ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ ගතවුනේ මේ වසරේදී. විදේශ ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි. – අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
Posted on December 18th, 2022

manusha media

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් අද දින (12/18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300- 400 අතර ප්‍රමාණයක් වුවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසුව එක් මසකට ශ්‍රි ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. ඒ අනුව අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය ශ්‍රි ලාංකිකයින් පිරිසයි. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එය 76,579කි. කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කීවේය. විදේශගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය. විදේශ ගතවන ශ්‍රමිකයාට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා Hope Gate” නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා පැවසීය.

තවද ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් (Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රකාශ කලේය.

විදේශ රැකියාවක නිරතව සිට අපහසුවෙන් උපයාගත් මුදලින් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයින් වශයෙන් ජීවිතය ජයගත් ශ්‍රි ලාංකිකයින් පස් දෙනෙකු ඇගයීමද මෙම අවස්ථාවේදී අමාත්‍යතුමා විසින් සිදුකරන ලදී.

Voice of Migrants (VOM) හා Solidarity Foundation සංවිධාන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රි, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress