හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196ක් ආනයනය කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස්
Posted on April 6th, 2023

Courtesy Adaderana

උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196ක් ආනයනය කිරීම, සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (06) නියෝග කර තිබේ.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරුන් සඳහන් කළේ විත්තිකරුවන්ට එල්ලකර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවය.

මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව සඳහන් කළ අධිකරණය මෙම සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බව පැවසීය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදුකර ඇති ආකාරය සම්බන්ධයෙන් දැඩි විමතිය පළකර සිටි විනිසුරු මඩුල්ල, විමර්ශන නිසියාකාරව සිදුකර නොමැති බවත් පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් සඳහන් කර තිබේ.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 400ක් පමණ ඈත ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම විත්තිකරුවන් 05 දෙනා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරනු ලැබීය.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනුකර ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුව මෙය වීමද විශේෂත්වයකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress