නතාෂා USAID සේවිකාවක්.. ‘සුද්ධෝදනගෙ කොලුවා’ ඇමරිකා තිර රචනයක්.-ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
Posted on May 30th, 2023

ජාතික නිදහස් පෙරමුණ

බුදුදහමට ගරහන ලද නටාෂා” නමැති තැනැත්තිය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක මෙන්ම USAID ආයතනයේ ද සේවයේ නියුතුව සිටි අයකු බවත් ඇය බුදුදහමට ගැරහීමට සැලසුම්සහගතව ගොඩනගා, වේදිකාගත කළ අයකු බවත් මේ දියත් වන බුදුදහමට ගැරහීමේ මෙහෙයුම අහිංසක එකක් නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(29) සවස බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට විමල් වීරවංශ මහතා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.

ප්‍රශ්නය: අද කවරාකාරයේ සාකච්ඡාවක් ද සිදු වූයේ?

පිළිතුර: අපි තීරණය කළා උත්තර ලංකා සභාගය විදිහට දීපව්‍යාප්ත රැස්වීම් මාලාවක් පැවැත්වීමට. එම රැස්වීම් මාලාව ජුනි 11 වැනිදා පානදුරෙන් ඇරඹීමට නියමිතයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු වූ සහවාසයෙන්” රටේ ආර්ථිකය ගොඩ යයි ද, නැතිනම් තව තවත් වලපල්ලට යයි ද, යන සාකච්ඡාව තමයි අපි එහිදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ

ප්‍රශ්නය: දැන් ආණ්ඩුව ජනාධිපතිවරණයකට සූදානම් වන බව කියැවෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර: දැන් ජනාධිපතිවරණයක් නියමිත කාලයකට පෙර පැවැත්වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. එවැන්නක් අවශ්‍ය වන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට තමාට පෙර සිටි ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලය නොලැබෙන නිසයි. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයාට නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයකට යාමට අවශ්‍ය නම් ඔහු විසින් පාර්ලිමේන්තුවට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

ප්‍රශ්නය: IMF විස්තීරණ ණය පහසුකම ලබාගැනීමේ විවාදයේදී සජබය ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. එය ඊට වක්‍රාකාරව සහයෝගය ලබා දීමක් නොවෙයි ද?

සජබය පමණක් නොවෙයි, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්තිලා කිව්වෙත් IMF එකට යන්න” කියලානෙ. ඉතින් ආණ්ඩුව එහෙම IMF එකට ගිහින් කර තියාගෙන ආපු වට්ටෝරුව අනුව කරන දහදුරා බලු වැඩ ටික” මේ අය අනුමත කරන්න ඕනේනෙ. එක්කෝ නිහඬව සිටීමෙන්, එහෙම නැතිනම් පක්ෂ වීමෙන් විපක්ෂය කරන්නේ IMF වට්ටෝරුව අනුමත කිරීම මිස වෙන කිසිවක් නොවෙයි.

ප්‍රශ්නය: ආණ්ඩුව දැන් IMF ගිහින් ඇවිත් ජනතාවට සහන දෙන බවක් පෙනෙනවා නේද?

පිළිතුර: වැටුණු ආර්ථිකය ගොඩගැනීමේ උපායමාර්ගික සැලැස්මක් ආණ්ඩුව අතේ නැහැ. ඒ වෙනුවට මේ අය කරන්නේ කලින් කළා වගේ ණයට අරන්, සහන දිදී, එදාවේල පිරිමහ ගන්නා තම ආර්ථික මොඩලය ඉදිරියට ගෙන යාමයි. මේකෙන් වෙන්නේ භයානක අවදානමක් නිර්මාණය කරගැනීම. ඉදිරියේදී මේ පවතින තත්ත්වයට වඩා භයානක තත්ත්වයකට රට ඇද වැටෙනවා.

ප්‍රශ්නය: පොසොන් උත්සවයට රාජ්‍ය අනුග්‍රහය නොදැක්වීමත් IMF උවමනාවට වන දෙයක් ද?

පිළිතුර: ඒක ආණ්ඩුවෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. නමුත් පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් නම් රජයක් හැටියට එයට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි. මේ රට ථේරවාදී බුදුදහම මත පදනම් වූ රටක්. එවැනි රටක රජයක්, පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ, කියන්නේ බරපතළ, කනගාටුදායක තත්ත්වයක්. IMF එක කිව්වත් නැතත් ආණ්ඩුව කරන්නේ ඉතාමත් පිළිකුල්සහගත ක්‍රියාවක්.

ප්‍රශ්නය: බුදුදහමට අපහාස කිරීමේ කටයුත්ත පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද? ජාත්‍යන්තර බලවේග ද?

පිළිතුර: අර නටාෂා කියන තැනැත්තිය ගැන ඔබ සොයලා බලන්නකො. ඇය ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක සේවය කළ තැනැත්තියක්. ඊට අමතරව USAID ආයතනයේ සේවය කළ අයෙක්. එහෙම චරිත තමයි සුද්ධෝදනගෙ කොලුවා” කියමින් බුදුදහමට ගරහන්නේ. මේ අය නිකම් එන්නේ නැහැ. ඔවුන් සැලසුම්සහගතව, ගොඩනඟලා, වේදිකාගත කරලයි තිබෙන්නේ. මේක අහිංසක මෙහෙයුමක් නොවෙයි”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress