සපුමල් කුමරු, කතරගම දෙවිඳුන් සහ ආදී දෙමළ බෞද්ධයන්
Posted on November 4th, 2023

චානක බණ්ඩාරගේ

සපුමල් කුමරා

බෙදුම්වාදීන්ගේ තර්කය වන්නේ පෘතුගීසින් එන විට යාපනයේ සිටියේ දෙමළ රජෙක් බවත් ඉංග්‍රීසින් යනවිට ඔවුන් විසින් උතුරේ දෙමළ පාලනයක් නැවත නොපිහිටුවීමත්, ඔවුනගේ දෙමළ රාජ්‍යයේ නොකැඩුනු පුරුක ගැලවීම සිදු කලේ යුරෝපා අධිරාජ්‍ය වාදීන් නිසා (1505 සිට 1948 දක්වා), එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් උතුර (සහ නැගෙනහිර) දැන් නැවතත් දෙමළ ජනයාගේ පාලනයට ලබා දිය යුතු බවයි.

නමුත් පැරණි ඉතිහාස ග්‍රන්ථ පවසන්නේ පෘතුගීසින් ඒමට පෙර කාලයේ උතුර සැමදා පාලනය කලේ සිංහල රජවරුන් බවයි – මහනුවර හෝ කෝට්ටේ රජවරු.  යාපනයේ යම් දෙමළ පාලනයක් වී නම් (සංකිලි වැනි) ඔවුහු මෙම සිංහල රජවරුන්ගේ යුව රජුන් වූ බවයි. 

රුහුණු සරසවියේ ඉතිහාසය පිලිබඳ හිටපු මහාචාර්ය, කීර්තිමත් ඉතිහාසඥ, සිරිමල් රණවැල්ල පවසන්නේ මෙතෙක් ඉදිරිපත් කරන ලද සාක්ෂිවලින් පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා වූ මේ දීර්ඝ ඓතිහාසික කාලපරිච්ඡේදයේ කිසිම අවස්ථාවක යාපනය අර්ධද්වීපයේ හෝ ඒ අවට ස්වාධීන ද්‍රවිඩ රජයක් නොපැවතී බවයි”.

සපුමල් කුමරු යාපනය පාලනය කල වැදගත් සිංහල කුමරෙක් ලෙස පැරණි ඉතිහාස ග්‍රන්ථවල දැක්වුවත් නුතන ඇතැම් ඉතිහාසඥයෝ, සිංහල අය පවා,  පවසන්නේ ඔහු ද්‍රවිඩඩයෙක් බවයි. යු ටියුබ් මඟින් ‘නොනවතින ඉතිහාසය’ නමින් වැඩසටහනක් කරන ‘රටම පිළිගත්’ එක්  පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් එම නාළීකාව මඟින්  ‘ශ්‍රී ලංකා ඉතිහාස ෆැක්ටරියක්’ පවත්වා ගෙන යයි. ඔහු නිරතුරුව වීවිධාකාරයෙන් රටේ ‘නව ඉතිහාසයක්’  මවා, ඉතා රසවත් ලෙස ඒවා ගෙන හැර පායි – ඔහුගේ ‘ක්ෂණික නූඩ්ල්ස්’ ඉතිහාසය.

නුතන පරම්පරාව, විශේෂයෙන්ම  පාසැල්/විශ්ව විද්‍යාල සිසුන්, ඔහුව දේවත්වයෙන් මෙන් සලකන බව පෙනේ.

ඔහු බොහෝ විට ව්‍යංගාර්ථයෙන් දක්වන්නේ සිංහලයන්ට කලින් මේ රටේ දෙමළ ජනයා වාසය කල බවයි.

මහින්දාගමනයට (දේවානම්පියතිස්ස රජ සමයට) පෙර ශ්‍රී ලංකාවේ බුද්ධාගම තිබුණු බවත් මේ රටේ දෙමළ බෞද්ධයන් සිටී බවත් වැනි බොහෝ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඔහු කරයි.

විග්නේස්වරන් ඇතුළු බෙදුම්වාදීන්ගේ මතය ද මෙයම වේ.

කුවේණිය දෙමළ හෝ දෙමළ ආදේශික බව මේ මහාචාර්යවරයා පවසා ඇත.

මේ රටේ ළමුනට සැමදා ඉගැන්වූ පාසැල් ඉතිහාසය වුයේ – 20 වෙනි ශත වර්ෂය පුරාවටම,  ශ්‍රී ලංකාවට වසර 2500ක් පැරණි ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයක් තිබුණු බවත් එය ගොඩනැගුනේ විජයාගමනයත් ඉන් පසුව වූ මිහිඳු හිමියන්ගේ පැමිණීමෙන් මෙරටට හඳුන්වාදෙන ලද බෞද්ධාගමත් නිසා බවය – සිංහල බෞද්ධ සංස්කෘතිය. සත්‍යය මෙය නොවන බව පෙන්වීමට මෙම මහාචාර්යවරයා නොගන්නා උත්සහයක් නැත. ඉතා පැහැදිලිව විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ ඔහුගේ ඉතිහාසය පාඩමේ  මුළීකම පණිවුඩය මෙය බවයි.

‘මේ සිංහල අපගේ රටයි’’යනුවෙන් එදා අභිමානයෙන් අප පාසැලේදී දේශානුරාගී ගී ගැයුවේ අපගේ වසර 2500 පැරණි ඒ ශ්‍රේෂ්ට ඉතිහාසය මෙණේහි කරමිනි. මොහු විත් ඒ සියල්ල නැති කර දමන්න උත්සහ කරයි.

මොහු වැන්නන්ට ස්තුති වන්ත වෙන්න අද පාසැල් වල (සිංහල පාසැල් වල) එවැනි ගී නොගැයාවේ හෝ ගැයීම ඉතාම අඩුය.

පාසැල් සිංහල පොත් වලින් විජයට දුන් තැන හෝමෝ සපියෙන්ට  ලබා දුන් බව මේ ප්‍රමුඛ මහාචාර්යවරයා  ඉමහත් සාඩම්බරයෙන් පවසයි. මොහු පෙන්වීමට උත්සහ කරන්නේ මේ රටේ අතීත ශ්‍රී විභූතිය ඇරඹුණේ විජය/මහිහින්දගමනයෙන් නොව හෝමෝ සපියෙන් වරුන්ගේ පැමිණීමෙන් බවයි.

බෙදුම්වාදීන් කියන්නේ මේ ආදී  ලාංකේය හෝමෝ සපියෙන් වරුන්  ද්‍රවිඩයන් බවය.

නැත, ඔවුන් හෙළයන් වුහ.  වැද්දන්ද ඔවුන්ගේ කොටසකි.

මේ හෙළයන් විජයගේ (සිංහබාහුගේ) සිංහ පරම්පරාව සමඟ මුසුවී සිංහල ජාතිය බිහිවිය (සිංහ + හෙළ = සිංහල).

රාවණා උග්‍ර හින්දු භක්තික ද්‍රවිඩයෙක් වශයෙන් (ශිව දෙවියන්ගේ මුරකරු) ලෝක ඉතිහාසයේ දැනටමත් ලියැවී හමාරය. එය දැන්  වෙනස් කිරීම ඉතා අපහසුය.  ඒ බෙදුම්වාදීන්ගේ දක්ෂකමත් සිංහලයාගේ අළසකමත් නිසාය.

කෙසේ වෙතත්, රාවණා යනු සත්‍ය චරිතයක් නොවේ. – මහාභාරථය නමැති ප්‍රබන්ධයේ රාමායනය යන පරිච්චේදයේ එන එක් හුදු චරිතයක් පමණි.

අපේ ළමුන්ට මේ මහාචාර්යවරයා දැන් ඉතිහාසය පාඩම් වලින් ඉගැන්වීමට උත්සහ කරන්නේ අපේ ආදී මුතුන් මිත්තා විජය නොව අප්‍රිකාවෙන් (උගැන්ඩාවෙන්?) මෙහි වසර ගණනැවකට පෙර ගොට බට හෝමෝ සපියෙන් බවයි.

හෝමෝ සපියෙන් තම ජාතියේ නිර්මාර්තෘ බව ශ්‍රී ලංකාව හැර ලොව වෙනත් කිසිදු රටක් නොපවසයි. ඔවුන් ඒතරම් මෝඩයන් නොවේ.

විජය හිතුවක්කාරී, සල්ලාලයෙක් මෙන් ජීවත් වූයේ යයි යන කථාවක් ඇත. ඒ නිසා, අප ඔහුගෙන් පැවතෙන බවට පැවසෙන අපගේ දීර්ඝ ඉතිහාසය එක් වරම දැන් අත් හරිමුද? ඉතිහාසය යනු අප කැමති විදියට අත් හල යුතු/ගොඩ නැගිය යුතු කථා වස්තුවක්ද? ඕස්ත්‍රේලියාව ගොඩ නැගුවේ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලද සිරකරුවන්ය. එය බොරුවක්ය කියා ඕස්ත්‍රේලියානුවන් නොකියයි. ඔවුන්ගේ මුල් සුදු ජාතික මුතුන් මිත්තන් ගැන ඔවුන් අදත් ආඩම්බර වෙත්. ඒ මුල් අය සිරකරුවන් වුවා කියා ඔවුන් ලැජ්ජා නොවෙත්.

මේ මහාචාර්යවරයා කියන්නේ විජයාගමනයට/මහින්දාගමනයට පෙර මේ රට ඉතා දියුණු  ශ්‍රේෂ්ට රටක්ව තිබු බවයි.  එය, ලොව සියලුම ඉතිහාසඥයන් විශ්වාස කරන, මෙහි එකළ පැවතී  දඩයම්/එකතුකිරීමේ ජීවන ක්‍රමයක් නොවන බවයි ඔහු පෙන්වීමට උත්සහ කරන්නේ. එසේ නම් මීට වසර 49,000ට පෙර ශ්‍රී ලංකාවේ මෙහි අදද (2023) පවත්නා වූ කෘෂිකාර්මික ජීවන ක්‍රමයක් වීද?

ලොව සෑම දෙයක්ම වාගේ කළින්ම බිහි වුනේ මේ රටෙන් යයි වැන්නක් මොහු කියයි. වී. යකඩ චීනයේ සොයා ගැනීම් ලෙස මුළු ලොවම පිළිගත්තත්, චීනයට පෙර අප ඒවා භාවිතා කල බව මොහු කියයි. බාර්ලි, ඕට්ස් මුලින්ම් වැව්වේ අප යයි වැනි කථාවක් ඔහු කියයි (ආදී ඊස්රායල් වරුන්, යුරෝපියයන් ටත් කලින්). ශ්‍රී ලංකාවේ සිංහයන් සැරි සැරූ බව මොහු කියා ඇත. මොහු විසින් ගොතා ඇති අමුලික බොරු ගැන කලින් ලිපි වලින් දක්වා ඇත.

මොහු කියන අන්දමට නම් ඉන්දුවැලි සහ  මොහෙන්ද ජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්ටත් වඩා (මේවා මුළු ලොවම පිළිගත් ප්‍රථම කෘෂිකාර්මික ජීවන් ක්‍රමයන්ය,  මේවාද මීට වසර  5000ක් තරම් වත් පැරණි නැත) ඉපැරණි, ඉතාම සශ්‍රීක ශිෂ්ටාචාරයක් මේ රටේ මීට වසර 49,000ට ඉහතදී තිබී ඇත. මෙහි සිටී  කාන්තාවන් අද නූතන අය මෙන් ඇස් අවට පාට කිරීම වැනි උසස් රූපලාවන්‍ය කාර්යයන්හි නියැළුණු බවත්, අප පිටරටවලට තානාපති වරුන් පිටත් කර හැරීය බවත් මොහු පවසයි.  තානාපති සේවයන් ප්‍රාග් ඓතිහාසික යුගවල තිබුණිද?

කණගාටුවට කරුණ නම් මොහුගේ මේ නව සොයාගැනීම්, අප දන්නා තරමින්, ලොව අන් කිසිම රටක පිළිගත් පුරා විද්යාඥ්යෙක්, ඉතිහාසඥයෙක් පිළිගෙන නොමැත, කිසිම ජාත්‍යාන්තර ග්‍රන්ථයක් ඒ ගැන පළ කර නැත.

මොහුගේ ලොකුම බොරුවක් දෙස බලන්න – ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනේ මීට වසර 7000 ට පෙර බව කිහිප වරක් පවසා තිබු මොහු එය අමුලික බොරුවක් බව අප පෙන්වා දුන් පසු ඒ වෙන්වීම සිදු වුයේ මීට වසර ලක්ෂ 7ට පෙර යයි දැන් පවසයි. පිළිගත් පුරා විද්‍යාඥයෙකුට මෙවන් වරදක් කර ගැලවී යා හැකිද?.

මීට වසර 7000කට පෙර ශ්‍රී ලංකාව ඉන්දියාවට ඇඳි තිබුණි නම් (මොහු කී පරිදී) සහ එවකට එහි ශ්‍රේෂ්ට ශිෂ්ටාචාරයක් තිබුණි නම්, එය අයත් වන්නේ ඉන්දියාවටය (එකළ, ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් ව තිබු බැවින්). 

අප්‍රිකාවෙන් පිටත් වුනු හෝමෝ සපියෙන් වරු කැටමරාන් නැව් තනා ඕස්ත්‍රේලියාවට ගිය බව මොහු කියයි. විය නොහැක; ඒ අයිස් යුගයයි. එහිදී අප්‍රිකාව, ආසියාව සහ ඕස්ත්‍රේලියාව එකම තනි භූමියකි. ඇබරිජින්වරු ආසියාවේ සිට ඕස්ත්‍රේලියාවට ගියේ පයින් බව ඕස්ත්‍රේලියානු ඉතිහාසය දක්වයි.

මොහුගේ බොරු පෙන්වා දීමෙන් අනතුරුව, බොහෝ බොරු නිවැරදි කර ගැනීමට ඔහු උත්සහ දරන බවක්ද පෙනේ. එය අගය කළ යුතු දෙයකි.

ඉතා බරපතල තත්ත්වයක් වනුයේ රටේ ඉතිහාසය, පුරා විද්‍යාව පිළිබඳව කටයුතුවල දී මොහුව ඉතා අග්‍රගන්‍ය තලයේ තබා සියළු රජයන් කටයුතු කිරීමයි.  

පාසැල් වල සිංහල ඉතිහාස පෙළ පොත් සකසන මණ්ඩලයේ මෙතුමා උසස් නායකත්වයක් දරයි. මේ සමහර පෙළ පොත් මඟින් සිංහල බෞද්ධයාට අහිතකර වන ලෙස ශ්‍රී ලංකාවේ පැරණි ඉතිහාසය විකෘති කර පාසැල් දරුවනට ඉදිරිපත් කර ඇති බව අප පෙන්වා දී ඇත.

2024දී දරුවන්ගේ ඉතිහාසය පෙළ පොත් (වසර 6 – 12) දක්වා නැවත සංශෝධනය කරන බව මොහු කියයි. එවර, මොනයම් හානියක් දැනටත් හානිකර ඇති ලක් ඉතිහාසයට මොහු මැදිහත් වී කරනු ඇද්ද?

මෙම මහාචාර්යවරයාට අනුවද  සපුමල් කුමරා දෙමළ අයෙකි.  ඔහු කියනුයේ සපුමල් කුමරාගේ පියා වනුයේ දකුණු ඉන්දියාවේ මලබාර් තීරයෙන් මෙරටට ගොඩ බට දෙමළ ජාතික පනිකාල් ප්‍රතිරාජාය. සපුමල් කුමරාට සිංහල සම්භවයක් ඇතය යන මතය මොහු සිය යු ටියුබ් ප්‍රේක්ෂකයන්ගෙන් සඟවා තබා ගනී.

සපුමල් කුමරු පිළිබඳව පැරණි ඉතිහාස පොත් වල පළ වෙන්නේ ඔහු සිංහලයෙක් බවයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව අති විශිෂ්ට ඉතිහාසඥයෙක් වන මහාචාර්ය Paul E Peiris ගේ ‘Ceylon: the Portuguese Era’ පොත පවසන්නේ සපුමල් කුමරා සිංහල කුමාරයෙක් බවයි. මේ කුමරාගේ පියා 6වෙනි පරාක්‍රමබාහු බවත් මව කීරවැල්ල පරම්පරාවේ කුමරියක් බවත් එම පොතේ සඳහන් වේ. මෙම පොත අනුව සපුමල් කුමරාගේ අනෙක් සොහොයුරා අම්බුලුගල කුමරා වන අතර  නැගෙණිය උලකුඩය දේවියයි.

මහාවංශයට අනුව යාපා පටුන්හි අධිපති වූ සපුමල් කුමරු, ආර්ය චක්‍රවර්තිව  පලවා හැර ඉන් පසු පියාගේ අභාවයෙන් වසර 2ට පසුව බලසෙන් සහිතව කොට්ටේට නැවත පැමිණ 7වන බුවනේකබා නමින් රජව 17 වසරක්  රට පාලනය කර ඇත.

සපුමල් කුමරා විවාහ වුයේ අම්බලන්තොට රජ පවුලකින් පැවතුණු ධන මැණිකේ සමඟයි.

කතරගම දෙවිඳුන්

කතරගම දෙවියන් දකුණු ඉන්දියාවේ උපන් දෙමළ රජ කෙනෙක් බවට පෙන්වන මතයක් ඇත. මෙම දෙවිදුන් පිළිබඳව සැකසුනු ඉතා ජනප්‍රිය සිංහල චිත්‍රපටයක (තවත් මහාචාර්යවරයෙක් විසින් තැනු) දැක්වෙන්නේද මෙයයි.

නමුත් ආදී සිංහලයා කතරගම දෙවිදුන් සැලකුවේ කතරගම ප්‍රදේශය පාලනය කල සිංහල රජ කෙනෙක් වූ මහසෙන් රජුගේ පුනරුප්පත්තිය ලෙසයි (බුදු රජුන් කල මෙරට විසු).

බුදු රජාණන් වහන්සේ 3වෙනි වර ශ්‍රී ලංකාවට වැඩම කල අවස්ථාවේ උන් වහන්සේට මහසෙන් රජු හමුව ඇති බව ඉතිහාස ග්‍රන්ථ සඳහන් කරයි. මහසෙන් රජු මේ හමුවීම සිහිපත් වීම වස් ස්ථුපයක් සාදා ඇත. එය වර්තමාන කතරගම කිරි වෙහෙර වේ.  

සිදුහත් කුමරා අභිනිශ්ක්‍රමණය කල අවස්ථාවේ තම හිස කෙස් කැපීමට භාවිතා කල රත්‍රන් කඩුව මෙම ස්ථුපය ඇතුලත ස්ථාපිත කර ඇති බවට විශ්වාස කෙරේ.

ඩොලමයිට් වැනි පාෂණයෙන් සාදන ලද මහසෙන් රජුගේ පිළිරුවක් අදත් කිරි වෙහෙර භුමියේ ඇත. කිරිවෙහෙරට යන බෞද්ධ ජනතාව මෙම මහසෙන් පිළිරුවට විශේෂ වැඳුම් පිදුම් කර අනුහස් ඉල්වා සිටිති.  

දුටු ගැමුණු රජතුමා එළාර මැරීමට යුධ ආරම්භ කිරීමට පෙර කතරගම දෙවිදුන්ගෙන් ආශිර්වාද ලබා ගත් බවත්, එම යුධ ජයග්‍රහණයෙන් පසු එම දෙවිඳුට වූ භාරය ඔප්පු කිරීම වස්  දුටුගැමුණු රජතුමා කතරගම දේව මන්දීරය ගොඩ නගා එහි අද පවත්වන වාර්ෂික  පෙරහැර  ආරම්භ කල බවත් ඉතිහාස ග්‍රන්ථවල ලියැවී තිබේ, දුටුගැමුණු රජතුමාගේ ඇතු මියගිය පසු එම දල දෙක මෙම කතරගම දෙවාලයේ තබා ඇත.

කතරගම දෙවිඳු එලාරට එරෙහිව යුධ ජයග්‍රහණය තමනට ලබා දෙන ලෙස ඉල්ලා, එය කතරගම දෙවිඳුන් විසින් ලබා දුන් නිසා, උන්වහන්සේ යුධ ජයග්‍රහණ අත් පත් කර දෙන දෙවි කෙනෙක් ලෙසට සිංහල ජනයා අතර විරුදාවලිය ලබා තිබේ.  

දේවානම් පිය තිස්ස රජු ශ්‍රී මහ බෝ සමිඳු අංකුරය අනුරාධපුරයේ රෝපණය කරන උත්සවයට කතරගම සිට මහසෙන් රජුගෙන් පැවතෙන්නන් පැමිණි බවට සාක්ෂි තිබේ.

සිංහලයෙක් වූ දප්පුල රජතුමා (ක්‍රි ව 7 සියවසේ) කතරගම දෙවිදුන්ට පුද පුජා පවත් වූ බව මහාවංශය සඳහන් කරයි.

කෝට්ටේ රාජධානිය අවසාන කාලය දක්වා කතරගම දෙවිදුන් යනු මහසෙන් රජුගේ පුනර්භවය බව අවිවාදාත්මක ලෙස පිළිගෙන ඇත.  

අදද බොහෝ සිංහලයෝ දරන්නේ මේ මතයයි.

අපේ ආදීවාසීන්ගේ විශ්වාසය වනුයේ කතරගම දෙවියන්ගේ භාර්යාව වූ සුරූපී වල්ලි අම්මා වැදී කතක් බවය.  ඔවුන්ද ඉතා භක්තියෙන් කතරගම දෙවිදුන් අදහත්.

කතරගම දෙවියනට (මහසෙන් රජුගේ පුනරුප්පත්තිය)  අමතරව සිංහලයනටම ආවේනික වූ දෙවි වරු වෙත්. සමන් දෙවිඳු (හෙළයෙක් වූ කුවේනියගේ මාමා කෙනෙක්) සහ දැඩිමුන්ඩ දෙවිඳුන් ඉන් ප්‍රබල වූ දෙදෙනකි. බුදු රජාණන් වහන්සේට ශ්‍රී පාදස්ථානයට වැඩම කර එහි සිරි පතුල පිහිටවන ලෙස ඇරයුම් කලේ සමන් දෙවියන්ය. බුද්ධ පරිනිර්වාණයෙන් පසු වසර 5500ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ බුදු සසුන බේරා ගැනීමේ කාර්යය භාරව ඇත්තේ දැඩිමුන්ඩ දෙවියන්ට බව පැවසේ.  

හින්දු දහමට අනුව කතරගම දෙවියන් (මුරුගන්) සිව සහ පාර්වතිගේ පුතුනුවන්ය, ගන දෙවියන්ගේ සොහොයුරාය.

කතරගම දෙවියන් පිළිබඳව තනා ඇති චිත්‍රපටයේ උන්වහන්සේගේ ජම්මය/ජාතකය පිළිබඳව වූ සිංහල බෞද්ධ  මතය පසෙකලා දෙමළ මතයට ස්ථානය ලබා දී තිබේ.

කෙසේ වෙතත්, කතරගම දෙවියන් වනාහි මේ රටේ සිංහල, දෙමළ සමගිය තීව්‍ර කරන ප්‍රබල සාධකයකි. සිංහල සහ දෙමළ දෙකොට්ටාශයම එකම වූ භක්තියෙන් කතරගම මුනිදුන් වැඳ පුදා ගැනීමට කතරගම බලා යත්.

ආදී දෙමළ බෞද්ධයන්

අති පූජ්‍ය මඩිහේ පන්ඥාසීහ හිමි සිය ‘සැබෑ ඊළම් රාජ්‍යය’ නැමති ග්‍රන්ථයේ 51 වෙනි පිටුවේ මෙසේ සඳහන් කරයි – ලෝක ප්‍රකට  ඉතිහාසඥයන් වන පොල් ඊ පීරිස්, මහාචාර්ය සෙනරත් පරණවිතාන, ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර ආදී මහත්වරු යාපනය සිංහල ප්‍රදේශයක් බව පැහැදිලිව ම පෙන්වා දී ඇත”.

චෝල, මාඝ, එළාර ආදීන් දකුණු ඉන්දියාවේ සිට කිහිප වරක් (කෙනෙක් මෑතකදී කී පරිදි 17 වතාවක් තරම් වැඩි නොවේ) ශ්‍රී ලංකාව ආක්‍රමණය කල බව සැබැවී. එහෙත් වීර සිංහලයෝ සෑම විටම මේ ද්‍රවිඩ ආක්‍රමණිකයන් ආපසු දකුණු ඉන්දියාවටම පළවා හැරියහ.

ලන්දේසීන් උතුරේ දුම්කොළ වගාවන් විශාල ලෙස වැඩි දියුණු කල අතර (පෘතුගීසින් විසින් පටන් ගත්) ඒවායේ වැඩ කිරීම සඳහා දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් තීරයෙන් විශාල ලෙස ද්‍රවිඩයන් මෙරටට ආනයනය කළහ. මේ අය අතර  ‘උසස් යයි සම්මත කුළවලින්  ආ දෙමළ අයද වුහ.

JR ජයවර්දන පැවත එන තම්බි මුදියන්සේ පරම්පරාවද මෙසේ කොරමැන්ඩල් තීරයෙන් (මලබාර්) ශ්‍රී ලංකාවට පැමිණි අය වශයෙන් සැලකේ. රටට ද්‍රෝහිකම් කල ඩොන් ඒඩ්රියන් විජේසිංහ ජයවර්ධන  (තම්බි මුදියන්සේ) ජීවත් වුයේ කොළඹය.

මේ මලබාර් ද්‍රවිඩයන් සතුටු කරනු වස් ලන්දේසී පාලනාධිකාරීය විසින් ඔවුන්ගේ ආවේනික නීතීන් සමහරෙක් තේසවලාමේ නිතීය ලෙසින් 1702 දී කෙටුම්පත්  කරන ලදී. අදද මෙය ක්‍රියාත්මක වේ. මේ නිසා සිංහලයාට උතුරේ ඉඩම් මිලදී ගැනීම නොකළ හැකි යයි කීම සාවද්‍ය ප්‍රකාශයකි.

ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වෙනි වගන්තිය (ව්‍යවස්ථාව) යටතේ මේ රටේ වැසියෙකුට තමන් කැමති ඕනෑම ප්‍රදේශයක ජීවත් වීමේ අයිතිය ඇති බවද අප අමතක නොකළ යුතුය.

සිංහලයාට උතුරු නැගෙනහිර ජීවත් වීමට එරෙහිව TNA සහ වෙනත් බෙදුම්වාදී දෙමළ දේශපාලඥයින් ගෙන යන දැඩි  වර්ගවාදී වැඩපිළිවෙල රටේ සියලූ දෙනා තරයේ හෙළා දැකිය යුතුයි. මෙය අද මේ රටේ ඇති ප්‍රධානම මානව හිමිකම් කඩ කිරීමයි.

සිංහලයා වෙනුවෙන් රටේ කිසිම සිංහල යයි කියා ගන්නා දේශපාලන පක්ෂයක් කථා නොකරයි (පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස්, එජාප, සජබ, ජවිපෙ). මෙයට හේතුව එසේ කළහොත් ඔවුනට දෙමළ චන්ද නොලැබේ යයි යනුවෙන් ඔවුන් තුල ඇති බොරු බියයි. දෙමළ ප්‍රදේශවල ජනයා මේ අයට චන්ද නොදේ, මේ අය දිනා මැතිසබයට යන්නේ සිංහල චන්ද වලිනි. නමුත් ඔවුන් සිංහලයාගේ ආවේනික ප්‍රශ්ණ නිරාකරණය කිරීම වෙනුවෙන් කරන කිසිම දෙයක් නොමැත.

උතුරු නැගෙනහිර, විශේෂයෙන්ම නැගෙනහිර අති විශාල ලෙස බෞද්ධ නටබුන් අදත් දිගටම හමුවේ. මෙසේ හමුවන සෙල්ලිපි, ටැම් ලිපි ඇත්තේ සිංහල බස මිස දෙමළ බස නොවේ. උදාහරණයක් ලෙස පහත සෙල්/ටැම්/ ලිපි දැක්විය හැක:

යාපනයේ වල්ලිපුරම් ගමෙන් ලැබුණු වසඹ රජුගේ, නයිනතිව් (නාගදීප) දිවයිනෙන් ලැබුණු 1වෙනි පරාක්‍රමබාහු රජුගේ;

යාපනය සහ මන්නාරම්  දිස්ත්‍රික්කයෙන් හමුවූ – සිව්වන දප්පුල රජුගේ,  6වෙනි අග්බෝ රජුගේ, 2වෙනි රජුගේ, 4වෙනි කාශ්‍යප රජුගේ;

සිව්වන දප්පුල රජු විසින්  කරවන ලද යාපනයේ පුරාණ කදුරුගොඩ විහාර භූමියෙන් හමු වූ ටැම් ලිපිය සහ

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ පුද බිමෙන් හමුවූ, 10වෙනි සියවසට අයත්, අභාසලමෙවන් රජ විසින් කරවන ලද සිංහල පුවරු ලිපිය.  

යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්ය කතිරගේසු ඉන්ද්‍රපාල මහතා ඔහු බෙදුම්වාදී අදහස් දරන්නෙක් වීමට පෙර පැවසුවේ උතුරේ හමුවන සෙල්ලිපි පිලිබඳ රජාන්ඥාව නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රජතුමා විසිනුයි. ඔහු කීවේ ශ්‍රී ලංකාවේ රජතුමා   ඈත උතුරු කෙළවරේ ප්‍රදේශ තම පූර්ණ පාලනය යටතට ගෙන තිබූ බවයි.

අද උතුරේ කුරුඳුමලේ විහාර භුමියට TNA සහ වෙනත් බෙදුම්වාදී දේශපාලඥයින්  කෙලින්ම අත පොවා ඇත. එය බෞද්ධ නොව හින්දු සිද්ධස්ථානයක් යයි කී ඔවුන් එහි කිසිදු සැළකිය යුතු හින්දු පුරාවිද්‍යා සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි වූ කල එම සිද්ධස්ථානය පුරාණයේ යාපනයේ සිටි දෙමළ බෞද්ධයන් විසින් ඉදි කරන්නක් වශයෙන් පෙන්වා සිංහල බෞද්ධ ජනතාවට එම ඓතිහාසික උරුමය අහිමි කිරීමට කළ හැකි සෑම දෙයක්ම කරත්.

උතුරු නැගෙනහිර ආදී දෙමළ බෞද්ධයන් ගැන පැරණි ඉතිහාස පොත් වල සඳහන් නොවේ. මහාවංශයේද එවැනි කොටසක් ගැන සඳහන් නොවේ. මෙය (ආදී දෙමළ බෞද්ධයන්) බෙදුම්වාදය පෝෂණය කර ගැනීම උදෙසා මෑතකදී ගොඩ නඟන ලද සංකල්පයක් විය යුතුය.

මේ ලියුම්කරු දන්නා පරිදි මේ රටේ දෙමළ බෞද්ධයන් සිටියාය කියා කිසිදු පිළිගතහැකි  සාක්ෂියක්  කිසිවෙක්, ඊලාම්වාදීන් පවා, මේ දක්වා ඉදිරිපත් කර නැත. ඔහු වැරදි නම් ඒ බව පිළිගැනීමට ඔහු සුදානම්ය.

රජතුමා දේවානම් පියතිස්ස නොව දේවානම් පියතිස්සම් කියා විග්නේස්වාරන් කියන්නේ එහෙයිණි. ඔහුට අනුව දේවානම් පියතිස්ස රජතුමා දෙමළ බෞද්ධයෙකි. සිංහලයනට පෙර ද්‍රවිඩයන් මේ රටේ සිටියාය කියා පෙන්වීමට ඔවුන් භාවිතා කරන එක් අවියකි එය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව (හෝ වෙන මොනයම් ක්‍රමයකින්) මේ රට කඩා ද්‍රවිඩ ඊලම බිහි කර ගැනීම පිණිස ඔවුන් ඕනෑම දෙයක් කරනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress