ඉතිහාසගත සාක්ෂි අනුව පුරාණයේ ලංකාවෙන් බිහිවූ එකම දෙමළ බෞද්ධයෙක්වත් නැත
Posted on June 30th, 2023

Dilrook Kannangara

බෞද්ධ සිද්ධස්ථාන පිළිසකර කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු සහ අනෙකුත් දෙමළ පුද්ගලයන් කල්ලි ගැසී ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරකම් රටේ නීතියට සහ සංහිඳියාවට පටහැනි වෙතත් ඔවුන්ට විරුද්ධව කිසිම දඬුවමක් ක්‍රියාත්මක නොවීම රටේම කරුමයකි. දෙමළ ත්‍රස්තවාදීන් පවා අත නොතැබූ කුරුන්දි බෞද්ධ විහාරයේ නටබුන් වැනසීමට තැත්කිරීම සාපරාධී වරදකි.

මෙම බෞද්ධ විරෝධයට වක්‍රාකාරයෙන් දායක වන පිළිලයකුත් සිටියි. එම පිළිලයේ අරමුණ අතීතයේ නොසිටි ලංකා දෙමළ බෞද්ධ ප්‍රජාවක් මනංකල්පිතව නිර්මාණය කර ඒ මතින් බෞද්ධ විහාර බිම් කෝවිල්කරණය සඳහා දෙමළ ජනතාවට පැවරීමය.

ලංකාවට ඉන්දියානු භූමියේ තමිල් නාඩුවෙන් පැමිණි බෞද්ධයන් ගැන ඉතිහාසය සාක්ෂි දරයි. බුද්ධඝෝශ එවැන්නෙකි. ඔවුන් ඉන්දියාවේ තමිල් නාඩුවේ ඉපිද, එහිම හැදී වැඩී ලංකාවට අමුත්තන් ලෙස පැමිණ ඇත. මෙලෙස බුරුමයෙන්, තායිලන්තයෙන්, ජාවා දූපතෙන්, කාම්බෝජයෙන්, කාලිංඝ දේශයෙන් (ඔරිසා ප්‍රාන්තය), චීනයෙන් සහ වෙනත් බොහෝ විදේශයන්හි සිට බෞද්ධයන් ලංකාවට පැමිණි බවට සාක්ෂි ඇත.           

එහෙත් ලංකාවේ බිහිවූ එකදු දෙමළ බෞද්ධයෙකු ගැන ඉතිහාසගත සාක්ෂි කිසිවක් නැත.

එසේම ලංකාවේ බිහිවූ එකදු බුරුම හෝ වෙනත් බෞද්ධයන් ගැනවත් ඉතිහාසගත සාක්ෂි කිසිවක් නැත.

මෑත කාලීන පුද්ගලයන්ගේ මතිමතාන්තර ඉතිහාසගත සාක්ෂි නොවේ. ඒවා හුදෙක් පුද්ගල අදහස් පමණකි.

තමිල් නාඩුවේ සිටි දෙමළ ජාතිකයෙකු විසින් රචනා කල මණිමේඛලා ග්‍රන්ථය ඉතිහාසගත සාක්ෂියක් නොවේ. එය අදහාගත නොහැකි සිදුවීම් සහිත සුරංගනා කතා සමුදායක් පමණි. එහි එන සියල්ල මනංකල්පිතය. කතා කරන සතුන් නැතුවා සේම දෙමළ බෞද්ධ ජනපද ද ලංකාවේ එකල නොවීය. එහි ලේඛකයාවත් එය ඉතිහාසගත  සිදුවීම් ලෙස නොතකයි!

අශෝක අධිරාජ්‍යයා ලංකාවට බෞද්ධ ධර්මය වැඩම කල ගොඩබිම් හෝ මුහුදු මාවත ඉන්දියාවේ තමිල් නාඩුව හරහා නොවීය. තමිල් නාඩුව (එකළ තමිලාකම්) අශෝක අධිරාජ්‍යයට අයත් නොවීය. ලංකාවට පමණක් නොව වෙනත් දුරස්ථ දේශයන්ටත් ධර්ම දූතයන් යැවූ බවට ඉතිහාසගත සාක්ෂි ඇත. සාපේක්ෂව ලංකාවට අශෝක අධිරාජ්‍යයේ සිට පැමිණීම ඉතාම පහසු කාර්යයක් විය. විජිත, අනුරාධ ඇතුළු අති විශාල පිරිසක් උතුරු ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියේ මිහිඳු හිමියන්ට වඩා සියවස් ගණනාවකට ඉහතය.
    
අද ලංකාවේ දෙමළ බෞද්ධයන් ස්වල්පයක් වාසය කරයි. ඒ ගැන විවාදයක් නැත. තමිල් නාඩුවේ මිලියන 73 ක දෙමළ ජනතාව අතර දෙමළ බෞද්ධයන් 15,000ක් පමණ වාසය කරයි. ඒ ගැනද විවාදයක් නැත. ලංකාවේ දෙමළ ජනතාවගේ ආගමික, සංස්කෘතික, කලාත්මක සහ අනෙකුත් අනර්ඝ නිමවුම් සහ වටිනාකම් ගැනද කිසිම විවාදයක් නැත. ඒවා සැමගේ ගෞරවාදරයට බඳුන් වේ.

එහෙත් පුරාතන ලංකාවේ බිහිවූ එකදු දෙමළ බෞද්ධයෙකු ගැනවත් ඉතිහාසගත සාක්ෂි කිසිවක්ම නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress