ජනතා විමුක්ති පෙරමුණට (JVP) යාහැකි මඟ – part 1
Posted on November 20th, 2023

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D 

(784) නීතීඥ වටගල හා ලාල්කාන්තගේ පුතාලා ගැන සමන් කියූ කතාව-සෞඛ්‍ය\ගුරු ප්‍රශ්න දකින විදිහ – YouTube

හෘද ශාක්ෂිය හා අධ්‍යාත්මය අතර වෙනසක් තිබේද?

අනුර කුමාර මහතා විසින් නොබෝදා කල <JVP එක විසින් ජාතික ජන බලවේගයට (NPP) <අධ්‍යාත්මය>  සපයනවා [පිඹිනවා],> යන  ගාම්භීර ප්‍රකාශය නිසා මෙම කෙටි සටහනට මා විසින් කලින් යොදාගන්නට සිතූ, <JVP නායකයින්ගේ හෘදය ශක්ෂිය > යන මාතෘකාව ඉවත් කිරීමට තීරණය කළෙමි.  මෙම හෘද ශාක්ෂි කතාව රට තුල පුන පුනා කියන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතාය. මුන් 225 ම එපා, අවුරුදු 75 ක්ම මුන් රට කෑවා, යන පද වෙනුවට, <අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා හෘදය ශාක්ෂියක් නැති මිනිසුන්> යයි කීමෙන්, ශ්‍රී සද්ධර්මය ආශ්‍රිත සංකල්පයක් හරහා ඔහු පොදුවේ මේ රටේ දේශපාලන පංචස්කන්ධවලට අභියෝගයක් එල්ල කරයි.  අනුර කුමාරගේ  අධ්‍යාත්ම කතාව මෙම අභියෝගයට දෙන්නට හැදූ පිළිතුරක් වැනිය. මෙම පිළිතුර කෙතරම් දුරට පිලිගත හැකිද?

ගමේ ගොඩේ භාෂාවෙන් හෘදය ශාක්ෂියක් නැති මිනිසුන් යයි කියන්නේ ඩබල් ගේම් කාරයින්ටය. රට ජාතියේ අභිවෘධිය වෙනුවට පුද්ගලික වාසිය සඳහා ක්‍රියාකරණ දේශපාලක පංචස්කන්ධ ඩබල්ගේම් කාරයින්ය. මේ අනුව සිතන විට D.S. සේනානායකගේ සිට රටේ අගමැති-ජනාධිපතිවූ හැමදෙනාම මෙවැනි ඩබල්-ට්‍රෙබල් ගේම් මාස්ටර්ලා බව පෙන්වන්නට ශාක්ෂි බුසල් ගණනින් තිබේ. එසේ නොවු කෙනෙක් වශයෙන් මේ මොහොතේ මට මතක් වෙන්නේ  CWW කන්නන්ගර අධ්‍යාපන  ඇමති පමණය. තමන්ගේ මිනිබිරිය විශාඛා විද්‍යාලයට දාගන්නට පාරේ පෝලිමේ සිටීමට සිදුවූ ඔහු, අවසාන කාලයේදී තමන්ට බෙහෙත් ගන්නට ආධාර මුදලක් ඉල්ලා කතානායකට ලියුමක් ලිව්වේය.

හිතක්-පපුවක්, තෙතමනයක් (හෘදයශාක්ෂියක්) නැති මිනිහෙක් යයි කියනවාට වඩා දාර්ශණික අර්ථයක් අධ්‍යාත්මය යන වචනයෙන් ද්වනිතවේ. මෙය සජිත් විසින් වරක් සිය < ශ්‍රී මුඛය> ගැන කිව් කතාවට සමාන නැත. මේ නිසා මෙම සටහනේ අරමුණ මේ සම්බන්ධයෙන් JVP නායකයින්ට කාරණා පහදා දීමය. ඊට හේතුව ඔවුන් කියන දෙය හා කරණ දෙය අතර තිබෙන ඔවුන්ට නොපෙනෙන පරස්පරය (walk the talk) අවංකවම විසඳාගත්තොත්  ජනාධිපති තරඟය කෙසේ වෙතත් පාර්ලිමේන්තු ආසන 50 ක් වත් ලේසියෙන්ම දිනාගන්නට ඔවුන්ට මෙවර ඉඩක් පෑදී ඇති නිසාය.

සාදුකින් පෙලෙනවුන්

යම් රටක, සමාජයක නිතැතින් පවතින එහි කොටසකගේ දුගීකම ලෝකයේ මාක්ස්වාදීන්ගේ පැවැත්ම සඳහා ලැබී ඇති ආර්ථික-දේශපාලන අල්ලසය. එය ශ්‍රමය සූරාකෑමේ හා පන්ති සටන ලෙස හැඳින්වේ. මෙම න්‍යායධර්මය ජේසුතුමා විසින් සිය අවසාන භෝජන අවස්ථාවේදීත්, බුදු දහමේදී <බඩගින්න>  වශයෙනුත් පෙන්වාදී ඇත. සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැඟිටියව් යනුවෙන් 1930 ගණන්වල සිට ප්‍රචලිතවූ පාඨයෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්නට, ලංකාවේ දැන් ඇති දුෂ්ට, විෂම පාලනක්‍රමය මඟින් JVP ට අවස්ථාවක් ලබාදී ඇත. 2024 අයවැය යෝජනා මේ සඳහා පාරක්ද කපාදී තිබේ. මේ නිසා මාක්ස්වාදයෙන් නොව, බෞද්ධ සමාජ ආර්ථික විද්‍යාවෙන් (Buddhist Economics) ක්‍රියාකලොත් 1930 ගණන්වල සිටම අසාර්ථකවු වාමාංශික දේශපාලනයට පාලන බලය ලබා ගැනීමට ඉඩක් පෑදී ඇත. ඒ සඳහා අවශ්‍යවන්නේ ඩබල්ගේම් නොගැසීමය. බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අමතක කර ලබාගත හැකි <අධ්‍යාත්මයක්> නැත.

මට හිතෙන හැටියට, කිසිවෙක් ඉදිරි ජනාධිපති තරඟයෙන් සියේට 30 කට වඩා ගන්නේ නැත. ඔමල්පේ සෝභිත හිමියන් කුමන්ත්‍රණ අරගලයේ පින්ඩපාතේ යමින්, <මින් පසු රටේ සිංහල බෞද්ධ බලවේගය  විනාශයි> කියා  කිව්වත්, සිංහල බෞද්ධ චන්ද නැතිව සියේට 51 ක් ගන්නට නොහැකිය. මෑත ලෝක ඉතිහාසය අනුව කල්පනාකරණ විට ලංකාවේ කලබගෑනියක් ඇතිකර UNO සාම හමුදා (ඉන්දියන්/ඇමෙරිකන්) ගොඩබස්සවා  ගැනීම  රනිල් මහතාගේ/ජූලි චං මැතිණියගේ උපාය වීමටද ඉඩක් ඇත. අනුර කුමාරව ඇමෙරිකාවට යැවීම, ගෝඨාභය ඉදිරියේ දෙවියන්ට යාඥා කිරීම වැනි දිරච්ච ලණුවක් විය නොහැකිද?

මීට පෙර කාලයක රංජන් රාමනායක හාමුදුරුවරුන්ට අපහාසකලේ ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරියෙකුගේ බිස්නස්කාඩ් එකක් තම පර්ස් එකෙන් ගෙන පෙන්වමින්ය. පානදුරේ ලාල් විසින් අනුර කුමාරලාට ජූලි චං කල ආරාධනය වාර්තාකලේ JVP එකට ලැබුණ ගෞරවයක්, පිළිගැනීමක් ලෙසය. වෙන අයට එසේ ආරාධනා කරනවාද කියා ඔහු ඔච්චම් කරයි! මෙවැනි ලණු ගැන ඔහුට දැනුමක් නැත. අනුර ජනාධිපති වුනත් ඇමෙරිකාව ඔහුව පාලනය කරණ බව, පකිස්ථානයේ හමුදාව තුල ඇති ඩොලර් අල්ලස් බලය ගැන නොදන්නා ලාල්ට වැටහීමක් නැත.

චේතනාව හා අධ්‍යාත්මය

දේශපාලකයින් විසින් බුද්ධාගමේ වචන  හා සූත්‍ර ගැන  දැන් දැන් වැඩි වැඩියෙන් දියවන්නා හෝටලයේදී මෙන්ම ඉන් පිටත්  කතා කිරීම තරඟයක් වැනිය. 2024 අයවැය කතාව පවා ආරම්භවන්නේ ත්‍රිපිටකයේ සූත්‍රයකිනි. චේතනාව හා අධ්‍යාත්මය යනු එකම කාසියේ දෙපැත්ත වැනිය. මාක්ස්වාදය අත් නොහළ පිරිසක් වශයෙන් JVP විසින් තමන් සිංහල බෞද්ධයයි කීම (NM පෙරේරලා, කොල්වින්ලා, ඩියු ගුණසේකරලා නම් කවදාවත් එසේ කිව්වේ නැත) බැරෑරුම් වගකීමකි. හඳුන්නෙත්ති විසින් බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමයක් ගැන කතා කලේය.  විජිත හේරත් ගමේ විහාරයක කොත් පැළඳවීමේ උත්සවයකට ගොස් එය කඩා වැටී අනූනමයෙන් බේරුණේය. මේ අස්සේ JVP ට නිලනොලත් ලෙස කඩේ යන සේපාල් අමරසිංහ නිරාගමික ආගම අබිං මතයක් ඉස්සරහට දමමින් සිටී. 20,000 ක් පමණ නිරා බලකායක් JVP වෙනුවෙන් ෆේස්බුක්, යු ටියුබ් අල්ලාගෙන පිනුම් ගසමින් (යකා නටමින්) සිටිනවා යයි අසන්නට ලැබේ. සේපාල් සමඟ බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගේ පිරිත් නූල ගැනත්, ඩලස් අලහප්පෙරුමලා සමඟ පැවති සාකච්චාව ගැනත් ලාල්කාන්ත කල ප්‍රකාශ බලය ලබා ගැනීම සඳහා ඕනෑම කෙනෙක් භාවිතා කරණවා යන හිට්ලර්ගේ ගිවිසුම් ක්‍රමයට සමානය. මෙවැනි ක්‍රියා බුදු දහමේ අධ්‍යාත්මයට පටහැණිය.

නිරාගමික සේපාල් JVP පක්ෂයට කරණ හානිය

උමංදාවේ හාමුදුරුවන් හා අම්පිටියේ සුමනරතන හිමියන් රටට කරණ සේවය අනුව සිතන විට සේපාල් නිකම්ම් පඹයෙක් පමණය (සේපාල් විසින් යම් සුළු සේවයක්වත් නොකරණවා යයි මම නොකියමි). එහෙත් ඔහුගේ දාර්ශනික තර්ක ඔස්සේ ඔහුද ඩබල්ගේම්කාරයෙක් හෙවත් තමන් තමන්වම රවටා ගන්නා අවලංගු පංචස්කන්ධයක් නොවේද කියා ඔහුට නොපෙනේ. වාරණ ආනන්ද ජයකොඩි නම් මහතා සමඟ ඔහු කරණ කතා අනුව  1971/88-89 JVP යනු ශාන්ත දාන්ත තීන්ත කූඩුය. පන්ති සටන යනු මැයි දින පෙලපාලි වලදී යූනියන් ප්ලේස් සාප්පුවල වීදුරුවලට ගල් ගසනවාට වඩා වැඩි දෙයකි. වාරණ-සේපාල් සංවාද අනුව JVP ඝාතන, සතුරා විසින් කල ඝාතනවලට දැක්වූ ප්‍රතිචාරය. JR මරමු යයි තාප්පවල ලිව්වේ JVP අය නොව රාජිත සේනාරත්න වැනි JVP එකේ සතුරන් විසින්ය! මෙය ගැලපෙන්නේ කොණ්ඩේ වවාගෙන පෙලපාලි යන අන්තරේ  කහසිවුරු පොරවාගත් තරුණයින්ටය. ගමේ පන්සලක හාමුදුරුවරු JR පන්නමු, එලවා දමමු, යන්නට වැඩි දෙයක් එදත් අදත් කියන්නේ නැත.

1969-70 කාලයේදී පානදුරේ තරුණයින්, රෑට රෑට හරියට දොර අඟුල්වත් නැති දුගී ගෙවල්වල කුස්සිවලට රිංගා බත් මුට්ටි හොරකම් කලේ සටන් පුහුණුවේ කොටසක් වශයෙනි (මීට සම්බන්ධව සිටි JVP තරුණයින්ගේ නම් දෙකක් මා විසින් සේපාල්ට ඊමේල් කර යවන ලදී). මේ නිසා අධ්‍යාත්ම කතාවක් කීමට පන්ති සටනක් දියත් කරණ අයට නොහැකිය.  JVP නායකයින් දැන් 2023 නොවැම්බර් මාසේ මැදදීත් කියන්නේ පාරේ අරගලයකින් බලය අල්ලා ගන්නා බවය. ඉදිරි එවැනි උත්සාහයකදී හමුදාවට හා පොලීසියට ඔවුන්ගේ පැත්තට එන ලෙස ඔවුන් දන්වා සිටී. විශ්‍රාම ගිය හමුදාකාරයින් විශාල වශයෙන් NPP සමඟ බද්ධවී ඇති බවද අනුර කුමාරලා මහත් උජාරුවෙන් කියාපායි.

අවි ගත්තෝ අවියෙන්ම නසී යනු බෞද්ධ කියමනක් නොවේ. නමුත් 1930 ස් ගණන් වලදී මාක්ස්වාදීන් ධර්මපාලතුමාගේ අදහස් සළකා බැලුවා නම්, සමහර හාමුදුරුවරු ඔවුන්ට පෙන්වා දීමට සැදූ බෞද්ධ මාර්ගය අනුගමනය කලා නම් දැන් 2023 දී හඳුන්නෙත්තිට අළුතෙන් බෞද්ධ රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කතාකරන්නට අවශ්‍යවන්නේ නැත. මැලේරියා ගම්වලට ලොරිවලින් බඩු ගෙනගිය සූරියමල් මාක්ස්වාදීන් 1940 දශකයේදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් දියත්කල අපරාධ මර්දන හා ග්‍රාම ප්‍රතිසංස්කරණ දීපව්‍යාප්ත ව්‍යාපාරයට හවුල්වුනා නම් ඔවුන් ලංකාවේ හෝචිමිංලා වෙන්නේය (එයට D.B ජයතිලක, D.S සේනානායක හා SWRD බණ්ඩාරනායක යන ඩොනමෝර් ඇමතිවරු සහාය නොදීම තේරුම් ගත හැකිය. ඔවුන්ට ධර්මපාලතුමාගේ ආර්ථික දර්ශණයද අරහං විය). පුදුමයට කරුණ නම් හඳුන්නෙත්තිලා, අනුර කුමාරලා මෙසේ නිකමටවත් <බෞද්ධ කතා> කරද්දී, JVP ට බලෙන්ම කඩේ යන සේපාල් බෞද්ධයින්ට කරණ පහරදීමය. නිදසුණක් වශයෙන් ගුණදාස අමරසේකර උපන්දින සැමරුවේදි නලින් ද සිල්වා විසින් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් වියයුතු කුමක් නිසාදැයි පෙන්වා දුන්නත්, සේපාල් විසින් එය බඩගෝස්තරයින්ගේ සමුළුවක් ලෙස ඔහුගේ යූටියුබ් සහචරයින්ට වාර්තා කලේය.

1994 දී චන්ද්‍රිකාව ලන්ඩන් වලින් කොළඹට උස්සාගෙන ඒමට ක්‍රියාකලේ වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න, පානදුරේ රෙජිනෝල්ඩ් කුරේ යනාදි පිරිසක් බවත් ඇගේ 1995 රටකඩන පැකේජ්ඩීල් එක ඔවුන්ගේ අරමුණවූ බවත් නලින් පෙන්වා දුන්නේය. මීට විරුද්ධව බෙංගමුවේ නාලක හා ඔමාරේ කස්සප යන හාමුදුරුවරු කළුතර බෝධිය ලඟ සිට කතරගම දක්වා පා ගමනක් ගියේය. 2000 දී මේ පැකේජ්ඩීල් එක පැරදුනේ අනූනමයෙනි. සේපාල් වැනි සිංහල බෞද්ධ විරෝධීන්ට මේවා වැදගත් නැත. නලින්ට අනුව මුනිදාස කුමාරණතුංග රට ජාතියේ ඓතිහාසික වීරයෙකි. සේපාල්ට අනුව සීයා අනුව යන ඔහුගේ මුණුපුරා බඩජහරියෙකි (සේපාල් ගෙවිඳුගේ කෑම පිඟානද ඔහුගේ වීඩියෝවේ පෙන්වයි).

LankaWeb – සජිත්-රනිල්-චන්ද්‍රිකාගේ රට කැබලිකිරීමේ ප්ලෑන  ( 2019/11/05)

හෘදය ශාක්ෂිය

(A). පුද්ගලික වාසිය සඳහා සමාජයට හානියක් නොවන ආකාරයේ ඩබල්ගේම් ගැසීමට උදාහරණයක් වශයෙන් ඉහතින් ඇති වීඩියෝව බලන්න. ඒ අනුව වටගල කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය පිහිටුවනවාට විරුද්ධව පෙලපාලි සංවිධානය කල JVP කාරයෙකි. නමුත් ඔහුගේ පුතා පසුව ඒ ආයතනයෙන් උපාධියක් ලබාගත්තේය. JVP නායාචාරියෙක් වන ලාල් කාන්තගේ පුතා පුද්ගලික ආයතනයකින් උපාධියක් ලබාගත්තේය. මෙය ප්‍රභාකරන් තම දරුවන් පිටරට ඉගෙනගන්නට යවා යාපනේ වෙල්ලාල නොවන දුගී දරුවන් යුද්ධයට හොරකම් කරගත්තාට වඩා වෙනස්ද? මෙවැනි නිදසුන් තවත් බොහෝ ඇතිබව නිසැකය. ලුමුම්බා සරසවියට විජේවීර ශිෂ්‍යා ගියේද කොමියුනිස්ට් පක්ෂයේ නම් ලැයිස්තුව  (ඔහුගේ පියා) නිසාය!

(B). දේශපාලන වාසිය තකා වංක ලෙස ක්‍රියාකරණවා යයි JVP ට (අනුර කුමාරට) නාගානන්ද කොඩිතුවක්කු විසින් කරණ චෝදනා, දේශපාලන පක්ෂයක් වශයෙන් ඔවුන් රටේ දේශපාලන ක්‍රමයට කල ද්‍රෝහී ක්‍රියා ලෙස හුවා දැක්වේ.

(C). අනුර කුමාර විසින් ඇමෙරිකාවේ සංචාරය කරමින් කල ප්‍රකාශණ දෙකකින් මතුවූයේ ඔවුන්ගේ සිංහල බෞද්ධකම පිළිඹද අර්බුදයකි. අධ්‍යත්මික ප්‍රශ්ණයකි. මේ ප්‍රකාශණ දෙක රටේ සිංහල බෞද්ධ ජනයාගේ චන්ද ඔහුට නොලැබීමට හේතුවනවා නිසැකය. තම මත සාධාරණ කිරීමට ඔහු ගේනා තර්ක පදනම් රහිතය. රෝහණ විජේවීරගේ මෙන්ම ඔහුගේ පුත් උවිඳුගේ අදහස් වලටද පටහැනිය. මෙය සුළු ජන වර්ගවල චන්ද ලබාගැනීමට සෙසු දේශපාලකයින් කරණ මගඩියට  සමානය. විමල් වීරවංශ මෙන්ම සෝමවංශ අමරසිංහද පක්ෂය හැරදා ගියේ මේ නිසාය.

*1. ඇමෙරිකාවේ සුදු ජනයාගේ අයිතිය පිළිගනිමින් ලංකාවේ හා අනිකුත් රටවල ජනවර්ග සිය නිදහස භුක්තිවිඳිමින් සිටියත්, ලංකාවේදී සිංහල මහජාතියට උතුරු නැඟෙනහිර ජීවත්වන්නට ඉඩක් නැත්තේ ඇයිදැයි ඇසු ප්‍රශ්ණයකට අනුර කුමාර දුන්නේ වික්ෂිප්ත පිළිතුරකි. <…මිහිඳු හාමුදුරුවන්ගේ ආගමනයත් සමඟ ඇතිවූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය අතීතයේ සිට ලංකාව  ගොඩනැඟුවේය. ඒ වුනත් මේ වනවිට රටේ ඇත්තේ බහු ජාතික සමාජයක් නිසා ලංකාව සිංහල බෞද්ධ රටක් යයි හැඳින්විය නොහැකියයි අනුර කියා සිටියේය.> මෙය මංගල සමරවීර-විජේදාස රාජපක්ෂ-ඩලස්-ඩිලාන්- SB දිසානායක-GL පීරිස්-රනිල් වික්‍රමසිංහ-සජිත් ප්‍රේමදාස වැන්නන්ගේ හා මාක්ස්වාදීන්ගේ අරටු බැසගත් පොදු මතයය.

සිංහල බෞද්ධ රාජ්‍යයක් තුල දෙමළ හා මුස්ලිම් ජනයා සහජීවනයෙන් ජීවත්වු අතර එය කඩා බිඳ දැම්මේ සුද්දා විසින්ය. බෞද්ධයින් ආගමික යුද්ධ කර නැත. අද වනවිට ගැටුම් ඇතිවී තිබෙන්නේ සිංහලයින් විසින් ඔවුන්ට අහිමිකල අයිතීන් ආපසු ලබා දෙන ලෙස කල ඉල්ලීම නිසා පමණක් නොවේ. (1). 1917 දී මැඩ්‍රාස් ප්‍රාන්තයේ බිහිවූ ද්‍රවිඩස්ථාන් ව්‍යාපාරයේ අභාෂයෙන්, 1923 සිට අරුණාචලම් ආරම්භකල දමිළ ජාතිවාදය හා 1949 සිට චෙල්වනායගම් ගෙනා කොසොවෝ ඊළම්වාදය, (2) ආසියාව ක්‍රිස්තියානි කිරීමේ වතිකානුවේ හා ක්‍රිස්තියානි මූලධර්මවාදී අයථා අන්‍යාගමීකරණ ඩොලර් ව්‍යාපාරය (3) ශාරියා-වහාබි මුස්ලිම් ව්‍යාප්තවාදය හා (4) රට තුලින්ම සේපාල්ලා, රංජන් රාමනායකලා වැන්නන් විසින් උල්පන්දම් දෙන බුද්ධාගමට පහරදීමේ  NGO ශූක්ෂම ඩොලර් කුමන්ත්‍රණ යන දේශීය හා විදේශීය බලවේග  අනුර කුමාර විසින් අමතක කර ඇත.

මේ සම්බන්ධයෙන් නොයෙක් ශාස්ත්‍රීය ලිපි ලංකා වෙබ් වෙබ් අඩවියේ එමටය. 1551 න් පසු 2016 (?) මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ප්‍රථම වරට මෙම කාරණය පැහැදිලි කර දෙනලදී. ලංකාවේ සෙසු ජාතීන් හා ලබ්ධීන් සිංහල බෞද්ධ වෘක්ෂයෙ සෙවනැල්ල යටතේ පෝෂණය වූ බව එතුමා පැවසුවේය. යුද හමුදාපතිව සිටියදී සරත් ෆොන්සේකා කියා සිටියේද <සෙසු ජනවර්ග වලට සමාන අයිතිවාසිකම් සහිතව සිංහල මහසමාජය තුල සාමයෙන්, සතුටින් ජීවත් විය හැකි බවත්, එහෙත් ඔවුන් විසින් අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් නොකල යුතු බවත්ය>.

ලංකාවේ සිංහල බෞද්ධ පදනම බිඳ දැමිය යුතුයයි මිසිස් චන්ද්‍රිකා හා රෝසි සේනානායක යුවල කරණ ප්‍රකාශය අනුර කුමාරගේ ප්‍රකාශයේ අක්කාය. ලංකාව සිංහල බෞද්ධයින්ගේ රට යයි කියන්නට දැනුමක්, අවභෝධයක් නැති, ඒ සඳහා ලැජ්ජාවෙන හෝ ආත්ම ශක්තියක් නැති අයෙකුට ලංකාවේ ජනාධිපතිවීමට අයිතියක් නැත.

*2. මේ හා බැඳුණ ඊලඟ ප්‍රකාශය වන්නේ 13-A සම්බන්ධයෙන් ඔහු දුන්  වහෙන් ඔරෝ උත්තරයය. බිම්මට්ටමේ යථාර්ථයට පටහැනි, හැමෝටම සක්සුදක්සේ පැහැදිලි වන සංසිද්ධියක් ඔහුට නොවැටෙන්නේ කෙසේද? <..පලාත් සභා දැන් දෙමළ ජනයාගේ අයිතීන් බවට පත්වී ඇති නිසා ඒවා අහෝසිකල නොහැකියයි ඔහු කියා සිටියේය.> මෙහිදී ඔහු දෙන්නේ ඔහු රනිල්ගේ මල්ලී යයි සිතා දෙන පිලිතුරකි. මෝඩි, රාසමානික්කම්, සුමන්තිරන්, විග්නේශ්වරන් හා පොන්නම්බලම් හැරෙන විට යාපනේ දෙමළ ජනයාට පලාත් සභා අමතකය. මේ දෙමළ කොටින්ගේ යාපනේ චන්ද පදනම සෝදා පාලුවකට අසුවී ඇති බව අනුර කුමාර නොදනීද? මෙය සෙසු දකුණේ දේශපාලකයින් මෙන් දෙමළ චන්ද පෙරේතකමට කරණ ආත්ම වංචාවක් නොවේද? යාපනේ චේ ගුවේරා වන අරුන් සිද්ධාර්ථ් ගැන  අනුර අසා නැද්ද?

ලෝකයේ කිසිම රටක යම් ජන කොටසකට වෙන අයෙක් විසින් බලෙන් පැටවූ <අයිතීන්> තිබිය නොහැක. පලාත් සභා යනු ප්‍රභාකරන්ගේ සිට ලංකාවේ හැම දෙනාම ප්‍රතික්ෂේප කල ඉන්දියන් මගඩියකි. යාපනේ වසන 60% ක් වන වෙල්ලාල නොවන ජනයාට අනුව පලාත් සභාව යනු වෙල්ලාල කොටින් විසින් ඔවුන්ව තවදුරටත් අර්ධ වහල් භාවයේ තබා ගැනීමේ උප්පරවැට්ටියකි. කුරුන්දි විහාර සිද්ධියේදී හා අම්පිටියේ සුමනරතන හිමියන් විසින් අවුරුදු 30 ක් පුරා රටට පෙන්වා දුන් යථාර්ථය නම් නැඟනහිර පලාත් සභාව, එහි නිලධාරීන් හා උසාවි ක්‍රමය එහි සිටින සිංහල ජනයා එලවා දැමීමේ කුමණ්ත්‍රනයක් කරගෙන යන බවය. යාපනේ තිස්ස රජමහා විහාරය, මුලතිව් විහාරය ට විරුද්ධව පෙලපාලි මෙහෙයවන්නේ ක්‍රිස්තියානි පාස්ටර්ලා මිස හින්දු ජනයා නොවේ. හින්දු-බෞද්ධ මිත්‍රත්වය හා යුද හමුදා-දමිළ ජන මිත්‍රත්වය ඉහළ තලයකින් පවතී.

එක රටක්-එක නීතියක් වාර්තාව (2022)

යාපනේ ඇති ඉන්දියන් තානාපති (ඉන්දියන් රෝ ඔත්තු සේවය( කාර්යාලයෙන් අරුන් ඉල්ලා සිටින්නේ යාපනේ ජනයාට හින්දි භාෂාව උගන්වන  පන්ති වෙනුවට, ඔවුන්ට (හා යුද හමුදාවට හා පොලිසියට) සිංහල හා දෙමළ උගන්වන්නට උදව් කරණ ලෙසය. එපමණක් නොව යාපනේ වෙල්ලාලයින්ගේ තේසවලම් නීතියෙන් පීඩා විඳින කුලහීන යයි සැළකෙන දෙමළ ජනතාව  බොදු බල සේනාවේ ඥානසාර හිමියන් මූලිකවූ  එක රටක්-එක නීතියක් වාර්තාව (One country-One law report) ක්‍රියාත්මක කරණු ඇතැයි  බලාගෙන සිටී. 1956 චන්දයෙන් පසු බණ්ඩාරනායක ආණ්ඩුව විසින් පැනවූ උතුරේ දෙමළ ජනයාට සිදුවන සමාජ අසාධරණකම් වැලැක්වීමේ නීතිය (Prevention of Social Disabilities ActNo. 21 of 1957) අකර්මණ්‍යවූ නීතියක් බවද මෙහිදී සඳහන් කල යුතුය. JVP විසින් උතුරේ කුලහීන යයි සළකණ ජනයාගේ ප්‍රශ්ණ අමතක කරන්නේ කුමක් නිසාදැයි සැකයක් මතුවන්නේ එහි නැඟී එන නායකයා වන අරුණ් බෞද්ධයෙක් නිසාද?

ජන සභා සංකල්පය: ලංකාවේ/ලෝකයේ අර්බුදවලට මුහුණදීම

දූෂණයෙන්, වංචාවෙන්, හොරකමින් මුළු රටම පීඩා විඳිමින් සිටින බව මුව හමට තලනවා මෙන් නැවත නැවත රැස්වීම් වලට එන ජනයා කුල්මත් කිරීමට අමතරව රට වලෙන් ගොඩ ගැනීමේලා පැහැදිලි සැලැස්මක් JVP-NPP මඟින් ඉදිරිපතකර තිබේද? සමස්ත සිස්ටම් සියල්ලම උඩු යටිකුරු කර ගම්මට්ටමින් ජනයාතුල විනයනුකූල හැසිරීමක් හා අයිතීන් හා වගකීම් (rights and duties) යන දෙකම ඔවුන්ට උගන්වා මිස ලංකා සමාජය ගොඩ ගැනීමට නොහැකිය. මේ සඳහා නිවැරදිම විසඳුම පක්ෂ දේශපාලනයෙන් තොර ජන සභා ක්‍රමයක් ක්‍රියත්මක කිරීමය.

එවැනි ක්‍රමයක් මිස JVP-NPP ක්‍රියාකාරීන්ට ගම් භාරදුන්නොත් සිදුවිය හැකිදේ පිළිඹඳව මහජනයාට අත්දැකීම් එමටය. දෑකැත්ත හා මිටිය සහිත බස් හොල්ට් එක මෙන් JVP බල ඇණි තරඟයට මෙන් ගම්වල යකා නටන්නට ඉඩ තිබේ. 1971 දී හා 1988/89 කාලවලදී නායකයින්ට පාලනය කරගත නොහැකිවූ වියවුල් තත්වයක් රටපුරා බිහිවුනේ නැද්ද? මහජන චන්දයෙන් ගම්වල ජන සභා පිහිටුවිය යුත්තේ ඒ නිසාය. මෙම විසඳුම මෙම සටහනේ දෙවන කොටසින් ඉදිරිපත් කරමි. මෙම සටහන අනුර කුමාර  මහතාට හා JVP පක්ෂ කාර්යාලයට ඊමේල් කර යවමි.

cwije77@outlook.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress