බලාත්මක කිරීමට තමන් පසුබට නොවන බවයි පාර්ලිමේන්තුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ.

නැවත එවැනි තත්ත්වයකට කිසිසේත් ඉඩ ප්‍රස්ථාවක් ලබා නොදෙන බවත් “ඩීන් ඩියොම්”ලට තවදුරටත් මේ රටේ ඉඩක් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

අරගලය සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය වාර්තා පළ කළ එමෙන්ම ගිනි තැබීම් වලට උඩගෙඩි දුන් මාධ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් සභාවක් පත් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ද එවැනි ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වූ බවත් තමන් පවා එම කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට ද කොමිසමක් පත් කළ යුතු බවයි “අරගලයට ඉඩ දෙන්නේ නෑ – මං වාගේ ඒකාධිපතියෙක් වෙන කොහේවත් නෑ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress