ඇමරිකානු තානාපතිනිය ප‍්‍රසිද්ද විවාදයකට කැදවයි…
Posted on April 30th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ තිර පිටපතකට අනුව මෙරට ඇමරිකා එක්සත් ජනපද තනාපතිනිය වන ජුලී චන්ග්ගේ අධ්‍යක්ෂණයෙන් දියත් වූ ශ්‍රී ලංකාවට ද ලිබියාවට, හයිටියට හෝ ඉරාකයට අත්කර දුන් ඉරණමම අත් කර දීමේ කුමන්ත්‍රණය පිළිගත හැකි සාක්ෂි සහිතව අනාවරණය කිරීමට විමල් වීරවංශ මහතා විසින් රචිත නවය; සැඟවුණු කතාව” පර්යේෂණාත්මක කෘතිය මැනවින් සමත්ව ඇති බවත් එය මෙරට පමණක් නොව ජාත්‍යන්තර දේශපාලන කරලිය ද උණුසුම් කිරීමට සමත්ව ඇති බවත් ඉහත කී කුමන්ත්‍රණයේ දේශීය භූමිකාවන් ඉටු කළ සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, රාජ්‍ය නොවන සංවිධාන නඩය ඇතුළු ඇමරිකානු පිල්ලි ඉන් දැඩි ලෙස කැළඹී, පරල වී, නන් දොඩවමින් සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙයි.

පරල වී, මඩ ගසමින්, නන් දෙඩවීම පසෙක තබා, කෘතිය පිළිබඳව හරවත් දේශපාලන සංවාදයකට සූදානම් ඕනෑම අයකුට ඒ සඳහා අවස්ථාව විවරව ඇති බව ද ජානිපෙ ජාතික සංවිධායකවරයා පවසයි.

අද(30) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

එළිබහින ඇමරිකානු පිල්ලි ටික

අප පක්ෂයේ නායක, උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ සහෝදරයා ඊනියා ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත පර්යේෂණාත්මක කෘතිය පිළිබඳව මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක් නොවෙයි ජාත්‍යන්තර දේශපාලන කරලිය තුළ ද උණුසුම් කතාබහක් ඇතිව තිබෙනවා. පොත ඉංග්‍රීසියට පරිවර්තනය වීමටත් ප්‍රථමයෙන් එය ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෙන, කියවා තිබූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය පැවසුවේ ‘මෙහි සඳහන් කරුණු පිළිබඳව මා කම්පාවට පත් වෙනවා. එය ප්‍රබන්ධයක්’ කියලයි. ඒ වගේම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්තයා මේ කෘතිය පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ ආවේගශීලීව, පරල වෙමින් විමල් වීරවංශ සහෝදරයාට මඩ හා අවලාද ගසමින්. ඒ වගේම පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවක් පවත්වා නන් දොඩවා තිබුණා ‘අරගලයේ නීතිඥයෝ’ යැයි කියා ගත් පිරිසක් විලාප දෙනවා දැක්කා, ‘අරගලය පැත්තෙ නාපු විමල් වීරවංශ ඒ ගැන පොත් ලියන්නේ කොහොමද?’ කියා. විමල් වීරවංශ සහෝදරයා ලිව්වේ අරගල භූමියේ කූඩාරම් ඇතුළේ, යාබද හෝටල් කාමර ඇතුළේ හෝ වෙනත් තැන්වල සිදු වූ දේවල් නොවෙයිනේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා, ‘විමල් වීරවංශ අරගලය පැත්තේ ආවෙත් නැහැ. එයා හැමදාම ලියන්නේ එයාගේ ඔළුවේ තියෙන දෙයක්’ කියමින් නන් දොඩවා තිබුණා. ඊට අමතරව මේ වන විට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පස්සේ වැටිලා ඉන්න ධනීෂ් අලී නැමැත්තා ද මේ ගැන නන් දොඩවා තිබුණා. අරගලය” පිටුපස තිබූ ඇත්ත කතාව මෙසේ අනාවරණය වීමත් සමගම ඇමරිකානු පිල්ලි ටික එකා පරයා එකා එළියට බහිමින් තිබෙනවා.

ෆොන්සේකාගේ ‘කැරැට්ටුව’

ඇමරිකාව මුලින්ම ‘රෙජීම් චේන්ජ්’ කරගන්න හැදුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හරහායි. ඒ 2010දී යි. අපි දන්නවා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ‘සත්‍ය හා යුක්තිය සඳහා වන ව්‍යාපෘතියක්’ හැදුවා .එහි ප්‍රධානියා වූයේ යස්මින් සූකා මහත්මියයි. යුද ජයග්‍රහණ සමයේ මේජර් ජෙනරාල්වරයකු ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට පිටු 100ක යුද අපරාධ හා බැඳුණු චෝදනා පත්‍රයක් ද යුද ජයග්‍රහණ සමයේ බ්‍රිගේඩියර්වරයකු ලෙස කටයුතු කළ වත්මන් ආරක්ෂක හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වාට පිටු134ක චෝදනා පත්‍රයක් ද මෙම ව්‍යාපෘතිය මගින් සකසා තිබෙනවා. නමුත් දැන් බලන්න, යුද ජයග්‍රහණ සමයේ හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකාට විරුද්ධව කිසිදු චෝදනා පත්‍රයක් මෙමගින් ඉදිරිපත් කර නැහැ. යස්මින් සූකාලා සරත් ෆොන්සේකාට විරුද්ධව එක වචනයක්වත් කියන්නේ නැහැ. එහෙම වෙන්නේ සරත් ෆොන්සේකා වික්ටෝරියා නූලන්ඩ්ලාගේ, ජුලී චන්ග්ලාගේ, යස්මින් සූකාලාගේ සුවච කීකරු ගෝලයකු නිසයි. බලන්න, ඊනියා ගාලු මුවදොර අරගලය භූමියේ කතාවක් ලැබුණු එකම දේශපාලනඥයා සරත් ෆොන්සේකා. එහෙම වෙන්නේ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ සුවච කීකරු ගෝලයකු නිසයි. මේ කෘතියෙන් තමන්ගේ රෙදි ගැලවෙන කොට සරත් ෆොන්සේකා කලබල වීම අපට තේරුම් ගත හැකියි.

43 වන සේනාංකයේ පාඨලී”

පාඨලී චම්පික රණවකගේ කලබල වීමත් අපට වටහාගත හැකියි. ඔහු තවමත් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් පෙනී සිටිනවා. ජුලී චන්ග්ලාගේ ‘ප්ලෑන් ඒ’ අනුව කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් එදා අන්තර්කාලීන පාලනයක් හැදුවානම් ’43 වන සේනාංකයේ පාඨලී චම්පික රණවකටත්’ ඇමරිකාව එහි ඉඩක් දෙනවා. දැන් බලන්න, ‘අරගල ඩිජිටල් නායක’ පැතුම් කර්නර් අද ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග. අරගල නායිකාවක වූ දමිතා අබේරත්න අද ඉන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟයි. මේ අයත් හෙට දිනයේ දී යමක් කියාවි.

ශ්‍රී ලංකාව තමන්ගේ දඩබිමක්, තිප්පොළක් බවට පත්කර ගැනීමට, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්ගේ තිර පිටපතට අනුව, මේ රටේ ඇමරිකානු තානාපතිනිය ජුලී චන්ග්ගේ අධ්‍යක්ෂණයෙන් දියත් වූ ඊනියා ගාලුමුවදොර අරගලයේ ඇත්ත කතාව හෙළිදරව් වීමත් සමඟ පරල වී ඇති බැටෑලියන් එකට අපි කියන්නේ, ‘මේ පොතේ තිබෙන කරුණු, සාක්ෂි, දේශපාලන හරයන් සමග වාද කරන්න එන්න’ කියලයි. එහෙම ආවොත් අපි පෙන්වන්නම් ශ්‍රී ලංකාව තවත් ලිබියාවක්, හයිටියක්, ඉරාකයක් බවට පත්කිරීමට නුඹලා කුමන්ත්‍රණය කළේ කෙසේද? කියා.

‘ටිල්වින් – ලාල් පරස්පරය’

දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්තයා ජුලී චන්ග්ටත් එහා ගිහිල්ලා කියනවා, ‘මේක විමල්ගේ ප්‍රබන්ධයක්’ කියලා. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වෘත්තීය අංශයේ නායක කේ. ඩී. ලාල්කාන්ත මහත්තයා මේ ගැන මොකද කියන්නේ? ‘මේ අරගලය මෙහෙයවන ලද්දේ ඇමරිකානු තානාපතිනිය විසින්’ කියන එක ඇත්ත කියලයි ඔහු කියන්නේ. ලාල්කාන්ත මහත්තයා තව අපූරු හෙළිදරව්වක් ද කරනවා. ‘දැනුවත්ව මේ අරගලයට ගියානම් ඒක ජොබ් එක. පැතුම් කර්නර් කරන්නේ ජොබ් එකක්.’ කියලයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ වගේම ඔහු කියනවා, ‘නොදැනුවත්ව අරගලයට ගියානම් ඒක මෝඩකම’ කියලා. එයාට අනුව පැතුම් කර්නර් කරන්නේ ජොබ් එකක්; රැට්ටා මෝඩයෙක්. ඒ කියන්නේ මෝඩකමට වගේම ජොබ් එකක් ලෙස අරගලයට ගියපු අය ඉන්නා බවයි

‘අනුර – ලාල් පරස්පරය’

ඊනියා ගාලුමුවදොර අරගල සමයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහත්තයා පිළිගන්නවා, ‘අපි අරගලයේ ප්‍රධාන කොටස්කරුවෙක්’ කියා. ‘අපේ කලා සංගමය, තරුණ සංගමය, කාන්තා සංගමය මෙහි ප්‍රධාන කොටස්කරුවෝ. අපේ සටන් පාඨ එතැන ක්‍රියාත්මක වුණා. අපි එතැන් සජීවී විකාශ ක්‍රියාත්මක කළා.’ කියා ඔහු පවසනවා. මම දැන් ඉතාම ආදරයෙන් ලාල්කාන්ත මහත්තයාගෙන් අහනවා, ‘ජනතා විමුක්ති පෙරමුණ ගාලුමුවදොර අරගලයේ කොටස්කරුවකු වූයේ නොදැනුවත්ව ‘රැට්ටා’ වගේ මෝඩකමට ද? නැත්නම් ජනතා විමුක්ති පෙරමුණත් එතැන කළේ පැතුම් කර්නර් වගේ ජොබ් එකක් ද?’ කියා. දැන් ඒක ජනතා විමුක්ති පෙරමුණ රටට කිව යුතුයි.

‘රටට කළ අපරාධය’

ඊනියා ගෝල්ෆේස් අරගලය, මේ රටට කරපු හානිය සුළුපටු නැහැ. එමඟින් දහස් ගණනක් මියයාමට නියමිතව තිබුණා. රටම අමු සොහොනක් වීමට ඉඩ තිබුණා. දැන් බලන්න, මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යට කරන්න නව මහ බැංකු පනතක් එනවා. මහජනතාව තම අයිතීන් දිනාගන්න පෙරට එන විට මර්දනයට අවශ්‍ය නීති ඇතුළත් නව ත්‍රස්ත විරෝධී පනතක් එනවා. දහතුන්වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට සැරසෙනවා. පසුගිය දිනවල ඇමරිකාව ‘Top Secret Mission’ එකක් දියත් කළා. සීඅයිඒ ප්‍රධානියා පවා ශ්‍රී ලංකාව තුළට ආවා. ඒ අනුව හෙට දිනයේ ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු යුද කඳවුරකට පාර කැපෙන සෝෆා ගිවිසුමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අත්සන් තබාවි. ඒ වගේම පාඨලී චම්පික රණවක ඇමතිකම් ලබා ගෙන ඇමරිකාව සමග එම්සීසී ගිවිසුමට පාර කපා ගනීවි. එදා ‘Top Secret Mission’ එකක්, කවර හෝ රටට හානිකර මෙහෙයුමක් සිදු වුවහොත් එය රටට අනාවරණය කළේ, ඊට එරෙහිව ජනතා බලවේග සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඉහත කී ඇමෙරිකානු Top Secret Mission එක පිළිබඳව ජවිපෙ නායකයන් කට ඇරියේ නැහැ. ‘මේ සියලු අපරාධයන්ට සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන්, රාජ්‍ය නොවන සංවිධාන නඩය වගකිව යුතුයි’ කියන එක ජනතාවට අපි අවධාරණය කරනවා”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දීපාල් ගුණසේකර මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress