රට තුළ සිටින ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් හා ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්
Posted on December 7th, 2022

Manusha Media

රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.

ඒ සදහා වන වැඩසහටනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. අමාත්‍යාංශයේ මාසික ප්‍රගති සමාලෝචන සහ ඉදිරි වැඩ සටහන් සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී මෙම ක්‍රමවේදය සකස් කිරීම සදහා වන තීරණය ගත්තේය.

මේ වන විට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්කර යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කරන නමුත් දේශීය වශයෙන් ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය. ඒ අනුව දේශීය ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

‘‘හැමෝම කතා කරන්නේ විදේශ රටවල සිටින ගෘහ සේවිකාවන් ගැන විතරයි. ඔවුන් හිංසාවට පත්වීම ගැන විතරයි. ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගත වන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් රට ඇතුළේ ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කරනවා. මේ නිසා දේශීය වශයෙන් සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ නිසා  ඔවුන්ගේ ආරක්ෂාව හා සේවා තත්වයන් සම්බන්ධයෙන් වන විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress