උදය-වය දකින ආකාරය – 4 කොටස – ධම්මචක්කප්පවත්තන සූත්‍රය තුල හමුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය
Posted on April 6th, 2023

තිස්ස ගුණතිලක

බුද්ධකාලීන දඹදිව

‘පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු’-  මා දේශනා කරන්නේ ඔබ ආරංචියකින්වත් අසා නොමැති (පෙර නොඇසූවිරූ) ධර්මයකි.

බුදුන් වහන්සේට පෙර දඹදිව විවිධ ඇදහිලි හා විශ්වාසයන් පැවතුනි. මේවායින් වඩාත්ම ප්‍රකට වූයේ වේදාන්ත දර්ශනයක්වූ බ්‍රාහ්මණ දහමයි. සසරේ මැරී මැරී නැවත නැවත උපදින අතර බ්‍රහ්මන් හමුවීමෙන් මෙම ක්‍රියාවලිය අවසන්වේ යනු එහි ඉගැන්වීමයි. ඊට අමතරව අද්භූත බල විශ්වාසයද (ගිනි සූර්ය වෘක්ෂ ආදී ඇදහීම්ද) වේදාන්ත විශ්වාසයන්ය. 

පූරණ කස්සප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බල ආදි ෂඩ් ශාස්තෘවරුන්ගේ ඉගැන්වීම්ද එකල ප්‍රසිද්ධ වි තිබුනි. ජෛන මහාවීරගේ (නිගණ්ඨනාථ පුත්‍ර) කර්ම ඵලයද ඒ ආශ්‍රිතව ගොඩ නැගුනු සීලය හා වෘතද ඇදහූවෝ එකල දඹදිව බොහෝ විය. බුදුන් වහන්සේගේ මවද එකල විශ්වාසයක්ව පැවති ජෛන සීලය සම්මාදන් වූ අයෙකි.

මේ ඇදහිලි අතර ආලාර කාලාම, උද්දකාරාම පුත්‍ර ඉදිරිපත්කල සිත දමනය/පාලනය කරන සමථය හා ඒ ආශ්‍රිත ධ්‍යාන වැඩීමද ප්‍රකටව පැවතිබව බව සිදුහත් තවුසාද සය වසරක් එම නිෂ්පලවූ ධ්‍යාන වැඩීමෙන් පසක් වෙයි. 

එදා දඹදිව සිටි ශාස්තෘන් බොහෝ දෙනෙක් සත්වයා දුකට පත්වන ක්‍රියාවලිය සිතට අදාලව, සිත නිසා සිදුවන්නක් බව දැන සිටියත් එය සිදුවන ආකාරයවත් එයින් මිදෙනා ක්‍රමයවත් සොයා ගැනීමට අපොහොසත් විය. ඔවුන් කලේ සිත දමනයට/පාලනයට අදාලව විවිධ පර්යේෂණවල නියැලීම පමනි. භාවනාව හා ඒ ආශ්‍රිත සමථය මෙන්ම ධ්‍යාන පලද එම පර්යේෂණවල ප්‍රතිපලයෝය. ජෛයිනයෝ සීලය හා වෘත තුලින් මෙම සිත පාලනය පිළිබඳ පර්යේෂණයම සිදුකල අතර ඔවුන් බලාපොරොත්තු වූ ඉංද්‍රිය සංවරය හෝ කර්මය තැවීමක් එයින් සිදු නොවිනි.

බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමින දේශනාකල පළමු දේශනයතුල (ධම්මචක්කප්පවත්වන සූත්‍රය) ‘පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු’ යන්න දොලොස් වතාවක් නැවත නැවත ප්‍රකාශකිරීම තුලින්ම මෙසේ එදා දඹදිව පැවති සියළුම ඇදහීම් හා විශ්වාස ප්‍රතික්ෂේප කලබව දැක්වේ.

කාමසුඛල්ලිකානුයොගො හා අත්තකිලමථානුයොගො

ධම්මචක්කපවත්තන සූත්‍රයේ ප්‍රථමයෙන්‍ හමුවන්නේ කාමසුඛල්ලිකානුයොගයත් අත්තකිලමථානුයොගයත් යන අන්ත දෙකයි. අස්‍රැතවත් පෘතග්ජනයා (සද්ධර්මය නොහඳුනන්නා) මාලිගාවක සැප වින්ඳත් මගමග සිඟමන් යදිමින් දුක්වින්ඳත්  දෙදෙනාම විඤ්ඤාණ මායාවතුල භාහිරය අත්මීයව ගෙන එනම් භාහිරය දෙයක් යමක් කෙනෙක් සේ ගෙන භවය සකස්කරමින් සංසාරගමනේ (මව්කුසින් උපන්දා සිට මේ මොහොත දක්වා පැමිනි ගමන) දුකට පත්වෙමින් රාග ද්වේශ මෝහ හෙවත් ආස්‍රව එක්රැස් කරමින් අනුසෝතගාමී මගක ගමන් කරයි. මේ කාමසුඛල්ලිකානුයෝගයයි. ශරීරයට කොපමන දුක්දුන්නත් (අත්තකිලමතානුව) සද්ධර්මය නොදන්නාතාක්කල් ඔහුද ගමන් කරන්නේ ඉහත සඳහන් ආස්‍රව එක්රැස්කරනා අනුසෝතගාමි මාර්ගයේමයි. මේ අන්ත දෙකම ප්‍රථමයෙන් අතහැරිය යුතුබව ධම්මචක්කය තුල මුලින්ම සඳහන් කලේ ආස්‍රව වලින් ‘මත්වීම නිසා ඇතිවන ප්‍රමාදය (මජ්ඣි)’ තුල ධර්මාවබෝධයට අවශ්‍යවන ‘සිහිය හා ඤාණ’ වැඩීමට සුදුසු භූමිය සකස් නොවන බැවිනි.

මෙතෙක් වැඩූ ප්‍රතිපදාවන් නිසා ඇතිවූ රාග ද්වේශ මෝහ කෙලෙස් (ආස්‍රව) නිසා ඇතිවන ප්‍රමාදය (clogged mind) සිහිය අවදිවීමට ඇති ඉඩකඩ අහුරයි. ධර්මාවබෝධය පමාකරවයි. මෙම ප්‍රමාදය දුරැකිරීමට ‘මජ්ඣිමා – මජ්ඣි යනු ‘මතය නිසා ඇතිවන ප්‍රමාදයයි’. මා යනු එහි විරැද්ධාර්ථයයි. මජ්ඣිමා ප්‍රතිපදා යනු ප්‍රමාදයෙන් මිදෙන (get rid of clogged mind) ප්‍රතිපදාව’යි.

ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සිහිය (ප්‍රඥාව) හා ඤාණ (නුවණ) අවදිවන මජ්ඣිමා ප්‍රතිපදාව ලෙස බුදුන්වහන්සේ හඳුන්වා දෙන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගයයි. එදා බුද්ධ ශාසනයට ඇතුලත් වූයේ බෞද්ධයන් නොව වෙනත් ප්‍රතිපදාවන් අනුගමනයකල හෝ එම ප්‍රතිපදාවන් ගැන අසා හෝ ඇති ජටිල ජෛන බමුනු ආදි පරිභ්‍රාජකයෝය. මෙවුන් සියල්ලම අනුගමනය කලේ ආස්‍රව ඇතිකර භවය සකස්කරනා, ප්‍රමාදය ඇතිකරනා අනුසෝතගාමි ප්‍රතිපදාවන්ය. ප්‍රථමයෙන්ම ශාසනයට ඇතුඵවන්නා මෙම clogged mind දුරැකල යුතුය. ඒ සඳහා ඔවුන් ප්‍රතමයෙන් මජ්ඣිමා ප්‍රතිපදාව වන ‘සම්මතය තුල හමුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය’ තුල හැසිරිය යුතුය. මෙය සද්ධර්මයට ඇතුළුවන්නා ප්‍රථමයෙන් පිළිපැදිය යුතුවූ ප්‍රතිපදාවයි (stepping stone to Dhamma).

ආර්ය අෂ්ටාංගික මාර්ගය

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ‘සම්මා’ 8ක් හමුවෙයි. සම්මා යනු ‘යහපත් දේ’ යයි බොහෝ දේශකයින් අදහස් කරයි. අප හොදින් සිහිපත් කලයුත්තේ ‘ධර්මාවබෝධය යනු භාහිරයේ දෙයක් යමක් කෙනෙක් හෝ ඒවා දකින මමෙක් නැනිබවට අවබෝධයයි’. භාහිරයේ සත්‍යවශයෙන්ම (in reality) ඇත්තේ අනාත්මීය ස්වභාවයයි. එනම් භාහිරයේ පවතින්නේ රූප හැඩතල හා ඒවායින් නිකුත්වන රූප තරංග සහිත රූප ලෝකයක් පමනි. එහි ‘නාම’ නැත. නාම නොමැතිව රූප පමනක් පවතින ස්වභාවයක අන්ත හෝ සාපේක්ෂතාවයක් දැකියහැකි නොවෙයි. එනම් හොද නරක, දිග කොට, උස් මිටි, යහපත් අයහපත්, පිං පව් ආදී සාපේක්ෂතාවයක් in reality භාහිරයේ හමුනොවේ. හැඩතල පමනක් ඇති තැනක සාපේක්ෂතාවයක් කොහිද?

එම නිසා සද්ධර්මය තුල ‘යහපත්’ (හෝ අයහපත්) යමක් සෙවීම උගහටය. සම්මා යනු ‘යහපත්’ නොවන්නේ මෙම අර්ථයෙනි.

සම්මා යනු ‘සං මා’ හෙවත් එකතුවීමේ (සං) විරැද්ධාර්ථය (මා) යන්නෙන් බිඳී ආවකි. එනම් සංමා යනු යමකින් ‘මිදීමයි’.

1. සංමා දිට්ඨි යනු සියඵම දිට්ඨි වලින් මිදීමයි. කර්ම පල දෘශ්ඨිය, ආත්ම දෘශ්ඨිය, සිලය හා වෘත දෘශ්ඨිය, අද්භූත බල දෘශ්ඨිය ආදිය මිදිය යුතු දෘශ්ඨිවලින් කීපයකි. 

2,3,4.  සංමා සංකප්ප, සංමා වාචා හා සංමා කම්මන්ත යනු සංකාරය නිසා සම්මතයේ විද්‍යාමානවන සියඵම ක්‍රියා වලින් මිදීමයි. එනම් සියඵම වචනයෙන්, ක්‍රියා වලින් මිදීමයි (එදිනෙදා කරන පිංඩපාත, දාන වැලදීම, ශරීරකෘති, ධර්ම සාකච්චා ආදි අත්‍යවශ්‍ය ක්‍රියාවෙන් හා වචනයන්  හැර), 

5. සංමා වායාම යනු සියළුම භාවනාව ඇතුඵ අනර්ථකාරී ව්‍යායාමයෙන් මිදීමයි. භාවනාව සිහිය හා ඤාණ ප්‍රමාදයට ඉවහල්වන අතර ආත්ම දෘශ්ඨියෙන් මිදීමද පමාකරයි.

6. සංමා ආජීව යනු සීල හා වෘත ඇතුළු සියඵම ආජීවක ප්‍රතිපදාවලින් මිදීමයි.

7. සතිය යනු වේදය තුල දැක්වෙන්නේ සිතයි. සංමා සති යනු සිත පාලනයෙන් මිදීමයි. සිත පාලන ක්‍රියාවලියේ සම්මත මුහුනුවරින් මිදීමයි. (බුදුන්වහන්සේගේ දවස නොයෙකුත් ශාස්තෘන් උත්සාහ කලේ සිත දමනය/පාලනය කිරීමටයි. තත්පරයට කෝටියකටත් වැඩි වේගයකින් ඇතිවන නැතිවන සිත කෙසේනම් පාලනයකට නතුකර ගන්නද? මෙය කල නොහැක්කක් බව පෙර ලිපිවලින් ඔබට අවබෝධ වනවා ඇත. (කලයුත්තේ උදය වය ප්‍රසාද ධාරාවන් phases සිහියට හසුකර ගැනීම පමනමයි.)

8. සමාධි යනු වේදය තුල දැක්වෙන්නේ ධ්‍යාන හරහා ඇතිකරගන්නා ඒකාග්‍රතාවය ලෙසයි. සංමා සමාධි යනු සිත තුල ධ්‍යාන උපදවන ක්‍රියාවලියේ සම්මත මුහුනුවරින් මිදීමයි.

සම්මත ආර්ය අෂ්ටාංගික මාර්ගය (මජ්ඣිමා ප්‍රතිපදාව) තුලින් සිහිය හා ඤාණ ඇතිවීමට අවශ්‍ය භූමිය සකස්කර ගත් ශාසනයට ඇතුඵවන්නා දැන් චතුරාර්ය සත්‍යය හා ඒ හා පවතින තිපරිවට්ටය ග්‍රහණය කිරීමට සුදුසු මානසික පරිසරයක් සකසාගනී.

දැන් දූක්ඛ, සමුදය හා නිරෝධ සත්‍යයන් අවබෝධ කරගත් ස්‍රැතවත් ආර්ය ස්‍රාවකයා හෝ යෝගාවචරයා නිරොධමාර්ග සත්‍ය අවබෝධය සඳහා නැවතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසිය යුතුබවට ධම්මචක්කයේ සඳහන් වෙයි. මෙහිදී හමුවන්නේ පරමාර්ථය නැතහොත් චෛතසික තුල සංමා 8න් මිදෙන ආකාරයයි. චෛතසික සංමා 8 සම්මත සංමා 8 හි දර්පණ ප්‍රතිබිම්භයයි (mirror image of worldly eightfold path in the metaphysical state)

උදාහරන ලෙස;

  1. චෛතසික සංමා දිට්ඨි යනු සියඵම දිට්ඨි වල අවබෝධයයි එනම් අවබෝධකරගෙන දෘශ්ඨිවලින් මිදීමයි.
  2. සංමා සංකප්ප, සංමා වාචා, සංමා කම්මන්ත යනු මනෝ සංකාර, වචී සංකාර හා කාය සංකාර ඇතිකරන සියඵම සංකාරවලින් මිදීමයි.

සම්මත හා චෛතසික ආර්ය අෂ්ඨාංගික මාර්ග වල අන්තර්ගත ‘මිදීම්’ පහත සඳහන් ලෙස වගුගත (tabulate) කලහැක.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයසම්මතපරමාර්ථ
සංමා දිට්ඨිසියඵම දිට්ඨි වලින් මිදීමයි. කර්ම පල දෘශ්ඨිය, ආත්ම දෘශ්ඨිය, සිලය හා වෘත දෘශ්ඨිය, අද්භූත බල දෘශ්ඨිය ආදියෙන් මිදිම ප්‍රධානයි. මෙම දෘශ්ඨි නැති බවට ඇතිකරගන්නා විශ්වාසය.සංමා දිට්ඨි යනු සියඵම දිට්ඨි වල අවබෝධයයි එනම් අවබෝධවීමෙන් නැතිකිරීමයි.
සංමා සංකප්පසංකාරය නිසා සම්මතයේ විද්‍යාමානවන සියඵම ක්‍රියා වලින් මිදීමයිමනෝ සංකාර, වචී සංකාර හා කාය සංකාර ඇතිකරන සියඵම සංකාරවලින් මිදීමයි.
සංමා වාචා– ditto –– ditto –
සංමා කම්මන්ත– ditto –– ditto –
සංමා වායාමසියළුම භාවනාව ඇතුඵ අනර්ථකාරී ව්‍යායාමයෙන් මිදීමයි. භාවනාව සිහිය හා ඤාණ ප්‍රමාදයට ඉවහල්වෙයිසමථයෙන් මිදීම. සමථය තුල ආත්ම දෘශ්ඨිය නොනැසී පවතියි.
සංමා ආජීවසීල හා වෘත ඇතුළු සියඵම ආජීවක ප්‍රතිපදාවලින් මිදීමයිසීලය තුල ඉංද්‍රිය සංවරය තදංග විෂිකම්භන ලෙස තාවකාලිකව යටපත්වී පවතී. සම්පූර්ණ සංවරයක් කිසිදා ඇතිනොවේ. සංමා ආජීව යනු සීලය හා වෘත තුලින් ලබන්නේය යන සංවරයෙන් මිදීමයි.
සංමා සතිසිත පාලන ක්‍රියාවලියේ සම්මත මුහුනුවරින් මිදීමයි.ඇතිකරගන්නා සිහිය සිතට පැවැත්වීමෙන් මිදිය යුතුය. සිහිය සිතට පැවැත්වීමෙන් දකින්නේ ආස්‍රව ඇතිකරනා, පෘතග්ජනයා නිතර ගැවසෙනා උදය ප්‍රසාද ධාරාවයි. නමුත් සිහියට හසුකර ගතයුතුවන්නේ වය ප්‍රසාද ධාරාවයි.
සංමා සමාධිසංමා සමාධි යනු සිත තුල ධ්‍යාන උපදවන ක්‍රියාවලියේ සම්මත මුහුනුවරින් මිදීමයිධ්‍යාන ඇතිවීමෙන් මිදිය යුතුය. ධ්‍යාන තුල  ඉතිරිවන ආත්ම දෘශ්ඨිය සිහිය ප්‍රමාද කරයි.

චෛතසික ආර්ය අෂ්ඨාංගික මාර්ය තුල ඇති ‘මිදීම්’ 8න් සිහිය (ප්‍රඥාව) හා ඤාණ (නුවණ) වැඩීමට ඇති සියඵම බාදක ඉවත්කර ‘ස්කන්ධයේ උදය-වය දකින සිහිය හා ඤාණ’ ඇති කරයි.

tgunite@tpg.com.au

තිස්ස ගුණතිලක

2023 අප්‍රේල් මස 07 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress