17 වන සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු දිනය සැමරීම
Posted on September 15th, 2023

Media Centre MOD

1985 අංක 40 දරණ මිනිස්බල උපයෝගිතා සහ පරිපූරක හමුදා පනතේ 52 වගන්තිය යටතේ ශ්‍රී ලංකා පොලිස් සේවාවට සහායවීම සඳහා පරිපූරක හමුදාවක් ලෙස  ආරම්භ කළ ග්‍රාමාරක්‍ෂක සේවය” 2006.09.13 වන දින නිකුත් කරන ලද අංක 1462/20 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින්  දිවි හිමියෙන් රට රකිමු” තේමාව යටතේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව” නමින් ප්‍රතිසංවිධානය කරන ලදී.

අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් 08 දෙනෙකු යටතේ මෙම දෙපාර්තමේන්තුවේ පාලන කටයුතු සිදුකල අතර, වර්ථමාන අධ්‍යක්‍ෂ  ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල වීඑස්වී යූඑස්පී එම්බීඒ (එක්සත් රාජධානිය) එන්ඩීසී (ඉන්දියාව) පීඑස්සී මැතිතුමායි. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් 34,000ක් සක්‍රීය සේවයේ යෙදී සිටින අතර දිවයින පුරා බලකා මුලස්ථාන 24කින්, පුහුණු පාසල් 04කින් සහ විශේෂ ව්‍යාපෘති 03කින් සමන්විත වේ.

ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ තම ගම්බිම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී යුධ ජයග්‍රහණයන් තහවුරු කර ගැනීම වෙනුවෙන් මායිම් ගම්මානවල ජිවත් වූ සිවිල් ජනයාගේ ආරක්‍ෂාව සපයමින් යුධ හමුදාව විසින් අත්පත්කර ගන්නා ලද භූමිය ආරක්‍ෂා කර ගනිමින් හා  සිවිල් ජනයා ගම්බිම් අත්හැර දකුණට සංක්‍රමණය වීම වලක්වා ගනිමින්  තර්ජිත ගම්මාන ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් අනගි මෙහෙයක් ඉටුකරන ලදි. කුරිරු ත්‍රස්තවාදය හමුවේ ලක් ධරණී තලය වෙනුවන් සිවිල් ආරක්‍ෂක සාමාජික සාමාජිකාවන් 545 දෙනෙකු තම ජීවිතය පූජා කර ඇති අතර, 425 දෙනෙකු රණක්‍ෂිතයට පත්ව ඇත.

යුද්ධය නිමා වීමෙන් පසු සංවර්ධන සංග්‍රාමයට එක්වෙමින් ජාතික ආර්ථික සංවර්ධනය නගා සිටුවීම වෙනුවෙන්  දායකත්වය ලබා දෙන දෙපාර්තමේන්තු අතර ප්‍රමුඛ ස්ථානයක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ලබා ගෙන ඇත‍. මේ වන විට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘති, පශු සම්පත් හා ගඩොල් ව්‍යාපෘති, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතීන් ආදිය මගින් මෙන්ම විදුලි වැට නඩත්තු කිරීම,  ඉදිකිරීම් හා නඩත්තු රාජකාරි, ආරක්‍ෂක සේවා සම්පාදනය කිරීම හා නර්තන, සංගීත කණ්ඩායම් සේවා ආදායම් රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කරන ලදී.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ස්ථාපනය කර වසර 17 පිරීම නිමිත්තෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු දිනය” සැමරීම 2023 සැප්තැම්බර් මස 13 වන දිනට යෙදී ඇති බැවින්, අධ්‍යක්‍ෂ ජනරාල් තුමාගේ මඟ පෙන්විම යටතේ සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.

දක්‍ෂ ක්‍රීඩා කෞෂල්‍යතාවයකින් හෙබි එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම්,  ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ජාතික මට්මමේ ක්‍රීඩා කළමණාකරණ පත්වීම් රැසක් හෙබවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ශ්‍රී ලංකාවේ හා විදේශයන්හිදී විශේෂ පාඨමාලා හදාරා ඇති එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල විශිෂ්ඨ හා ආදාර්ශමත් නිලධාරියෙකු ලෙස තම රාජකාරි ඉටුකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, දීර්ඝ සේවා කණ්ඩය, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තම සේවා පදක්කම් වලින් පිදුම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

නව අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගත් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මේ දක්වා සිදු කරනු ලැබූ සේවය ඇගයීමට ලක් කළ අතර, තව දුරටත් ඔවුන්ගේ සේවාවන් නිසි පරිදි ලබා ගැනීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කර විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දී වෘත්තීය හැකියාවන් වැඩි දියුණුකර විනිවිධ භාවයකින් යුතුව රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යෙදවීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.

  1. සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්බුද්ධ පූජාවක් පැවැත්වීම, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසලදී බෝධි පූජා පිංකමක් පැවැත්වීම, කතරගම කිරිවෙහර චෛත්‍ය අභියසදී හා කතරගම දේවාලය අභියසදී ආගමික වතාවත් පැවැත්වීම.
  •  විල්ලෝරවත්ත ශු. කාර්ලෝ බොරොමෙයෝ දෙව් මැදුරේදී කතෝලික ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
  • වැල්ලවත්ත අල් – ඉබ්බ්‍රාහීමියියා ජුම්මා මස්ජිද් දේවස්ථානයේදී ඉස්ලාම් ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
  • මරදාන ශ්‍රී කෛලාසනාදර් ස්වාමි දේවස්ථානයේදී හින්දු ආගමික වතාවත් පවත්වා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ධජයට හා බලකා ධජයන් වෙත සෙත් පතා ආශිර්වාද කරන ලදී.
  • සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී  අධ්‍යක්‍ෂ ජනාරාල්තුමා  වෙත සම්මාන මුරය පිළිගැන්වීම, බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීම, අධ්‍යක්‍ෂ ජනරාල්තුමා සාමාජික සාමාජිකාවන් ඇමතීම, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලයන් හා සෙසු නිලයන් සඳහා දිවා ආහාරය ලබා දීම.
  • දිවයින පුරා විහිදී ඇති සියලුම බලකා මූලස්ථාන මගින් දෙපාර්තමේන්තු දිනය සැමරීම වෙනුවෙන් ආගමික වතාවත් සහ විවිධ උත්සව පැවැත්වීම.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress