ක්‍රිකට් නීති පොත වෙනස් කළ සේනකගේ DRS සංකල්පය අයිසීසී ය හොරෙන් ඉස්සුවාද?
Posted on November 17th, 2023

Fawz Mohammed  (Dinamina)  Courtesy:  ‘Silumina’ December 17, 2022

ඔහු නමින් සේනක වීරරත්නය. ‍හෙතෙම ප්‍රවීණ නීතිඥයෙකි. ලේඛකයෙකි. චින්තනවාදියෙකි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැඩි අවධානයට ලක් වූ ලිපියක් වසර 1997 මාර්තු මාසයේ 25 වැනිදා ‘දි ඔස්ට්‍රේලියන්‘ පුවත්පතේ පළ විය. ‘third umpire should perform role of appeal judge‘ ශීර්ෂ පාඨය යටතේ පළ වූ එම ලිපියෙහි සඳහන් වූයේ ඒ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පිටියේ විනිසුරුවරුන් අතින් සිදුවන වැරදි තීන්දු තීරණ සම්බන්ධවය. එවැනි වැරදි තීන්දු තීරණ පසුව රූපවාහිනී පුනරූපණ මඟින් තහවුරු වීම නිසා ක්‍රීඩාලෝලීන්ගේ නළල්තල රැලි ගැන්වීමට තරම් විමතිය දනවන්නක් ද විය. අදාළ වැරදි තීන්දුවකින් කඩුල්ල රැකගන්නා පිතිකරුවා පසුව බොහෝ විට දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යෑමෙන්ද, විනිසුරුගේ වැරදි තීන්දුවකින් දැවී යෑම ඇතැම් විට පරාජයට තුඩු දෙන සිදුවීමක් බවට පත්වීමෙන් ද තරග උඩුයටිකුරු වූ අවස්ථා එමට වාර්තා විය. එහෙත් තාක්ෂණය එතරම් දියුණු මට්ටමක නොපැවති බැවින් එවකට එවැනි තීන්දු සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පවා කිසිදු විකල්පයක් නොතිබිණි. ‘දි ඔස්ට්‍රේලියන් පුවත්පතෙහි පළවූ ලිපියට හේතු වී තිබුණේ එම කරුණුය. අනෙක් අතට එවකට රූපවාහිනි විනිසුරු හෝ තුන්වැනි විනිසුරුවරයකු තරගයට හඳුන්වා දී තිබුණේ පිටියේ විනිසුරුවරයාට දුවද්දී දැවී යෑම්, උඩපන්දු රැකීම් වැනි ඇතැම් සිදුවීම්වලට සහාය ලබා ගැනීම සඳහා පමණකි. ලියුම්කරුගේ යෝජනාව වූයේ තුන්වැනි විනිසුරුවරයා අභියාචනා විනිසුරුවරයාගේ කාර්යභාරය සිදු කළ යුතුය යන්නය. ඒ සඳහා නිදසුන් ද ගෙනහැර පාමින් එම ලිපිය සටහන් කරනු ලැබුවේ ඉහත කී සේනක වීරරත්න විසිනි. පළපුරුදු ජ්‍යේෂ්ඨ නීතිඥවරයකු වූ හෙතෙම ඒ සඳහා සිය නීතිඥ දැනුම ද මනාව භාවිත කරමින් ලියන ලද එම ලිපිය පසුකාලීනව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් විනිසුරු තීරණ යළි විමසීමේ රෙෆරල් ක්‍රමවේදය දක්වා ඇදී ගියේය.

‘මේ සංකල්පය මගේ හිතට ආවේ මම එවකට ඔස්ට්‍රේලියාවේ ඩාවින් කියන නුවර පදිංචිව සිටියදියි.‘

වසර 1997 සිට 2000 දක්වා උතුරු ඔස්ට්‍රේලියාවේ නීතිඥවරයකු ලෙස කටයුතු කළ උග්‍ර ක්‍රිකට් ක්‍රීඩාලෝලීයකු ද වූ සේනක වීරරත්න මේ අදහස් පළ කළේ ‘සිළුමිණ‘ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

‘හැමදාම ලොකු ප්‍රශ්නයක් තිබ්බා විනිසුරු තීරණ ගැන. පිටියේ විනිසුරුවරුන්ගේ දුර්වල තීරණ සම්බන්ධව මිනිස්සු දොස් කියමිනුයි හිටියේ. ඇතැම් අවස්ථාවල ඔවුන් ‘හොර අම්පයර්ස්ලා‘ කියලා ලේබල්ගත කරලයි තිබුණේ. ඉතින් මම හිතුවා මගේ නීතිඥ වෘත්තීයේ අත්දැකීම් භාවිත කරමින් මේ ගැටලුවට විසඳුමක් යෝජනා කළ යුතුයි කියලා. අනික තාක්ෂණයත් දියුණු වෙමින් පැවැතුණු කාලයනේ. අපි පොඩි කාලේ එහෙම තාක්ෂණයක් තිබුණේ නෑ. අවසන් තීරණය දෙන්නේ විනිසුරුවරයා. තාක්ෂණය ආවට පස්සේ රූපවාහිනි පුනරූපන මඟින් පෙන්නන්නට පටන් ගත්තා විනිසුරුගේ වැරදි. විනිසුරුට වැරදුණේ කොතැනද කියලා. විනිසුරුවරුන්ට ඒක හරිම අගෞරවයක්. ලජ්ජාවක්.‘ ඔහු කීවේය.

‘මගේ ලිපියෙන් මම මතු කර පෙන්නුවේ තාක්ෂණය තියෙනවා නම් විනිසුරුගේ වැරදි පෙන්නන්න, ඇයි ඒ තාක්ෂණයම පාවිච්චි කරන්නේ නැත්තේ විනිසුරුගේ වැරදි තීන්දුව නිවැරදි කරන්න කියන එකයි. ඊට පස්සේ මම කිව්වා මේකට තියෙනවා විසඳුමක්. නිවැරදි තීරණ දෙන්න නම් මුලින්ම විනිසුරුගේ තීරණය අවසන් තීරණය කියන සිද්ධාන්තය ඉවත් කරන්න ඕනා. හරියට අධිකරණ ක්‍රියාවලිය වගේ. නඩුව අහන උසාවියක් තියෙනවානේ. ඊට පස්සේ අභියාචානාධිකරණයක් තියෙනවා. ඊටත් පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවා චූදිතයකුට පුළුවනි උසාවියකින් ඔහුට දෙන දඬුවම හෝ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට යන්න. ඉන් ඔබ්බට ගිහින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන්නත් හැකියාව තිබෙනවා. ඒ තර්කයම තමයි ක්‍රිකට් පිටියේ විනිසුරු වැරදි විනිසුරු තීරණ සම්බන්ධව භාවිත වෙන්නේ.‘ඔහු පැහැදිලි කළේය.

‘එහෙම වුණා කියලා මුලින්ම තීන්දුව දුන්නු විනිසුරුවරයාට කිසිම අගෞරවයක් වෙන්නේ නෑ. ඒක සාමාන්‍ය කාරණාවක්. ඉතින් එහෙම නම් අධිකරණයේදී නිවැරැදි තීන්දුව ගන්න අභියාචනා කරන්න පුළුවන් නම් ඇයි ඒ නිදහස, අයිතිය දෙන්න බැරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට. මම කියන්නේ සෙල්ලම් කරන දෙපාර්ශ්වයක් ඉන්නවානේ. ඉතින් එගොල්ලෝ අසතුටු නම් පිටියේ විනිසුරුවරයා දුන්නු තීරණයට, තාක්ෂණයක් තියෙනවානේ වැරදුණු තැන හොයා ගන්න. අන්න ඒ යන්ත්‍රණය, උපක්‍රමය තමයි මම මගේ ලිපියෙන් හඳුන්වා දුන්නේ. ක්‍රීඩකයන්ගේ තීරණ යළි විමසීමේ රෙෆරල් ක්‍රමය කියලා මගේම සංකල්පයක් විදිහට. අතීතයේදී නව තාක්ෂණය නොතිබුණු නිසා ක්‍රීඩකයෙක්ට මොකුත් කරන්න බෑ පිටියේ විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව. ඒත් දැන් වෙනත් කෙනකුට පුළුවනි කැමරා පාවිච්චි කරලා හොයා ගන්න විනිසුරු වැරැද්දක් කරලා තියෙනවද නැද්ද කියලා. ඒ අනුව තුන්වැනි විනිසුරුවරයාට ආයාචනා කරන්න ක්‍රීඩකයෙක්ට නිදහස තියෙන්න ඕනා. එතකොට තුන්වැනි විනිසුරුවරයාට පුළුවනි කැමරා කෝණවලින් බලල නිවැරැදි තීන්දුවක් දෙන්න. අන්න ඒ සංකල්පය තමයි මම දුන්නේ. ඊට පෙර එවැනි සංකල්පයක් ක්‍රිකට් ලෝකයේ කිසිම කෙනකු හඳුන්වා දීලා තිබුණේ නෑ. පළමු වතාවට මමයි ඒක හඳුන්වලා දුන්නේ. ඒක තමයි පසුකාලීනව අයිසීසීය ක්‍රියාත්මක කළේ.‘ ඔහු සිය ලිපියෙහි අඩංගු තොරතුරුවලට පාදක වූ කරුණු එකින් එක එසේ පැහැදිලි කළේය.

පසුකාලීනව 2008 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ අපූරු විනිසුරු ක්‍රමවේදය ක්‍රිකට් පිටියට හඳුන්වා දුන් අතර, එය පළමුවරට එම වසරේ ජූලි මාසයේ 23 වැනිදා සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ටෙස්ට් තරගමාලාවට ඇතුළත් කෙරිණි. එම සංකල්පය හඳුන්වා දුන් ශ්‍රී ලාංකිකයාගේ මව්බිමේදීම එය පළමුවරට ක්‍රීඩාවට එක්වීමත් අපූරු සිදුවීමකි.

එස්එස්සී පිටියේ පැවැති එම ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙකම හරි හරියට ඩීආර්එස් ක්‍රමවේදයේ පිහිට පැතූවේ තරගයේ පළමු දිනයේ සිටමය. ඩීආර්එස් ක්‍රමවේදයේ පිහිට පැතූ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වූයේ ඉන්දීය පිලේ දඟපන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං ය. ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුර කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය පිතිකරුවකු බවට ඔහු කළ ඉල්ලීම පිටියේ විනිසුරු ප්‍රතික්ෂේප කළ විට ඔහු ඩීආර්එස් ක්‍රමය ඉල්ලා ‘ටී අකුර‘ සංඥා කළේය. අවසානයේ හර්බජන්ට සාධාරණය ඉටු විය. මලින්ද කඩුල්ල මුවා කළ බවට තුන්වැනි විනිසුරු තීරණය කළේය. එම තරගයේදීම ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු විරෙන්දර් ෂෙවාග් ඩීආර්එස් ක්‍රමවේදයෙන් දැවී ගිය ලොව පළමු පිතිකරු බවට පත් වූයේ ඔහුගේ දැවී යෑම පිටියේ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් පසු ශ්‍රී ලංකා පිල ඩීආර්එස් ක්‍රමවේදයේ පිහිට පැතීම නිසාය. එපමණක් නොව එම තරගයේදීම පිටියේ විනිසුරුවරයා දුන් දැවීයෑම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පිලේ තිලකරත්න ඩිල්ෂාන් ඩීආර්එස් ක්‍රමවේදයේ පිහිටෙන් කඩුල්ල රැක ගැනීමට සමත් වූ ලොව පළමු පිතිකරුවා බවට පත් විය. අනතුරුව ඔහු නොදැවී ලකුණු 125ක්ම රැස් කළේය. ඩීආර්එස් ක්‍රමවේදය වැඩි කාර්යභාරයක් ඉටු කළ එම ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඉනිමකින් සහ ලකුණු 239කින් ජය ගත්තේය. ඒ අනුව ක්‍රිකට් පිටියේ පළමු අවතීර්ණයේදිම ඩීආර්එස් අතිසාර්ථක විය. අනතුරුව එම ක්‍රමවේදය 2011 වසරේදී එක්දින ක්‍රිකට් පිටියටත්, 2017 වසරේදී විස්සයි20 ක්‍රිකට් පිටියටත් හඳුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළේය.

මේ වන විට ක්‍රිකට් පිටියේ ගුණාත්මකභාවය සහ තරගකාරීත්වය ඉහළ යෑමටත්, ක්‍රීඩාලෝලීන් අතර තවදුරටත් ජනප්‍රියත්වය රඳවා තබාගැනීමටත් ඩීආර්එස් ක්‍රමවේදය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව නොරහසකි. එහෙත් එම අපූරු සංකල්පය ලොවට හඳුන්වා දුන් ශ්‍රී ලාංකිකයාට මෙතෙක් අයිසීසීයෙන් කිසිදු පිළිගැනීමක් නොලැබීම කනගාටුදායක තත්ත්වයකි. එවැනි තත්ත්වයක් උද්ගත වූයේ මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ නොසැලකිල්ල සහ දුර්වලත්වය හේතුවෙන් බව සේනක වීරරත්න කීවේය.

‘1997දීම මම ක්‍රිකට් ආයතනයට (එවකට ක්‍රිකට් පාලක මණ්ඩලය) මේ බව ලියා යැව්වා. ඒ වෙද්දී මම ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටි නිසා කොළඹ සිටි මගේ සමීපතම මිතුරකු මගින් මම මේ යෝජනාව එවකට සිටි ක්‍රිකට් සභාපතිවරයාට මගේ මිතුරාගේ අතින්ම බාර දෙන්න කටයුතු කළා. ඒ එක්කම මම පණිවුඩයක් දුන්නා ඊළඟට තියෙන අයිසීසීයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී මේ යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. අයිසීසීයේ වාර්ෂික මහ සභා රැස්වීම ඒ වසරේ ජූලි මාසයේ පැවැත්වුණා. අවාසනාවකට ඒ යෝජනාව අපේ රටේ ක්‍රිකට් බලධාරීන් අයිසීසීයට ඉදිරිපත් කළෙත් නෑ. ඒක සාකච්ඡාවට ලක් වුණෙත් නෑ.‘සේනක වීරරත්න දැඩි කනගාටුවකින් යුතුව එසේ කීවේය.

‘ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර ගන්නට තිබුණු හොඳම අවස්ථාවක් තමයි ඔය විදිහට මඟ හැරුණේ. අදටත් මම මේ සම්බන්ධව මගේ අයිතිය බලාපොරොත්තුවෙන් ඉන්නේ. මගේ සංකල්පයේ අයිතිවාසිකම් දිනා ගන්න මම තවදුරටත් සටන් කරනවා‘ ඔහු පැවැසීය.

සැබැවින්ම ඩීආර්එස් ක්‍රමවේදයේ නිර්මාතෘ සේනක වීරරත්න බව එම ක්‍රමවේදය පිළිබඳ අන්තර්ජාලයේ විකිපීඩියා වෙබ් අඩවියේ පැහැදිලිව සඳහන් වේ. එපමණක් නොව ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින රටවල් රැසක පුවත්පත්වල ඒ පිළිබඳ වාර්තා පළ වී තිබිණි.

සේනක වීරරත්න ට අයිසීසීයෙන් එවැනි පිළිගැනීමක් නොලැබුණ ද, ඩක්වර්ත් ලුයිස් වර්ෂා නීතියට අයිසීසීය උපරිම සාධාරණය ඉටු කිරීම කැපී පෙනේ. එංගලන්ත ජාතික දත්ත සැකසුම්කරුවන් දෙදෙනකු වන ෆ්‍රෑන්ක් ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් එක්ව තැනූ ගණිතමය ආකෘතිය අයිසීසීය පිළිගත්තේ ක්‍රිකට් තරගයක් වර්ෂාව හේතුවෙන් අතරමඟ නතර කිරීමට සිදුවන අවස්ථාවලදී ප්‍රතිවාදී පිලට ලබාදෙන ජයග්‍රාහී ඉලක්කය සම්බන්ධ විවේචන රැසක් එල්ල වූ කාලයකය. එය ක්‍රිකට් පිටියට හඳුන්වා දීමේදී එම සංකල්පයේ නිර්මාතෘවරුන්ට සිදු කරන ගෞරවයක් ලෙස‘ඩක්වර්ත්- ලුවිස් න්‍යාය ලෙස පිළිගැනීමට සහ හඳුන්වාදීමට පියවර ගෙන තිබිණි. එහෙත් සේනක වීරරත්නගේ ඩීආර්එස් ක්‍රමවේදයට මෙතෙක් එවැනි තත්ත්වයක් නොලැබීම අවාසනාවන්ත සිදුවීමකි.

‘ක්‍රිකට් බලධාරීන් හෝ හිටපු ක්‍රීඩකයන් කවුරුවත් අදටත් මගේ ඩීආර්එස් ක්‍රමය ගැන හඬක් නඟා නැහැ. දැන් මේ සිදුවීමට අවුරුදු 25ක් වෙනවා. අඩු ගාණේ මේක ශ්‍රී ලාංකිකයකුගේ සංකල්පයක්, ඒක යෝජනා කළේ ශ්‍රී ලාංකිකයෙක් කියල කියන්නවත් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ශ්‍රී ලංකාවේ කිසිම පුද්ගලයෙක් ඉදිරිපත් වුණේ නෑ. වතාවක් ටෝනි ග්‍රෙග් මට කිව්වේ ඔබේ ක්‍රිකට් බලධාරීන් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැතිනම් අපි කොහොමද ඔබට උදව් කරන්නේ කියලා‘ සේනක වීරරත්න වැඩිදුරටත් කීවේය. ඩීආර්එස් ක්‍රමවේදය හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මකභාවය ආරක්ෂා වී ඇති අතර, තරග විනිසුරුවන්ට විවේචන එල්ල වීම ද අවම තත්ත්වයකට පත්ව ඇති බැවින් එහි සාර්ථකත්වය පවතින්නේ ද ඉහළ මට්ටමකය.

‘වතාවක් එවකට අයිසීසීයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ ඩේවිඩ් රිචර්ඩ්සන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී ඔහු අමතා ‘මම තමයි ඩීආර්එස් සංකල්පයේ පියා. වෙන කවුරුවත් එවැනි ඉදිරිපත් වීමක් සිදු නොකිරීමෙන්ම එය මගේ සංකල්පයක් බව තහවුරු වෙනවා. මම නැත්තම් වෙන කවුද‘ කියා ඇසූ විට ඔහු නිරුත්තර වූ බව සේනක වීරරත්න කීවේය.

දිය යට එබූ රබර් බෝලයක් මෙන් වරින් වර ඉහළට මතුවන ඔහුගේ ඩීආර්එස් ක්‍රමවේදය පිළිබඳ නැවත කතාබහට ලක්වී ඇත්තේ පසුගියදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රකට නීති සමාගමක් හරහා ඔහු අයිසීසීයට නැවත ඒ පිළිබඳ සිහිපත් කිරීම නිසාය. එය සිදු වූයේ පසුගිය කාලයේ එංගලන්ත සංචාරයක් අතරතුර මෙරට ක්‍රිකට් ප්‍රධානින් කිහිපදෙනකු අයිසීසීයේ ඉහළ මට්ටමේ නිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව සිඩ්නි නුවර නීති සමාගම හරහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් තමාට හිමි අයිතිය ලබා දෙන ලෙස සේනක වීරරත්න නැවත ඉල්ලා සිටියේය.

හර්ෂ කබ්රාල් සහ කුෂාන් ඉලංගකෝන් නීතිඥවරු දෙදෙනා එක්ව මේ පිළිබඳ නීතිමය වශයෙන් අයිසීසීයට දන්වා යවා තිබේ. අයිසීසීය මගින් ස්ථාපිත කළ ඩීආර්එස් ක්‍රමවේදයේ ප්‍රධානම කරුණු 4 වසර 1997 දී සේනක වීරරත්න විසින් ‘දි ඔස්ට්‍රේලියන්‘ පුවත්පතට ලියන ලද ලිපියෙහි සටහන්ව ඇති බව යළි පෙන්වා දී තිබේ.

එම කරුණු හතර මෙසේය. පිටියේ විනිසුරුගේ තීරණයට එකඟ නොවන්නේ නම් ඊට එරෙහිව අභියාචනා කිරීමේ අවස්ථාවක් දිය යුතුය. එම ඉල්ලීම පන්දු රැකීමේ කණ්ඩායමේ නායකයා හරහා සිදු කළ හැකිය. එම අභියාචනාව තුන්වැනි විනිසුරුට යොමු කළ යුතුය. පිටියේ විනිසුරුගේ තීරණවලට එරෙහිව අභියාචනා කිරීමේ වාර ගණන ඉනිමකට යම් නිශ්චිත ප්‍රමාණයකින් සීමා කළ යුතුය. එම කරුණු සියල්ල මේ වනවිට ඩීආර්එස් ක්‍රමවේදයට ඇතුළත් බව පැහැදිලිව පෙනේ.

සේනක වීරරත්න මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. හෙතෙම 70 දශකයේදී කොළඹ නීති පීඨයට ඇතුළත් වී ඇති අතර, පසුකාලීනව ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වැඩිදුරටත් අධ්‍යාපනය ලැබුවෙකි.

‘ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ක්‍රීඩා පිටියේදී විතරක් නෙවෙයි පිටියෙන් පිටතත් දස්කම් පෙන්වන ජාතියක්. මගේ ඩීආර්එස් ක්‍රමයෙන් ඒ බව අපි ලෝකයට ඔප්පු කළා. යම්කිසි විදිහකින් යම්කිසි සංකල්පයකින් ආර්ථික වාසියක් ලබනවා නම් ඉන් කොටසක් නිර්මාණකරුට නිර්මාතෘට දිය යුතුයි. මම ඉල්ලන්නේ ඒ අයිතියයි. මගේ සංකල්පය ලොවට ඉදිරිපත් කරද්දී කිසිම ක්‍රීඩාවක ඒ වගේ සංකල්ප තිබුණේ නෑ. ටෙනිස්, හොකී, රග්බි, පාපන්දු වගේ ලොව ජනප්‍රිය ක්‍රීඩාවලටත් මේ සංකල්පය ඇතුළත් වුණේ මා නිසයි.මට ක්‍රිකට් ක්‍රීඩාවට තවත් සංකල්ප හඳුන්වා දෙන්න පුළුවනි. ඒත් මෙවැනි සංකල්පවලට පිළිගැනීමක් සිදු කරන්නේ නැතිනම් අලුත් සංකල්ප මගෙන් විතරක් නෙවෙයි වෙන කාගෙන්වත් බිහිවන එකක් නෑ.‘ සේනක වීරරත්න අවසන් වශයෙන් කියා

Courtesy:  ‘Silumina’

December 17, 2022

 ෆ

https://archives1.silumina.lk/2022/12/17/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%85-%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A-drs-%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%93%E0%B7%83%E0%B7%93-%E0%B6%BA-%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%AF/39989

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress