හයිය තියෙන කාලේ ඇත්ත නොකියපු දප්පුලට විජේදාසගෙන් ගෝරනාඩුවක් (වීඩියෝ)
Posted on April 22nd, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

තමන්ට තීන්දුවක් ගත හැකි, නියෝගයක් නිකුත් කළ හැකි, බලයක් සහිත කාල වකවානුවේ දී කිසිවක් නොපවසා, විශ්‍රාම යන මොහොතේ කුමන්ත්‍රණකාරී සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගෙන් විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් වී තිබෙනවා.

අද (22) පෙරවරුවේ මහනුවර අස්ගිරි විහාරස්ථානයට ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් හා පවතින දේශපාලනික ව්‍යාකූල තත්ත්වය සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදියි අධිකරණ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එම ප්‍රකාශය සිදු කලේ.

මීට සිව් වසරකට ඉහත දී සිදු වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බලය ඇති දා කිව යුතු දෑ බලය නැති දා පැවසීම ගැටලුකාරී බවයි.

වසර 04ක් ගත වුණ ද කිසිදු මොළකරුවෙකු අල්ලා ගැනීමට හෝ ඔවුන් වෙත දඬුවම් පැමිණවීමට නොහැකි වූ බවයි මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාට අවධාරණය කරනු ලැබුවේ.

ඊට පිළිතුරු ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ මෙවැන්නක්..,’දැන් පොලිසිය මේ පිළිබඳ ව පරීක්ෂණ කරලා නඩු 42ක් මහාධිකරණයේ පවරලා තියෙනවා.ඒ 42 ඉන්නවා චූදිතයෝ 79 දෙනෙක්.හිටපු නීතිපතිතුමාට එවකට තිබුණා සම්පූර්ණ බලතල ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගන්න, ඕනෑම පරීක්ෂණයක් කරන්න,කියලා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න..එතුමාට තමයි බලය තිබුණේ මහේස්ත්‍රාත්තුමාට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා අවශ්‍ය නම්,අධිකරණ නියෝගයක් ලබාගන්න.. අහවල් අහවල් අයගෙන් ප්‍රශ්න කරලා තොරතුරු හොයන්න කියලා..එතුමා ඒක කරන්නෙ නැතිව විශ්‍රාම යන දවසේ තමයි කිව්වේ මේකෙ මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා…’යනුවෙන්.

පාස්කු ප්‍රහාරයේ පසුපස තවත් කුමන්ත්‍රණකාරීන් සිටින බව විශ්‍රාම යන දා හිටපු නීතිපති විසින් ඇඟවූ බවත්, මේ හේතුවෙන් පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස දප්පුල ද ලිවේරා වෙත පොලිසියෙන් දැනුම්දී ඇති බවත් විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු කළ බරපතළ ප්‍රකාශය හේතුවෙන් ඔහු දන්නා යම්කිසි දෙයක් වේ නම් කල් නොමරා වහා ගොස් ඒ බව පොලිසිය වෙත ලබාදීම සිදු කළ යුතු පළමු කාර්‍යය බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් වෙත කියා සිටියා.

කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ද හිටපු නීතිපතිවරයා වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද ඔහුගේ පැමිණීම සිදු වූයේ නැහැ.

නමුත් එළඹෙන සඳුදා (24) තවදුරටත් හිටපු නීතිපතිවරයාගේ පැමිණීම සිදු නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress