පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ ජර්මන් ලංකා ව්‍යාපෘතිය
Posted on June 30th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.  

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් කරයි. ජර්මනියේ සන් ෆාමින් ගෘප් ඒජී (SunFarming Group AG) හි සභාපති පීටර් ෂ්‍රම්ගේ ප්‍රධානත්වයෙන් යෝජිත ආයතනයේ කණ්ඩායමක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ මේ පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය පුනර්ජනනීය බලශක්තිය, නවීන කෘෂිකර්මාන්තය සහ විද්‍යුත් සංචලනය කෙරෙහි අවධානය යොමු කරමින් තිරසාර සහ දේශගුණික හිතකාමී තාක්‍ෂණයන් සඳහා ශක්‍යතා ගොඩනඟන්නක් සහ තාක්‍ෂණ හුවමාරු වේදිකාවක් බව ස්ක්‍රම්  (Schrum) මහතා අග්‍රාමාත්‍යවරයාට පැහැදිලි කළේය. යෝජිත ව්‍යාපෘති පහසුකම තුළ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම, කාර්මික පුහුණුව මෙන්ම පර්යේෂණ සහ සංවර්ධන අවකාශ ලබා දීමෙන් පුළුල් කුසලතා සංවර්ධන වැඩසටහන් සඳහා ව්‍යාපෘතිය සැලසුම් කර ඇත.

පාරිසරික ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවත් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය පිළිබඳව ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා වන එවැනි ව්‍යාපෘති සඳහා රජයේ සහයෝගය ලබා දෙන බවටත්   අග්‍රාමාත්‍යවරයාට සහතික විය. ජර්මන් කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය සහ පරිසර අමාත්‍යවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

සන් ෆාමින් ලංකා  ප්‍රයිවට් ලිමිටඩ් ( Sunfarming Lanka (Pvt) Ltd) හි උපදේශක විනෝද් මුණසිංහ මහතා, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ  ජයන්ත ජයමාන්න මහතා  මෙම සාකච්ඡාවට සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress