ඊළඟ බිල්ල රනිල් ද?
Posted on November 29th, 2022

උපුටා ගැන්ම  අරුණ පුවත්

පොතේ හැටියට ජනපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ සය මසකට වරකි. එනමුත් ජනපති රනිල් වික්‍රමසිංහ ගිය සතියේ දින තුනක් පාර්ලිමේන්තුවට ආවේය. මේ දිනවල පැවැත්වෙන අයවැය විවාදයට ඉතා සක්‍රියව එක්ව සිටින ජනපති රනිල් වික්‍රමසිංහ රටේ ආන්දෝලනයට ලක්වන කතා කිහිපයක් කළේය. පළමු දිනයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට අදහස් දක්වමින් සිටියේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායකය. ඔහු ජනාධිපතිවරයා විවේචනය කරමින් සිටි අයුරු රූපවාහිනියෙන් දුටු ජනාධිපතිවරයා සභා ගැබට පැමිණියේය. මන්ත්‍රිවරයා කතාව ඉවර කළේ බුදු දහමේ සමානාත්මතාව ගැන කියමිනි. එම ප්‍රශ්නවලට ජනාධිපතිවරයාද පිළිතුරු දුන්නේ බුදු දහමෙනි. බුද්ධ දර්ශනයේ මූලික හරය චතුරාර්ය සත්‍ය බව ඔහු කී‍වේය.

ජනපති බණ කියයි

සිය කතාව නිම කර පිටතට පැමිණි ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රිවරු චතුරාර්ය සත්‍ය ගැන විමසූහ. සමානාත්මතාවය ගැන බුදු දහමේ කියවෙන්නේ සතර සංග්‍රහ වස්තූන්වලදීය. හැබැයි දුක, දුකට ​හේතුව, දුක නැති කර ගැනීමේ මාර්ග ගැන ජනාධිපතිවරයා දේශනා කළේය.

පොහොට්ටුවෙන් විසිල්

ජනාධිපතිවරයා දෙවන දින පාර්ලිමේන්තුවට පැමිණියේ ජනාධිපති කාර්යාල වැය ශීර්ෂය ගැන කතා කරන්නටය. අරගලය ගැනත්, ප්‍රචණ්ඩත්වය ගැනත් කතා කළ ජනාධිපතිවරයා රටේ ඒකාධිපති පාලනයක් ක්‍රියාත්මක නොවන බවද කීවේය. ඒ වියට්නාමයේ ඩීන් ඩියෑම් ගැනද සිහිපත් කරමිනි. එදින පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා කළ කතාව ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු ප්‍රසාදය පළ කළ ද විපක්ෂය විවේචනය කළහ. ජනාධිපති නිල කාමරයේ ජනාධිපතිවරයා රැඳී සිටින විට මන්ත්‍රිවරු විමසා සිටියේ ඩීන් ඩියෑම් ගැනය. ඔහු පිළිබඳ තොරතුරු මන්ත්‍රිවරු නොදන්නා බව ජනාධිපතිවරයාට පැහැදිලි වූයේය. ‘‘දකුණු වියට්නාමයේ එදා හිටපු රජතුමා අයින් කරලා බලය ගන්න ඇමරිකා ප්‍රංශ හමුදාවල සහායත් අරගෙන බලයට ආපු කෙනෙක් තමයි ඩීන් ඩියෑම් කියන්නේ. 1950 තමයි එයා බලයට ආවේ. හැබැයි එයා හිටපු කාදිනල් කෙනෙක් එක්ක එකතු වෙලා බෞද්​ධයෝ විශාල සංඛ්‍යාවක් ඝාතනය කළා’‘ ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තුන්වන දිනයේද මාධ්‍ය නාළිකාවක් පවා විවේචනයට ලක් කරමින් අදහස් දැක්වූයේය. ඊට හේතුව වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ ගෙනවිත් අදහස් පළ කිරීමේ වැඩසටහනක් පළ කිරීමය. තවද ආණ්ඩුවේ ඉදිරිය සම්බන්ධයෙන්ද ආරක්ෂක අංශ වාර්තාවක් ජනාධිපතිවරයාට ලැබීමට මෙලෙස වේගවත් කතා දෙකක් පැවැත්වීමට හේතු වූ බව මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේදී කතා බහ කළහ.

ගෝඨයි – මෛත්‍රියි එක බෝට්ටුවේ

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වුණු දෙය මටත් වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේදී කීවේය. ‘‘එතුමාටත් නිවැරදි තොරතුරු දුන්නේ නැහැ. මටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු නිවැරදිව දුන්නේ නැහැ‘’ හිටපු ජනාධිපතිවරයා කීවේය. ඒ දෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහට වීමට ඉඩ නොදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක් ලබා දෙමින් මේ ගැන කතා කළේය.

ගෝඨාගෙන් ජනපතිට ඇමතුමක්

‘‘මට වෙච්ච දේ ඔයා කර ගන්න එපා. මම විශ්වාස කරපු නිලධාරීන් දෙදෙනෙක් තමයි ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති තනතුරුවලට පත් කළේ. අරගලයේදී වගේම ඊට පෙරත් මම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළා. නමුත් මේ සිද්ධි දාමය තුළදී බුද්ධි අංශ තොරතුරු හරියට ලැබුණේ නැහැ. ‘‘මිරිහානේ ගෙදරට ගහනකොට කීවේ එකසිය පනහක් විතර එයි කියලයි. ජනාධිපති මන්දිරය වට කරපු දවසේ විසිපන්දහසක් එන්නේ නැහැ කියලා කීවා. නමුත් මන්දිරයට එන කොටම මම ඉවත් වුණා. මම අත්දැකීමෙන් කියන්නෙ. වර්තමානයේ හමුදාව රට බේරා ගන්න ඉදිරිපත් නොවන තත්ත්වයක් නිර්මාණය වෙලා. අරගලයක් ආ​වොත් අමාරු වෙයි.‘’ හිටපු ජනාධිපතිවරයා තමන් ලැබූ අත්දැකීම්ද පාදක කර ගනිමින් පැවසුවේය.

‘‘භීෂණ කාලයේ උතුරේ රාජකාරි කළ සෙබළුන් දකුණට ගෙනත් දාලා තිබුණ. ජනතා විමුක්ති පෙරමුණ ළඟ ගිනි අවි තිබුණා. නමුත් ජානක පෙරේරා ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වගේ හමුදා නායකයන් කඳවුරෙන් කඳවුරට ගොස් ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍ය බේරා ගන්නා හැටි දැනුවත් කළා. මම හිටියේ මාතලේ කඳවු​රේ. ඒ වගේ කැම්පේන් දැන් නැහැ. දැන් එවැනි ධෛර්යයක් දෙන්න කවුරුත් නැහැ. සැලකිලිමත් වෙන්න. ඊළඟ බිල්ල ඔයා වෙන්න පුළුවන්’’ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පවතින අවදානම ගැන කතා කරමිනි.

රනිල්ගෙන් කිරි

ඒ ගැනද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කතා බහ කළා විය හැකිය. තමන් හිට්ලර් වන බව කියූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ට කිරි වීදුරුවක් දීමට තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම ගැටලුවක් බව පාර්ලිමේන්තු නිලධාරීහු ජනාධිපතිවරයාට දැනුම් දුන්හ. ‘‘ජනාධිපතිපති අරමුදලෙන් ගන්න පුළුවන්ද බලන්න’’ ජනාධිපතිවරයා ලේකම් සමන් ඒකනායකට කීවේය.

චමින්ද – ලන්සා වලිය

සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා හා නිමල් ලන්සා මන්ත්‍රිවරයා අතර ඇති වූ ගැටලුවෙන්ද පාර්ලිමේන්තුව උණුසුම් විය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් නිමල් ලන්සා මන්ත්‍රිවරයා කතා කරමින් සිටියදී චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා දැඩි ආවේගයෙන් යුතුව පිළිතුරු දී ඉදිරියට පැමිණියේ නිමල් ලන්සා මන්ත්‍රිවරයාට පහර දීමටය. තම අසුනේ අසුන් ගන්නා ලෙස කථානායකවරයා කිහිප වරක්ම චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාට පැවසුවද ඔහු එයට අවනත නොවී තව තවත් ඉදිරියට ආවේය. ‘‘මට ඕන තැනක ඉඳගෙන මම කතා කරනවා’’ චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා කීවේය. මන්ත්‍රිවරයාගේ ආවේගශීලී හැසිරීම නිසා ඔහු සභාවෙන් පිට කිරීමට කථානායකවරයා පියවර ගත්තේය.

මේ අතරවාරයේදී ඇමැති ප්‍රසන්න රණතුංගද නැගිට විපක්ෂයේ දොරටුව දෙසට ගියත් ඇමැතිවරයාගේ ගමන මන්ත්‍රිවරු නතර කළහ. ‘‘මට චමින්ද මන්ත්‍රිතුමා හම්බවෙන්න යන්න දෙන්න.

ඇමැතිවරයා ඉල්ලා සිටියත් ඔහුගේ ගමනට බාධා එල්ල විය. අයවැයෙන් ජනපතිවරයා යෝජනා කළ රාජ්‍ය ආයනත ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සමගිජන බලවේගය එල්ල ක​ළේ විරෝධයකි. ඒ පිළිබඳ ජනපතිවරයා රණසිංහ ප්‍රේමදාස විකුණා දැමූ ලාබ ලබන රාජ්‍ය ආයතන ගණනාවක ලැයිස්තුවක්ද පාර්ලිමේන්තුවේදී සභාගත කළේය. ඒ පිළිබඳව ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ජනාධිපතිවරයාට කියා සිටියේ ‘‘එදා ප්‍රේමදාස ජනාධිපතිතුමාව බේරා ගත්තද මෙදා අතහැරියා නේද ’’යනුවෙනි. ‘‘මම හැමදාම පෙනී සිටියේ සත්‍ය වෙනුවෙන්’’ ජනාධිපතිවරයා කීවේය.

සජිත් නිදොස්

සංස්කෘතික අරමුදල සම්බන්ධවද අභූත චෝදනා එල්ල කරමින් විපක්ෂ නායකවරයාට චෝදනා එල්ල කිරීම පිළිබඳව සමගි ජන බලවේගයේ අවධානය යොමු වී තිබිණි. විශේෂයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් ඇතැම් මන්ත්‍රිවරු විසින් කරන ප්‍රකාශ පිළිබඳව විසඳා ගැනීමට විපක්ෂ නායකරවයා සිතුවේය. ඒ කෝප් කමිටුව හමුවේය. කෝප් කමිටුවේදී අනාවරණය වූයේ සජිත් ප්‍රේමදාස සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස දූෂණ හෝ මූල්‍ය අවභාවිතයක් නොකර ඇති බවයි. කෝප් කමිටුවේදී ආණ්ඩුවේ මන්ත්‍රිවරු මෙතන වරදක් සිදු වෙලා තියෙන බව ඔප්පුකරන්න හැදුවා. නමුත් බොරුවට ඉඩ ලැබුණේ නැහැ. විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහනයක් ලැබෙනු ඇතැයි ජනතාව අපේක්ෂාවෙන් සිටින්නේ පවතින ආර්ථික පීඩනය නිසාය. එම අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනාධිපතිවරයා උත්සාහ කළත් එය මේ වන තුරු පවතින්නේද සාකච්ඡා මට්ටමේය. චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැමැත්ත ගැනීමට ජනාධිපතිවරයා මේ වනවිට වැඩි අවධානය යොමු කර ඇත.

ඒ සඳහා රාජපක්ෂවරුන්ගේ සහායද ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කළේය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කළේ සිය උත්සාහය ජය ගැනීම සඳහාය. ‘‘චීන ජනපතිතුමාට කතා කරලා කැමැත්ත ගමුද’’ ජනාධිපතිවරයා යෝජනා කළේය. ‘‘මම ඉන්න කාලෙත් උත්සාහ කළා. නමුත් හරි ගියේ නැහැ.’’ හිටපු ජනාධිපතිවරයා අතීත සිදුවීමක්ද මතක් කරමින් කීවේය.

ගෝඨා රහසක් හෙළි කරයි

‘‘මම ජනාධිපති කාලේ එක දවසක් චීන තානාපතිවරයා මම හම්බවෙන්න එනවා කීවා. මම හිතුවේ ණය ගෙවන්න සල්ලි දෙන්න කියල. ඇවිල්ල ඇහුවෙ ඉන්දියාවට දීලා තියෙන්නෙ මොනවද කියලා. දෙන්න යන්නෙ මොනවද කියලා. මම ඇහුවා ඇයි එහෙම අහන්නෙ කියලා. තානාපතිතුමා කීවා මට දැන්ගන්න ඕන ඒක විතරයි කියලා. චීනය අපෙත් එක්ක හොඳින් නෙවෙයි ඉන්නෙ. ඒක නිසා ඉන්දියාව දෙස බලන්න’’ හිටපු ජනාධිපතිවරයා යෝජනා කළේය. එහෙත් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට චීනයේ කැමැත්ත ලබාගත යුතු බවයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය පිළිබඳ විවාදයේදී මන්ත්‍රි භෝජනාගාරයේදීද ඉතා රසවත් සිදුවීම් වන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි ධීවරයන්ට තිබෙන ගැටලු ගැන කතා කර සභා ගැබේ උපවාසයක්ද ආරම්භ කළේය. සභා ගැබේ බිම වාඩි වී සිටි මන්ත්‍රිවරයා ආසනය වෙත රැගෙන ගියේද සහෝදර මන්ත්‍රිවරු විසිනි. ‘‘මට මේක කවුරුත් කරන්න කීවේ නැහැ. මම හිතලා කළේ විරෝධය දක්වන්න කළු ඇඳුමක්ද ඇඳගෙන ආවේ. මන්ත්‍රිවරයා භෝජනාගාරයේදී මන්ත්‍රිවරුන්ට කීය. එම ස්ථානයේ සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පැවසුවේ ‘‘ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ තමයි ධීවරයන්ට හොඳම කාලය උදා වුණේ’’ යනුවෙනි. ඒ සිය පියාද ධීවර ඇමතිවරයා ලෙස කටයුතු කළ කාලය අමතක කරමින් ඔහු මේ බව පැවසුවේය. ‘‘මම ඒක පිළිගන්නවා’’ දිලිප් වෙදආරච්චි මන්ත්‍රිවරයා කී‍වේය. එහෙත් සැමන්, මාළු වර්ග පිටරටින් ගෙන එන එක නතර කළ යුතු බව මන්ත්‍රිවරයා යෝජනා කළේය.

චණ්ඩිගෙනුත් චණ්ඩියා

එහෙම කියන්න එපා. ඔයත් ගෙනාවානේ’’ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය. මෙලෙස මන්ත්‍රිවරුන් දෙදෙනා තර්ක කළත් ඔවුන් දෙදෙනාම ඥාතීහු වෙති. මෙම ස්ථානයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද පැමිණියේය. ‘‘අපේ පැත්තේ ඉන්න චණ්ඩියා සනත් නිශාන්ත. විපක්ෂයේ චණ්ඩියා දිලිප්’‘ සාගර කාරියවසම් මන්ත්‍රිවරයා විහිළුවට මෙන් කීවේය. ‘‘අනේ එයාගේ චණ්ඩිකම්’‘ හිටපු ජනාධිපතිවරයා කීවේ තමන් හම්බන්තොට කළ චණ්ඩිකම්ද සිහිපත් කරමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සතිය ආරම්භයේ සිටියේ උතුරු පළාතේ සංචාරයකය. පළමුවෙන් වවුනියාවට පැමිණි ජනාධිපතිවරයා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ජනතා ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් පැවත්වීය. ‘‘ඉඩම් වගා කරන්න දෙනවා කීවත් වන සංරක්ෂණ නිලධාරීන් ඒවා දෙන්නේ නැහැ. ගැසට් එකේ තියෙන විදිහට වැඩ කරන්න යනවා’’ ඇමැති ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුර්දීන් හා චාල්ස් නිමලනාදන් යන මන්ත්‍රිවරු චෝදනා කළහ. ජනාධිපතිවරයා ඇසුවේ 2011 නිකුත් කළ ගැසට් එකටද කටයුතු කරන්නේ යනුවෙනි. ‘‘ඔව්’‘ වන නිලධාරීන්ගේ පිළිතුර වූහ. ‘‘එහෙම බැහැ. 1983 යුද්ධයේ ආරම්භයේදී නිකුත් කළ ගැසට් එකත් ඇති. ඒක ගන්න.’’ ජනාධිපතිවරයා කීවේය.

උතුරේද පවතින පක්ෂ දේශපාලන ගැටුම් පසෙකලා වවුනියාවේ ස්ථාපිත කළ ජනාධිපති උප කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටදෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් වන එම්. සුමන්තිරන් හා සෙල්වන් අඩෙක්කලනාදන් ද පැමිණ සිටියේය. උත්සවයේ කතා වෙන් වී තිබුණේ ජනාධිපතිවරයාට පමණි. එහෙත් නිවේදකයාව තමන් ළඟට කැඳවූ ජනාධිපතිවරයා ‘‘සුමන්තිරන් මන්ත්‍රිතුමාටයි, සෙල්වන් මන්ත්‍රිතුමාටයි කතා දෙන්න’‘ යැයි පැවසුවේය. ඒ අනුව ඔවුන් දෙදෙනාද ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අගය කරමින් කතා කළහ.

වවුනියාවේදී තවත් රැස්වීමක් පැවැත්වූයේ වැලිඔය ඉඩම් ගැටලු නිරාකරණය කිරීමටය. වැලිඔය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු ඉඩම් මහවැලියට ඕන විදිහට බෙදනවා’‘ යනුවෙන් මෙහිදී චෝදනා කළේය. ‘‘මහවැලියට ඕන විදිහට ඉඩම් බෙදන්න බැහැ. මමයි රවි ජයවර්ධනයි තමයි 1985 වසරේදී වැලිඔයට ආවේ. වැලිඔය ගැන මට කියලා දෙන්න එපා. සිංහල මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා නම් ඒ ගැන සොයා බලන්නම්’’ ජනාධිපතිවරයා පොරොන්දු විය.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ දොට්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රිවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මන්ත්‍රිවරයාද ඊට එක්ව සිටියේය. නිමල් සිරිපාලද සිල්වා හා මහින්ද අමරවීර පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරවලින් ඉවත් කිරීමෙන් පුරප්පාඩු තනතුරුවලට ශාන් විජේලාල්ද සිල්වා, ෆයිසර් මුස්තාපා හා අංගජන් රාමනාදන් පත් කිරීමටද යෝජනා විය. පක්ෂයේ උප සභාපතිවරුන් ලෙස තිස්ස කරල්ලියද්ද සහ සරත් ඒකනායක පත් වූහ. භාණ්ඩාගාරික ධුරයට දුෂ්මන්ත මිත්‍රපාල මන්ත්‍රිවරයා පත්විය. මන්ත්‍රිවරයා අසල සිටි තවත් මධ්‍යම කාරක සභිකයන් කියා සිටියේ ‘‘පක්ෂය වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා. ඒක ඉල්ල ගන්න’’ යනුවෙනි.

රැස්වීම පවත්වාගෙන යන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යොජනා දෙකක් ඉදිරිපත් කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස තිලංග සුමතිපාල​ත් පොදුජන එක්සත් පෙරමුණේ මහලේකම් ලෙස ශාන් විජයලාල්ද සිල්වා මන්ත්‍රිවරයාත් පත් කරන බව හිටපු ජනාධිපතිවරයා කීවේය. ඒ ඉදිරි මැතිවරණවලදී සන්ධානගත වීමට අව ශ්‍ය වටපිටාව සැකසීම සඳහා බව ඔහු පෙන්වා දුන්නේය.

පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු ආණ්ඩුවේ ඇමැති ධුර ගත් මන්ත්‍රිවරු නව දෙනාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටද මෙහිදී යෝජනා විය. ඊට දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා විරුද්ධ වුවත් බහුතර කැමැත්ත මත එම තීන්දුව ගත්තේය. අයවැයේදී පක්ෂය කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව කතා කරන විට දුමින්ද දිසානායක මන්ත්‍රිවරයා රැස්වීමෙන් පිටව ගියේය. එහෙත් ඔහු අයවැයට පක්ෂව ඡන්දය දුන්නේය.

සිරිකොතේ කාමර ප්‍රශ්නයක්

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි කාමර ප්‍රශ්නයක්ද මෙම සතියේ ඇති විය. මෙහි එක් කාමරයක් පක්ෂයේ තරුණ සංවිධානයේ කටයුතු සඳහා වෙන් කර තිබිණි. එම කාමරය තමන්ට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින අධ්‍යක්ෂ ජනරාල්වරයකු ගෝරනාඩු කළේය. මෙම කාමර ප්‍රශ්නය ගැටුමක් බවට පත්ව නොදී බේරා ගැනීමට සිරිකොත කාර්ය මණ්ඩලය කටයුතු කළේය. එලෙස කාමර අවශ්‍ය නම් ජාතික සේවක සංගම් මූලස්ථානයේ කාමර ගන්නා ලෙසද පක්ෂ මූලස්ථානයෙන් දැනුම් දී තිබේ.

උදයජීව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress