බුදු සමය හා මාක්ස්වාදය – part-II (ඥානසාර හිමියන්ගේ මස් රාත්තල හා ලාල් කාන්තගේ පිරිත් නූල)
Posted on September 10th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D

(544) සමහර පැරණි JVP සාමාජිකයෝ ඉදිමිලා-ඉදිමුවට තෙල් සාත්තුවක් දෙන්න වෙනවා – YouTube

මෙම වීඩියෝවේ පානදුරේ ලාල් විසින් කියන්නේ ඥානසාර හිමියන් වුනත් රවටාගෙන JVP එක ඩබල්ගේම් ගැසිය යුතු බවය. 1977 දී JRJ බෞද්ධ දර්ශන මහාචාර්ය W. S. කරුණාරත්න යොදවා ධර්මිෂ්ඨ සමාජයක් නම් ඩබල්ගේම් එක ගසා සිංහල බෞද්ධ ජනයා මුලාකල පරිදිමය.

ගාන්ධිත් ඩබල්ගේම්කාරයෙක්ද?

මෙම ලිපියේ 1 කොටසේ හඳුනාගත් ප්‍රවාහ (මුර දේවතා හා මාක්ස්වාදී/ක්‍රිස්තියානි යන) දෙකේම <ඩබල් ගේම්කාරයින්> සිටියේය, සිටින්නේය. මින් අදහස් කරන්නේ මහජන සේවය සඳහා යයි ඉදිරියට පැමිණ, වංක හා ආත්මාර්ථකාමී  ලෙස හැසිරෙන පංචස්කන්ධ ය. ඒ මිසක් ඔවුන්ගේ පුද්ගලික දින චර්යාවන් නොවේ. ලංකාවේ යූටියුබ් මුදලාලිලා වනාහි යම් සමාජ සේවයක් කරණා ගමන්ම යූටියුබ් නිදහස කෙළෙසමින් පාවෙන ඔරුය. සත්‍යය අර්ධ සත්‍යයෙන් වසන්නේය. මෙවැනි ඩබල්ගේම් වියහැකි උදාහරණයක් වශයෙන්, ජෙනරාල් කොබ්බෑකඩුවගේ ආදාහනයට කනත්තට ආ ගංඟාරාමයේ ගලබොඩ ඤානිස්සර හාමුදුරුවන්ගේ සිවුර මිනිසුන් විසින් බලෙන් ගැලවූ විට ඔහුගේ ඉණේ පිස්තෝලයක් තිබුණා යයි යූටියුබ්  ප්‍රවෘතිය සඳහන් කල හැකිය.

කාගම සිරිනන්ද හාමුදුරුවන් කියන අන්දමට, <පුතේ සිවුර කියන්නේ කැළයක්> නම්, ඕනෑම හොරෙකුට එහි සැඟවීමට හැකිය. මෙවැනි හොරුන් 40 කට වඩා BBS නායක ඥානසාර හිමියන් විසින් සිවුරු ගලවා පලවා හැර ඇති බව දන්නේ රටේ කී දෙනාද? දුස්සීල භික්ෂූන් පුද්ගලිකව, පන්සලේදී සිවුර රැවටුවත්, සිවුරෙන් ගම-රට රැවටිය යුතු නැත. සේපාල්ලා, සුදත්තලා හා නාගානන්ද කොඩිතුවක්කු පවා, සංඝ සමාජයට පොදුවේ පහර දෙන්නේ මේ හේතුව නිසාය. ඒ අස්සේ අලි මදිවාට හරක් මෙන්, 500 ක් පමණ පිරිසක් සිවුරු පොරවා බුද්ධාගමට නිග්‍රහ කිරීම සඳහා යොදා ගැනීමේ ප්‍රොජෙක්ට් එකක් ගැන බුද්ධි අංශ  විමර්ශනය කරනවා යයි වාර්තාවක් නොබෝදා පලවිය.

යමෙකුගේ සමාජ සේවා ජීවිතය සම්බන්ධයෙන් මා අන්ද මන්ද වූයේ ගාන්ධිගේ ඩබල් ගේම් එක ගැන අම්බෙඩ්කාර් 1955 දී කල එලිදරව්වක් ලඟදී දුටු විටය. ඔහුට අනුව ගාන්ධිගේ ගුජරාති භාෂා පත්තරේ වර්ණාශ්‍රම ධර්මය (කුල භේදය) ගැන කියන ගමන් ඉංග්‍රීසි පත්තරේ මිනිසුන්ගේ සමානකම ගැන ලිව්වේය. මෙම ඉංග්‍රීසි පත්තරේ ගැන පමණක් දැනසිටි බටහිර වාර්තාකාරයෝ ගාන්ධිව ඉහලට ඉස්සුවේය. අවුරුදුපතා කරණ ගුණ සැමරුම නිසා නොවේ නම් ගාන්ධිව අමතකව යන බව ඔහු 1955 දීම කියයි!

(541) Bhimrao Ambedkar’s iconic interview from 1955 | Archives | BBC News India – YouTube

හාමුදුරුවරු මාක්ස්වාදීන්ට <බෞද්ධ කල්කයක් > (කෂායක්?) පෙවීමට ගත් උත්සාහ

Ven. Saranankara – BUDDHIST – MARXISM ALLIANCE (UK) (weebly.com)

Buddha, Marx & Matter – BUDDHIST – MARXISM ALLIANCE (UK) (weebly.com)

ධර්මපාලතුමාගේ ආභාෂයට වැටුණ උඩකැන්ඳවෙල සිරි සරණංකර සාමනේර හිමි ඔහුවත් බුද්ධගයාවට ගෙනයන ලෙස ඇවිටිලි කලේය. ඉන්දියාවට ගිය පසු තාගෝර්ගේ ශාන්ති නිකේතනයට සම්බන්ධවූ එතුමා, ක්‍රමයෙන් ඉන්දියාවේ අධිරාජ්‍යවිරෝධී නිදහස් අරගල සටනේ පෙරමුණට තල්ලුවී ගියේය. කීප වරක්ම හිරගතවීමටද සිදුවිය. ඔහු ලංකාවට ආවේ විප්ලවකාරයෙක් වශයෙනි. කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙක් (සභාපති?) විය. මෛත්‍රීය වෙනුවට පන්ති සටන වැදගත් විය.

සතුරා මිතුරා කර ගන්නා ක්‍රම හා විධි ඕනෑතරම් සූත්‍ර පිටකයේ නැද්ද? බඹරැන්දේ සිරි සීවලී, මාපලගම විපුලසාර වැනි හාමුදුරුවරුද වාමාංශික දේශපාලන නැඹුරුවක් තිබු අයය කියා මා අසා ඇත. වඩාත් මෑත කාලයේදී, රුහුණු විශ්ව විද්‍යාලයේ සේවයකල, විලේගොඩ අරියදේව (අම්බලන්ගොඩ ශ්‍රී විජයරාම විහාරය) හිමියන්ද කූඩැල්ලන් මෙට්ටය උඩ තැබීමේ උත්සාහයක නියැළුනාසේ පෙනීගියේය. හෙදි වෘත්තීය සමිතිය භාරගත් මුරුත්තෙවට්ටුවේ ආනන්ද හිමියන් පවා ආරම්භයේදී JVP සපෝටර් කෙනෙක් විය.  මෙහි පහලින් ඇති වාරණ ආනන්ද ජයකොඩි සමඟ සේපාල් කරන වීඩියෝව බලන්න.

(558) ” ගෝනවල සුනිල්ලාට අපි දුවනකං ගැහැව්වා…” – YouTube

බුදු සසුන හා මාක්ස්වාදය තෙල් හා වතුර කරගෙන තමනුත් රටත් විනාශ කල ලංකාවේ වාමාංශික ප්‍රවාහයේ වත්මන්­­­­ ස්වරූපය වටහා ගැනීමට ඇති කදිම නිදසුන් දෙකක් සේපාල් හා ලාල් කාන්ත  යන දෙන්නා විසින් රටට සපයා දුන්නේය. අනිකුත් ඥානසාර විරෝධී යූටියුබ් කට්ටි  (DBS ජෙයරාජ්, Colombo Telegraph, සේපාල්, සුදත්ත, සන්නස්ගල, බෲනෝ දිවාකර- හසලක තුෂාර-අභිෂේකා කෙළී slvlog ත්‍රිත්වය, ප්‍රංශයේ භාරත තෙන්නකෝන්, උඩුවරගෙදර ඉළන්දාරියා, පානදුරේ ලාල්, කල්ප ගුණරත්න) ලාල් කාන්තගේ පිරිත් නුල ඉදිරියේ ගලේ පැහරූ බළලුන් මෙන් තුෂ්නිම්භූතව සිටියේය. එහෙත්  සේපාල්ට ඔහුට ඇති ඓතිහාසික <ඥානසාර මචං> වෛරය ගිලගෙන සිටීමට නොහැකිවිය. මේ මඟින් <ඥානසාර දමණයක්> වෙනුවට ඔවුන් දෙන්නාගේම නිරුවත් එලිවිය.

මෙහි ඛේදජනක කතාව නම් මේ අසාධාරණ කතා වලට පිළිතුරුදීමට ඥානසාර හිමියන්ට අවස්ථාවක් නැතිවීමය. යුටියුබ්, ට්විටර් හෝ මුහුණු පොත් ලෝක මට්ටමින්ම උන්වහන්සේට තහනම් කර ඇත. ව්‍යාජ නමකින් එය කිරීමට උන්වහන්සේ සූදානම් නැත. පානදුරේ ලාල් නමැත්තා දිගින් දිගටම ගිරවෙක් මෙන් ඥානසාර හිමියන්ට කරණ අභූත චෝදනා වලට විරුද්ධව ඔහුගෙන් වන්දි ඉල්ලා නඩුවක් පැවරිය යුතුයයි මම සිතමි.

වාමාංශික කළු සුද්දෝ

පන්සලේ ඉතිහාස කතාවේ අවධි  සමඟ ලංකාවේ මාක්ස්වාදී  ව්‍යාපාරයේ ඉතිහාසය සසඳන විට එය බංගවේවා කතාවකි. බ්‍රේස්ගෙඩල් කතාවෙන්, සූරියමල් ව්‍යාපාරයෙන්, හිරගෙදරින් පැන යෑමෙන් (ජේලර්ගේ අනුදැණුමෙන්). මැලේරියා කාලයේ ලොරිවලින් බඩු ගෙන ගොස් බෙදාහැරීමේ හෝ ලෙස්ලි ගුණවර්ධන හාමුදුරුකෙනෙක් මෙන් වෙස්වලාගෙන දාන ගෙදරකදී D. B. ජයතිලක ඇමතිට රහසින් ලියුමක් දුන්නා වැනි සුරංගනා කතා ප්‍රචලිත වුවත් මොවුන්ගේ ස්වයංහීලෑවීමක් සිදු නොවීය. ධම්මපදය හෝ පන්සිය පනස් ජාතක පොත තබා ලෝවැඩ සඟරාවවත් ඔවුන්ට අරහංවිය.

1930 ස් ගණන්වල නොව 1960 ගණන්වලදීවත් ලංකාවේ හෝවිමින්ලා වීමට NM ලාට ඉඩ තිබුණි.  පිලිප් මීට වෙනස් වුනත් <රදළ අම්මන්ඩි> සමඟ වෛරය නිසා 1964 දී UNP-Lake House උගුලට අසුව අසරණ විය. දෛවෝපගතව මෙන් මේ වන විට දිනේෂ් ගුණවර්ධනද මෙසේ අතරමංව සිටී. 1940 දශකයේ කළුකොඳයාවේ නාහිමියන්ගේ අපරාධ මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත වැඩ සටහනට සමසමාජකාරයින්ට හවුල්වීමට හොඳටම අවස්ථාවක් තිබුණේය. තමන් හෝටල්වල විස්කි බොමින්, කෙස් පැලෙන තර්ක කරමින් සිටිමින්, මයි දිනය පාරේ කඩ සාප්පුවලට ගල් ගසන සටන් පෙලපාලියක් විය. අන්තිමේදී විරුද්ධ පාක්ෂිකයින් ගමේ රබර් ගස් වලට මුවාවී රැට බස්වලින් ගම් බලා එන මේ සටන් කරුවන්ට ගල් ගැසුවේය.

සාදුකින් පෙළීම බුද්ධ ධර්මයේ හඳුනාගෙන ඇත. බණකියන්නට පෙර දායකයාගේ කුස ගින්න නිවන්නට කියන්නේ ඒ නිසාය. දුප්පත්කම ලෝකයේ හැමදාම තිබෙන නිසා ඔවුන් ගැන පසුවට සළකන්නට හකි බවත් ඒ නිසා ගෝලයින්ට තමන්ගේ අවසාන භෝජනයට සහභාගිවීම් මිස්කර නොගන්නා ලෙසත් ජේසුතුමා කිව්වේය! ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට ඔක්ෂිජන් සැපයුවේ සුද්දන්/කළුසුද්දන්ගේ සම්පත් හා ශ්‍රමය සූරාකෑමේ ක්‍රමය නිසාය. මේ නිසා ඔවුන්ට නිරන්තරයෙන්ම <සටනට> සුදානම් පංචස්කන්ධ ගොඩවල්, තේ-රබර් වතුවලින් හෝ වරායෙන් හෝ පාරෙන් හෝ යනාදී වශයෙන් සැපයුනේය. දැන් 2023 අගදී අවුරුදු 75 ක් පුරා සිදුවූ අවපාලන ක්‍රමය (system of exploitation-corruption-mismanagement) නිසා JVP එකට උඩ පැන පැන තඩිබාන්නට සිංහල බෞද්ධ සංස්කෘතිය නමැති මුව හමක් ලැබී ඇත.

බංගවේවා සංස්කෘතිය දේශපාලන හතුරා ඝාතනය දක්වා උඩුදිවීම

UNP Land Army 1965à à JVP 1971

කම්කරුවන්ගේ වෘත්තීමය සේවා අවශ්‍යතා රැක ගැනීම හා දිනාගැනීම සඳහා  උදෙසා පැවති වැඩවර්ජනය කිරීමේ අයිතිය පක්ෂ දේශපාලන උපකරණයක් ලෙස යොදා ගැනීම 1956 න් පසු  ආරම්භවිය. 1959 බණ්ඩාරනායක ඝාතනයට කලින් ඔහුට වසදීමේ උත්සාහය වැරදී ගියේ වස සහිත කිරිවීදුරුව කැබිනට් ඇමති CPde සිල්වා විසින් බීම නිසාය. 1962 දී පොලිස්-නේවි ක්‍රිස්තියානි කුමන්ත්‍රණය අවිහිංසාවාදී එකක් යයි එහි නායක CC දිසානායකගේ පුතා ලියූ පොතක සඳහන් කර ඇත. 1965 UNP-FP ආණ්ඩුවේ ඉඩම් උප ඇමතිවූ මහියංගන මන්ත්‍රී CPJ සෙනෙවිරත්න හමුදා නිලධාරියා විසින් සංවිධානය කල ගොවි භට හමුදාව (land army) සිවිල් නාමයකින් මිලිටරි පුහුණුවක් ලබාදීමක් විය. මේ නිසා මීට ප්‍රතික්‍රියාවක් වශයෙන් සිය චන්ද කොට්ඨාශ තුල තරුණයින් පෙලගැස්වීමට SLFP-LSSP විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ක්‍රියාකලේය.

මෙම තරුණයින්ට <සිස්ටම් චේන්ජ් කිරීම> පිළිඹදව නොයෙක් පොරොන්දු දුන්නත් 1970 බලයට ආ වහාම, උදාහරණයක් වශයෙන්,  පානදුරේ ලෙස්ලි ගුණවර්ධනත්, කෝට්ටේ ස්ටැන්ලි තිලකරත්නත් මෙම තරුණයින් විප්ලවකාරයින් ලෙස හඳුන්වා කොන් කිරීමට ක්‍රියාකලේය. 1971 දී ජාතික විමුක්ති පෙරමුණට (JVP) බැඳුනේ මේ තරුණ පිරිස්ය.  ඉඩම් බෙදා දෙනවා කියා ලෙස්ලි දුන් පොරොන්දුව උඩ චන්දය දිණූ වහාම පානදුරේ පොල්වත්තක් අල්ලාගත් පිරිස පොලිසිය යොදවා ඉවත් කරන්නට ලෙස්ලි ක්ෂණිකව ක්‍රියාකලේය.

ස්ටැන්ලිගේ චන්ද රැස්වීම් වලට වේදිකා හදන්නට පුවක් කඳන් කර ගැසු අපිව විප්ලවකාරයින් කියා හංවඩු ගසන්නට ඔහු ක්‍රියාකලායයි මට 1971 දෙසැම්බර් මාසයේදී වැලිකඩ හිරගෙදරදී පැවසුවේ මහරගම ගුරු විද්‍යාලයේ  අයට පන්ති පහ ඉගැන්වීම භාරව සිටි JVP නායකයාය (මා JVP රැඳවියන්ගේ කට උත්තර සටහන් කර ගැනීම සඳහා රජයෙන් පත්කල සිවිල් නිලධාරීන් 200 දෙනාගෙන් කෙනෙකි).

වික්ටර් අයිවන්ලාගේ ඩබල්ගේම්

1971 කැරැල්ල මෝඩ වැඩක් යයි 2022/3 දී වික්ටර් අයිවන් කරණ ප්‍රකාශය කිරා මැන බැලිය යුතු ඉහත ජේද සමඟ ගලපමින්ය. දහස් ගණන් අවංක අහිංසක තරුණ තරුණියන් පන්ති සටනකට ගෙන ගොස් විනාශකල නායකයින් අතර වික්ටර්, ලයනල් බෝපගේ, ජයදේව උයන්ගොඩ, (ගාමිණී වියන්ගොඩ?) වැන්නන් සිටියේය. ඒ නායකයින් හැමදෙනාම වගේ නැවත ඉපදී සුඛෝපභෝගී ජිවිත ගතකරමින් සිටී.

විජේවීර සමඟ එක කාමරයේ නිදාගත් අයෙකු මට කිව්වේ පන්ති පහ ඉගැන්වීමට සිටි අය දැන සිටි අණ්ඩර දෙමළයක් නැති බවය. තේවතු නැවත කැලෑ කිරීම ගැන තේ කොමිෂන් වාර්තාවෙන්ද නිර්දේශ කර ඇති බව ඉහල නායකයින්වත් ගම්වල නායකයින්වත් දැන සිටි බවක් සටහන් වූයේ නැත. දුප්පත් පොලිස්කාරයින් මරනවා වෙනුවට කල යුතුව තිබුණේ ASP ලාව කිඩ්නැප් කරගෙන ගොස් සඟවා තැබීම නොවේද?

කුල භේදය හා පන්ති සටන ගැන නිතරම කියමින් වික්ටර් අයිවන් පොත් ලිව්වේය. ඇතැම් කුල හා JVP අතර සම්බන්ධයක් පෙන්වමින් A.C. අලස් විසින් ලියු පොතක (1990)  සටහන් කර ඇත. ගොවිගම  නොවන කුලවල ජනයා වැඩියෙන් සිටින ප්‍රදේශ වල JVP සටන් උග්‍රවූ බව  බර්නාඩ් ස්වෝන් නම් භූගෝල විද්‍යාඥයා විසින් ලියන ලද Sri Lankan Mosaic  (1987) යන පොතේ ඇති සිතියමෙන් පෙනී යයි (325 පිටුව). 1971 කැරැල්ලේදී අකුරැස්සේ කඩ කඩා ඒවායේ බඩු හකුරු කුලයේ ජනයාගේ ගෙවල් වලට ගෙනගිය බව මගේ සහෝදරයා මට කිව්වේය. මෙය විනයකින් තොරව, සංවිධානාත්මකව නොකල හදිසි අසහනයක ප්‍රතිඵලයය. තම පියා කොමියුනිස්ට් පක්ෂයට දර දිය ඇද අසරණව සිටිනවා දුටු විජේවීර ඒ නිසාම ඔහුට ලබුණ රුසියාවේ ශිෂ්‍යත්වයෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන නොමේරු හෝ චිමින් කෙනෙක් වීමට සිතුවේය. මෙය සැසඳිය යුතු රුසියාවට ගිය ඔහුගේ පුත් උවිඳු ගේ ප්‍රඥාවන්ත වත්මන් ක්‍රියා කලාපය සමඟය.

LSSP-CP පක්ෂ දෙක SLFP සමඟ සන්ධානගතවී පාර්ලිමේන්තු පාර තෝරා ගත් විට, 1964 දී N. ෂන්මුගදාසන්ගේ නායකත්වයෙන් බිහිවූ විප්ලවකාරී කොමියුනිට්ස් පක්ෂය (Revolutionary Communist Party), යාපනේ කුල පීඩනයට විරුද්ධව බලවත් සටනක් 1966 ඔක්තෝබර් 21 දා ආරම්භ කලේය.  මෙය 1957 දී MEP මහජන ආණ්ඩුව පැනවූ Prevention of social disabilities Act,  නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලයකි.

ND23.doc (marxists.org)

සිය මාක්ස්වාදී අඥාන දේශපාලනය නිසා 1977 දී සිට LSSP හා CP පක්ෂ දෙක දියවී ගියේය. ඔවුන්ට 1964 දී රාජ්‍ය පාලනයට සහභාගී වීමට අවස්ථාවක් ලැබීමත් සමඟ සිය ප්‍රතිපත්ති සිංහල බෞද්ධ සංස්කෘතිය හා බද්ධ කර ගැනීමට  ඉඩක් තිබුණත් එය මාක්ස්වාදී හැවට යටවී ගියේය. උදාහරණයක් වශයෙන් රජයේ රැකියා සඳහා චන්ද කොට්ඨාශයේ මන්ත්‍රීගෙන් නිල වශයෙන් ලියුමක්  ගෙන ඒම ආරම්භකලේ ඔවුන්ය. ජනතා සභා (people’s committees) සංකල්පය නුසුදුසු පක්ෂ දේශපාලක ඉත්තන් දමා විනාශකර ගත්තේ ඔවුන්ද හවුල්වීය.

JR හා R ප්‍රේමදාස JVP එක විනාශ කිරීම

JR විසින් JVP හිරකරුවන්ට අභයදානය දුන්නේ විදේශ විනිමය වංචා නිසා රටට ඒමට නොහැකිව සිටි සර් ඔලිවර් ඇතුළු පිරිසට නිදහස දීම උදෙසාය. ඒ මිසක් ධර්මිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක් උදෙසා නොවේ. මිසිස් බී ගැන නොතිබූ අනුකම්පාවක් ඔහුට JVP එක ගැන තිබිය හැකිද? මෙම නියම කතාව තේරුම් නොගත් විජේවීරලා පරණ පාරේම යමින් විප්ලවයක් කරන්නට සිතුවේය. ඒ වෙනුවට මහජන බලවේගයක් ගොඩනඟන්නට ඔවුන්ට අවකාශයක් තිබුණේය. මේ සඳහා ආකල්පමය වෙනසක් නොකෙරුණේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතවීමට තිබූ  නොහැකියාවය. මේ නිසා අන්තිමේදී අවිගත්තෝ අවියෙන්ම නසී යන චක්‍රයට ඔවුන් අසුවිය.

තමන් එකම සමාජ පන්තියේ අය වශයෙන් ප්‍රභාකරන් හා විජේවීර සමඟ ගනුදෙණු කල හැකියයි ප්‍රේමදාස සිතුවා විය හැකිය. ඔහු ඉන්ටර්ෆේත් ජරමරය කරට ගත් හිට්ලර්වාදියෙක්ද විය. කෙසේ වෙතත් ඔහු විජේවීරට දිගුකල අත ප්‍රතික්ෂේප කිරීම මෝඩ තීරණයකි. මේ නිසා JR කාලයේ සිට ඇතිවූ ක්‍රියා-ප්‍රතික්‍රියා යන්ත්‍රය රටේ විශාල තරුණ පිරිස් ඝාතනයක්, බිහිසුනු සමාජයක් බිහිකලේය. බෞද්ධ හැදියාවක් තිබුණා නම් ප්‍රේමදාස සමඟ එකතුව තම අරමුණකරා යෑමට අඩිතාලමක් දමා ගන්නට විජේවීරට ඉඩක් තිබුණේය. සමහරවිට ඒ වනවිට ඔහුට පාලනය කර ගත නොහැකි ලෙස පක්ෂය විසිරී ගිය කොටස් විසින් හසුරුවන කලබගෑනියක්වී තිබුණා විය හැකිය. විජේවීරගේ බංගලාව යුදහමුදාව විසින් වටකරන අවස්ථාවේ ඔහු හමුවීමට ඒ අසලටම පැමිණ සිටි සෝමවංශ අමරසිංහ ආපසු හැරී ගිය බවත් පසුව ඔහුගේ ඥාතී සිරිසේන කුරේ මඟින් ඔහු ඉන්දියාවට පලාගොස් ලන්ඩන් වලට ගිය බවත් යන (කට) කතාවට පිළිතුරක් දීමට සෝමවංශ අපොහොසත් විය. ඔහුගේ අවසාන කාලයේදී ඔහු ලන්ඩන් සිට බේරාදුන් පක්ෂයේ තරුණ නායකයින් විජේවීරගේ පවුල මෙන් සෝමවංශවද අසරණ කලේය. ඔහුගේ අවසාන දුක්බර කාලයේදී සෝමවංශ ඇල්ලේ ගුණවංශ හිමියන්ට කිට්ටුවිය. මේ සිද්ධිය පැහැදිලි කරණ ලෙස ඉල්ලා මා ලංකාවෙබ් වෙබ් අඩවිය හරහා ඔහුගෙන් ඒකාලයේ ඉල්ලීමක්ද කලේ සත්‍යයේ නාමයෙනි.

දැන් 2023 සැප්තැම්බර් මුල් සතිය වනවිට නාගානන්ද කියන්නේ සජිත් හා අනුරකුමාර හෘදය ශාක්ෂිය, සද්භාවය නැති මිථ්‍යාදෘෂ්ටිකයින් හෙවත් අබෞද්ධ පංචස්කන්ධ බවය.

මීලඟ කොටස- රටට එපාවූ පක්ෂ දේශපාලකයින්ගේ ජනාධිපති හීන හා බෞද්ධ පිස්සුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress