ක්‍රිස්තුස් වහන්සෙගේ දයා කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන්පාස්කුව සරසමු.
Posted on April 6th, 2023

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

කුරුසිය මත ජීවිතය පූජාකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය හා උත්ථානය සිහිපත් කරන පාස්කු මංගල්‍ය ශ්‍රී ලාංකික හා ලෝකවාසී කිතුනු ජනතාව බැතියෙන් සිහිපත් කරන අද දින අසංවේදී සන්නිවේදන හා වත්මන් සංකීර්ණ සමාජ අනවබෝධය හමුවේ සිදී බිදි යන මානව සබදතා හා සමාජ ධර්මතා යළිදු නිවැරදි මගට ප්‍රවිෂ්ට කිරීමේ ප්‍රයත්නය උදෙසා කතිකාවතක් බවට පත්කර ගනිමු.

මානව වර්ගයා පාපයෙන් ගලවා ගැනීමට, සමාජ සාධාරණය, දයාව, ප්‍රේමය, මනුෂ්‍යත්වය වෙනුවෙන් තම ජීවිතයම කැපකළ ජේසුස් කිස්තුස් වහන්සේ කෘර මරණයකට පත් කළද, මරණය ජයගෙන උට්ඨාන වෙමින් විමුක්තියේ නව මග පෙන්වා දුන් බව ක්‍රිස්තු භක්තික විශ්වාසයයි. 

වත්මන් අර්බුදකාරී තත්ත්වයන් තුළ මානව ගුණාංග නොනැසී පවත්වා ගැනීමටත්, නිවැරදි තීන්දු තීරණ ගැනීමටත් ඇවැසි මානසිකත්වය අප තුළ ජනිත කර ගැනීම සඳහා මෙවන් සියලු ආගමික ඉගැන්වීම් අපට පිටිවහලක් වෙයි.

කුරුසියේ එල්ලී සිටියදී පවා වදකයන්ට සමාව දී දයාව හා ප්‍රේමය පතුරුවා ලූ  ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අපගේ හදවත් නවමු පරිවර්තනයකට ගෙනයමින් දයා කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් මෙවර පාස්කුව සරසා ගනිමු.

මෙයට  

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2023 අප්‍රේල් 06 දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress