ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර මහාධිකරණයට පැවරීම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක කර ගැනීමට පසුබිම සළසයි.
Posted on May 26th, 2023

නීතීඥ අරුණ ලකසිරි උණවටුන

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක් ලබා දී ඇත.

1972 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ලබා නොදුන් මූලික අයිතිවාසිකම් මුල් අවස්ථා අධිකරණ බලය 1978 ව්‍යවස්ථා සම්පාදකයන් විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දෙන ලදී. මේ මුල් අවස්ථා මූලික අයිතිවාසිකම් අධිකරණ බලය බලවතුන් විසින්  ඉංග්‍රීසියෙන් ක්‍රියාත්මක කර ගත්තේය.

මේ සඳහා කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හැදුවේ නැත.අපාරධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය වැනි කාර්ය පටිපාටි නීති, සහ සාක්ෂි ආඥා පනත වැනි නීති අදාල වන්නේ පහළ අධිකරණ වල මුල් අවස්ථා අධිකරණ බල කාර්ය පටිපාටිවලටය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අවස්ථා අධිකරණ බල කිහිපයක්ම ලබා දුන්නත් කාර්ය පටිපාටියක් පාර්ලිමේන්තුව විසින් හදුන්වා නොදීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය අනුව එකී කාර්ය පටිපාටිය සහ නඩු නිෂ්ප්‍රභ කිරීම සිදු විය.

පහළ අධිකරණ නඩුවක් නිෂ්ප්‍රභා කළ විට හේතු දැක්විය යුතු වුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් නිෂ්ප්‍රභ කළ විට හේතු දැක්වීමක් අවශ්‍ය නොවීය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අභිමතය මැන බලන මිනුම් දණ්ඩක් නොවීය. මේ හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් අවස්ථා අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම ඉංග්‍රීසි දන්නා බලවතුන්ට පමණක් සීමා වීම දිගින් දිගටම සිඳුවන අතර එකී අධිකරණ බලය ක්‍රියාත්මක කර ගැනීම පොදු ජනතාවගෙන් ඈත් වී තිබේ. මෙය වෙනස් විය යුතුය.

1978 ට පෙර මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය හිමිකර දී පහළ අධිකරණ වල නීතිමය සහ සිද්ධිමය වැරදි නිවැරදි කරන අධිකරණයක් බවට පත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමෙන් මෙය පාලනය කළ හැකිය.

මූලික අයිතිවාසිකම් වැනි මුල් අවස්ථා නඩු  මහධිකරණයට පැවරිය හැකිය. ඒ සදහා විධිමත් කාර්ය පටිපාටියක් එනම් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ සාක්ෂි ආඥා පනත දැනටමත් ඇත. එවිට අභියාචනා, ප්‍රතිශෝධනය සහ යථා තත්ත්වයට පත් කිරීමේ අයිතියද රැකිය හැකිය.

නීතීඥ අරුණ ලකසිරි උණවටුන විසින් 2023.05.22 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩු පැවරීමේ වැඩසටහනේදී කළ දේශනයෙන්….(2023.05.22)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress