ගජේන්ද්‍රකුමාර්ට යට නොවූ පොලිස් සැරයන්ගේ කතාව
Posted on June 6th, 2023

Courtesy Adaderana

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්‍ත්‍රීවරයා සමග ආන්දෝලනාත්මක සිද්ධිය ඇතිවූ පොලිස් නිලධාරීයා වන්නේ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාය.

ඔහු 1990 වසරේදී ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරමින් සිටින අතරතුර LTTEයේ පැහැරගැනීමට ලක්වී එම කඳවුරක වධ බන්ධනවලට ලක් වූ අයෙකි.

එල්.ටී.ටී.ඊ.යෙන් නිදහස ලබා පැමිණි සනත් ගුණවර්ධන පොලිස් සැරයන් ධුරයට උසස් කෙරුණු අතර යළි උතුරු පළාතට ස්ථාන මාරුවක් ලද ඔහු එහි රාජකාරී කරමින් සිටින අතරතුරයි මෙම සිද්ධියට මුහුණ දී තිබුණි.

මේ අතර පොලිස් නිලධාරීන් පිරිසක් සමග ආරවුලක් ඇති කරගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ.

මේ අතර මන්ත්‍රිවරයා සිය බලතල අවභාවිත කර ඇති බැවින් ඔහුට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිවිල් සංවිධානයක් කථානායකවරයා වෙත සංදේශයක් අද භාරදුනි.

වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සහ පොලිස් නිලධාරීන් පිරිසක් අතර ආරවුලක් ඇතිවූයේ පසුගිය දෙවැනිදාය.

සිද්ධියට අදාළව කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුවීම පිළිබඳ තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස මේ වන විට පොලිසියට දැනුම්දී තිබේ.

මේ අතර කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් පිරිසක් අද සිය නිවසට පැමිණ සිංහල භාෂාවෙන් ලිඛිත නිවේදනයක් තමාට ලබාදුන් බව පොන්නම්බලම් මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.

මන්ත්‍රිවරයා සඳහන් කර තිබුණේ නමුත් සිංහල ලිවීමට හෝ කියවීමට නොහැකි නිසා තමා එය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවය.

පසුව පොලිස් නිලධාරීන් එය සිංහලෙන් තමා ඉදිරියේ කියවූ බවත් එහි ප්‍රකාශ වූ පරිදි තමාට ජුනි 8 වැනිදා උදෑසන 10 ට මරදන්කේනි පොලිසියේ පෙනී සිටීමට සිදුව ඇති බවත් මන්ත්‍රිවරයා පවසා තිබුණි.

එමෙන්ම තමා පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන තෙක් සිය විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් කිලිනොච්චි අධිකරණයෙන් නිකුත් කර ඇති බවත් මන්‍ත්‍රිවරයාගේ ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත.

පොලීසිය පවසන්නේ එම පණිවිඩය දෙමළ බසින් ලිඛිතව යළිත් වරක් මන්ත්‍රිවරයා වෙත ලබාදීමට අද පස්වරුවේදී  පියවර ගත් බවය.

මේ අතර ගජේන්ද්‍ර කුමාර් මන්ත්‍රිවරයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල අවභාවිත කර ඇති බැවින් එම හැසිරීම සම්බන්ධයෙන් නිතීමය පියවර ගන්නැයි ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් භාරදීමට සිංහල රාවය සංවිධානය පාර්ලිමේන්තුව පිවිසුම අසලට අද පැමිණියේය.

පසුව පාර්ලිමේන්තුවේ සහකාර වේත්‍රධාරිවරයා එහි පැමිණ ලිපිය භාරගත්තේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress